
මල්වතු ඔය ලංකාවේ ගංගා අතර දිගින් දෙවැනි තැන ගන්නා අතර එහි දිග කි.මී. 162 කි. එය මහාවංශයේ සඳහන් වන්නේ කදම්බ නදී යනුවෙනි. ගංගාවේ මුහුදට ආසන්න පහළ නිම්නයේදී එය හඳුන්වන්නේ අරුවි ආරු ලෙසිනි. අනුරාධපුරයට නුදුරු රිටිගල කඳුවැටියේ බටහිර බෑවුමෙන් සහ ඉනාමළුව කඳුවලින් ආරම්භ වන මල්වතු ඔය මුහුදට වැටෙන්නේ මන්නාරමේ අරිප්පු ප්‍රදේශයෙනි. ලංකාවේ ඓතිහාසික යුගයේ සිදුවූ ගංගා නිම්න ශිෂ්ටාචාරයේ ආරම්භය මල්වතු ඔය බවද වංස කතා සාධක මත විශ්වාස කෙරේ. වියළි කාලගුණයකින් යුතු ප්‍රදේශයක් හරහා ගලා යන මල්වතු ඔය මුහුදට වැටෙන්නේ ශුෂ්ක කාලගුණයකින් යුත් මන්නාරමට නුදුරිනි. මේ නිසා එය ජනාවාස වීමේදී ඉතා වැදගත් සාධකයක් බවට පත්ව තිබුණි.
පසුගියදා වාර්තා වූයේ මල්වතු ඔය නිම්නයේ පුරාවිද්‍යා ගවේෂණ යළිත් ආරම්භ කිරීමට ජනාධීපතිවරයා තීරණයක් ගෙන ඇති බවයි. පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියට යටවන ප්‍රදේශයේ පසුගිය කාලයේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය මගින් පුරාවිද්‍යා ගවේෂණයක් සිදුකළ අතර එහිදී වැදගත් පුරාවිද්‍යා සාධක රාශියක් මතු විය. එයට පෙර මන්නාරම නැව් තොට පිළිබඳව පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය ගවේෂණ සිදුකර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද ජලාශයට යටවන භූමි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන කැණීම් කර සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කැණීම් අංශයේ ආචාර්ය තුසිත වගවත්ත එවකට සඳහන් කළේ, මීට පෙර එම ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ ගවේෂණයකින් හඳුනා ගත් පුරාවිද්‍යා ස්ථාන 21ක් මේ යටතේ කැණීම් කර සංරක්ෂණය කරන බවය. එයට මහාශිලා සුසාන ස්මාරක 02ක්, මල්වතු ඔය හරහා ඉදිකළ පැරණි ගල් පාලමක් මෙන්ම, ස්තූප ගොඩනැගිලි කිහිපයක් ද අයත් විය.
මල්වතු ඔයේ ජල පෝෂක ප්‍රදේශයෙන් සියයට 70ක් පමණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර ඉතිරි කොටස මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ජනාවාසයක් හට ගැනීමට ප්‍රධාන වශයෙන් ජල සාධකය බලපායි. අපේ මධ්‍ය ශිලා යුග ජනාවාස බිහිවීමේදී ද ජලය පහසුවෙන් ලබාගැනීමට හැකිවීම බලපා ඇති බව හෙළිව තිබේ. මහාවංසයට අනුව ලංකාවේ ජනාවාසකරණය ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ දී පමණ සිදුව තිබේ. ඉන්දියාවේ වංග දේශයේ සිට මුහුදු මගින් ලංකා දූපතට ගොඩබැසි විජය කුමරු හා පිරිසගේ කතාවෙන් මෙරට මුල්ම ආර්ය සංක්‍රමණය සටහන් කරන බව මහාවංශයට අනුව පෙනේ. අප රටට වාරි තාක්ෂණය සහ ශිල්ප කලා ආර්යයන් සමඟ පැමිණි බව පැවසුණ ද පසුව නූතන පුරාවිද්‍යාත්මක අධ්‍යයන මගින් එය අවලංගු බව බවට සාධක මතුව තිබේ.
විජයාගමනයට පෙර මෙරට වාසය කළ මූල ඓතිහාසික ජන සමාජවල වැසියන් ගම්වැව් පදනම් කර ගනිමින් තම ගම්මාන ගොඩනගන්නට ඇති බව හෙළිව තිබේ. කාබන් 14 කාලනීර්ණ ක්‍රමයට අනුව ක්‍රි.පූ. 7-8 සියවස්වලට කාලනීර්ණය වී තිබෙන ඉබ්බන්කටුව මහාශිලා සුසානයට නුදුරින් පැරණි ඉබ්බන්කටුව වැව ද යාපහුව පිංවැව ගල්සොහොන්කනත්ත සුසානය ආසන්නයේ පිංවැව ද පිහිටීම මගින් මේ පුරාණ වාරික්‍රම ගැන අදහසක් ගත හැකි බව පුරාවිද්‍යාඥයෝ පවසති.
ලංකාවේ පැරණිම ජීවන වෘත්තීය ලෙස සැලකෙන්නේ යැපුම් කෘෂිකර්මාන්තයයි. වී එහි ප්‍රධාන බෝගය විය. මල්වතුඔය ආශ්රිත ජනාවාසවල පදනම වී වගාව බව ඒ නිම්නයේ ඉදිකර ඇති වාරිමාර්ග පද්ධතිය දෙස බැලීමේ දී පැහැදිලි වේ. ක්‍රි. පූ. 6 වැනි සියවසේ විජය ඇතුළු හත්සියයක් පිරිස නැව් මගින් පැමිණ ආර්ය ජනාවාසකරණයට වැටුණේ මල්වතුඔය පාදක කර ගනිමිනි. එය පසුව අනුරාධපුර අගනුවර බවට පත්වීම දක්වා විහිදී ගියේය.
ලංකාවේ මුල්ම ජනාවාස ලෙස මහාවංශයට අනුව සැලකෙන්නේ විජය කුමරුගේ ඇමැතිවරුන් දෙදෙනකු වූ උපතිස්ස හා අනුරාධ නම් ඇමැතිවරුන් දෙදෙනාගේ නායකත්වයෙන් බිහිවූ උපතිස්ස ගම සහ අනුරාධ ගමයි. මෙම ගම් දෙකම මල්වතු ඔය කේන්ද්‍ර කර ගනිමින් පැවති බව මහාවංශයට අනුව පෙනේ. විජයට පසුව මෙරටට පැමිණි බොහෝ පිරිස් මෙන්ම ආක්‍රමණිකයන්ද රටට ඇතුළු වූයේ මල්වතු ඔය ඔස්සේය. උපතිස්ස ගම කොතැන පිහිටියේ දැයි නිශ්චිත සාධක නැති අතර අනුරාධ ගම පසුව මෙරට මුල්ම අගනුවර බවට පත් විය. අනුරාධපුර ඇතුළු නුවර කැණීම්වලින් පුරාණ අනුරාධ ගම්මානය පැවති කාලයට සමකාලීන ජනාවාස සාධක හමුව තිබේ.

මල්වතුඔයේ ඉහළ ද්‍රෝණිය නාච්චදූව, මහකනදරාව, පාවට්ටකුලම්, නුවර වැව, තිසා වැව ආදී ප්‍රධාන හා මධ්‍ය ප්‍රමාණයේ වැව් කිහිපයකින් සමන්විතය. මේ නදියේ ඉහළ ද්‍රෝණියේ යෝධ වැව සහ අකතිමුරුප්පු වැව පිහිටා තිබේ. මේ වැව්වලින් ද හෙළිවන්නේ පුරාණ ජනාවාස පැවති බවට සාධකයි.
පසුගිය කාලයේ තන්තිරිමලේ විහාරයේ සිට කිලෝමීටර් හයක් පමණ දුරින් වවුනියාව දිස්ත්‍රික්ක මායිමේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ කොන්ගරායන්කුලම (ඇහැළවැව) ප්‍රදේශයේ මල්වතු ඔයේ දකුණු ඉවුරේ උස් බිමක පිහිටි පුරාණ නටබුන් සහිත ස්ථානයක කැණිම් සිදුවිය. අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය කළ එම කැණීමේදී පොළොවට යටවී තිබෙන ප්රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයා භාවිත කරන ලද පබළු වර්ග, කහඳ හා තිරුවාණා පාෂාණයන්ගෙන් කළ ශිලා මෙවලම් මෙන්ම අනුරාධපුර යුගයේ මුල් ඓතිහාසික යුගයට අයත් පුරාවස්තු ද මතුව තිබේ. ආදී මානවයා විසින් අඳින ලදැයි විශ්වාස කෙරෙන ප්‍රාථමික ලෙන් චිත්‍ර ආදියද මෙහි ලෙන්වල දකින්නට තිබුණි.
කැණිම්වලට මූලිකත්වය ගත් අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය භාර කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ති හිමියන් එවකට මාධ්‍යවලට විස්තර කරමින් කීවේ, විජයගේ පැමිණීමත් සමඟ මේ ප්‍රදේශය ගැන පුරාවෘත්තවල සඳහන් වන අතර විජයගේ උපතිස්ස අමාත්‍යවරයා විසින් පිහිටුවන ලද උපතිස්ස ග්‍රාමයට මෙම ප්‍රදේශයද ඇතුළත් බව පුරාවෘන්තවල සඳහන් වන බවයි. ඒ වගේම තිවක්ක බමුණුගම, සංඝමිත්තාවන් නැවෙන් බැස අනුරාධපුරය බලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ගෙන ගිය ගමනේදී රුයක් පහන් කළ ස්ථානයත් මේ ආසන්නයේ පවතින බවයි.
විමලඛන්ති හිමි වැඩිදුරටත් එකල මාධ්‍යවලට මෙසේද පැවසුහ.
''මල්වතු ඔය ආශ්‍රිතව ආදී කාලයේ පටන් ජනාවාස තිබූ බවට තොරතුරු තිබෙනවා. අපි මේ ස්ථානය කැණීම් කටයුතු සඳහා තෝරාගනු ලැබුවේ මේ ස්ථානය මෙතෙක් අවධානයට යොමු නොවූ පෞරාණික අතින් වැදගත් ස්ථානයක් නිසයි. මෙම කැණීම්වලදී ඉතා වැදගත් පුරාවිද්‍යා සාධක රුසක් හමුවුණා. මෙතැන අනුරාධපුර යුගයේ විහාරාරාම සංකීර්ණයක් පැවැති බව තහවුරු වුණා. ශිලාලේඛන ආදියත් මෙහි තිබෙනවා. භාතිකාභය මහ රජතුමාත් මෙම ස්ථානයට පරිත්‍යාගයක් සිදුකළ බවට එක් සෙල්ලිපියක සඳහන්. ඊට අමතරව තවත් ශිලාලේඛන හතක් පමණ අපට සොයාගැනීමට හැකි වුණා. කැණීමේදී ප්රාග් ඓතිහාසික සාධක බොහෝ ප්‍රමාණයක් ලැබුණා. මල්වතුඔය දකුණු ඉවුරෙහි මේ වගේ පර්යේෂණයක් මීට පෙර සිදුකළ බවක් වාර්තා වෙන්නේ නැහැ.''
♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ අන්තර්ජාලයෙනි