2023 ජුනි 24 වන සෙනසුරාදා

දේව කන්නලව් මැද වසා දමන්න හදන ගමේ ගොඩේ ආණ්ඩුවේ කඩේ

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 210

අද කාලේ අයට ගමේ තොග කඩේ කිව්වාම මොනවා මතක් වුණත් එදා ගම්වල ජනතාවගේ තොග කඩේ සමුපකාරය හෙවත් සතොසය. සතොස යනු සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවය. එදා ගම්මු ගෙදර යන ගමන් ගියේ සමුපකාරයටය. ගමේ ජනතාවට එහෙව් හයියක් වූ සතොස දිගින් දිගටම පාඩු ලබන බවට වාර්තා වන්නේ අදක ඊයෙක නොවේය.

මේ වනවිට වෙළෙඳ අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇත්තේ සතොස වසා දමා එහි වත්කම් ලංකා සතොසට පැවරීමටය. එසේම එහි සේවකයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා විය. එහෙත් ඒ තීරණ සියල්ල ඇත්තේ මෙම ලිපිය ලියන මොහොත වනවිට සාකච්ඡා මට්ටමේය.

සතොස පාඩු ලැබුවේ ඇයි? යන පැනය වැඩිහිටි ජන හදවත්වල දෝංකාර දීම වැළැක්විය නොහැකිය. සතොස පෞද්ගලීකරණය කිරීම හෝ වසා නොදමන ලෙස ඉල්ලමින් මෝදරදී සේවක පිරිසක් පසුගියදා දේව කන්නලව්වක ද නිරත වූහ.

ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා රජයේ වැඩපිළිවෙළක් ලෙසින් ආරම්භ වූ කඩ සමිති ව්‍යාපාරය ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කරයි. 

දෙවැනි ලෝක යුද සමයේ ඇරඹුණු මෙම වැඩපිළිවෙළින් සමුපකාරය ජනතාවගේ සමීප මිතුරෙක් විය. 1943 සමුපකාර තොග වෙළෙඳ ආයතනය ආරම්භ කළේ සමුපකාර සමිතිවලට අවශ්‍ය වෙළෙඳ ද්‍රව්‍ය තොග වශයෙන් ලබාදීමේ අරමුණ ඇතිවය. එහි ගෞරවය හිමිවන්නේ ටී.බී. ඉලංගරත්න මහතාටය. 1942 වසර වනවිට කෘෂි නිෂ්පාදන සහ අලෙවි සමුපකාර සමිති 11 ක් රටේ පිහිටුවා තිබූ අතර ඉන් වඩාත්ම ක්‍රියාකාරී සමිතිය බවට පත්වී තිබුණේ මින්නේරිය වී අලෙවි සමිතිය සහ යාපන මලයාලම් දුම්කොළ සමිතිය යන සමිති දෙකයි. ඊට අමතරව යාපනයේ ලූනු සහ මිරිස් මිලදී ගැනීමට සමිති 5 ක් පිහිටුවා තිබුණි. ඉහත සමිතිවලට අමතරව පහත සඳහන් විශේෂ සමිති ද ඒ යුගයේ ආරම්භ වී තිබුණි.

ඒ වනවිට දෙකයි සත පනහකට තිබූ හාල් සේරුව හැත්තෑ හතේ අග භාගයේදී කළුකඩකාරයන් විසින් අසීමිතව මිල ඉහළ දමනු ලැබූවේ ජනතාව පීඩාවට පත් කරමිනි. එදා ඒ මාෆියාව පරදවමින් එකල රජය ඒ වනවිට ක්‍රියාත්මක වූ සහල් සලාක ක්‍රමයට පිටතින් හාල් සේරුවක් රුපියල් දෙකයි සත අනූව බැගින් දිවයිනේ සියලුම සමුපකාර වෙළෙඳසල් මගින් විකිණීමට විධිවිධාන යොදමිනි. එවන් සංග්‍රාමයක් කිරීමට හැකි වූයේ සතොස නිසාය. සහල්වලින් ඇරඹුණු එය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල ජනතාව වෙත ලබාදීමේ පුරෝගාමියා බවට පත්වීමට වැඩි කලක් ගත නොවීය.

තරගකාරී වෙළෙඳපොළ ජයගැනීමේ අභිලාෂයෙන් 2005 වසරේදී සතොස ලක් සතොස ලෙස ඉදිරි පියවරක් තබමින් සුපිරි වෙළෙඳසල් මොඩලයේ වෙළෙඳසල් ආරම්භ කළ අතර මේ වනවිට රටපුරා 500 කට අධික ලක් සතොස වෙළෙඳසල්වල 6000 කට අධික සේවක පිරිසක් සේවයේ නිරතව සිටිති.

හිටපු මුදල් ඇමැතිවරයකුගේ සමයේදී සෑම ග්‍රාමීය සතොසක්ම රාත්‍රී කාලයේ විවෘත කර තැබිය යුතු බවට යෝජනාවක් ගෙනාවේය. මහ රූ ගමනාගමනයවත් නොමැති දුෂ්කර ගම්මානවල ජනතාවට රාත්‍රියේදී සතොසට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණීම හීනයක්ම විය. රාත්‍රිය දක්වා විවෘත කර තැබූ සිය වෙළෙඳසලේ ලයිට් බිලවත් ගෙවා ගැනීමට නොහැකිවීමෙන්ම එම ක්‍රියාදාමය ගම්වලදී අසාර්ථක විය. 

එසේම පසුගිය කාලයේ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු අනාවරණයක් කරමින් සතොස හරහා ගෙන්වන සුදු ලූනු වංචාවක් හෙළි කළ අයුරු මතකය. හොරු පසෙක සිටියදී රහස් පොලිසිය එය වාර්තා කළ කතුවරුන් හඹා ආවේ පණිවිඩකරුවාට වෙඩි තබමිනි. සතොස පාඩු ලැබුවේ කෙසේදැයි යන පැනයට පිළිතුර ඉහත සිදුවීම්වලින් කිරා මැන බැලිය යුතුය. 

2017 වසරේදී හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවසූයේ  සතොස පාඩු ලබන ආයතනයක් බවට පත්වී ඇත්තේ වටිනා කල් ඉකුත් වූ භාණ්ඩ ගබඩාවල ගොඩගසා සිටීමෙන් සහ වසර ගණනාවකින් ගිණුම් වාර්තා නිසි පරිදි සකස් කර නොතිබීමෙන් වූ අකාර්යක්ෂමතාව නිසා බවයි. 

ජනාධිපති නීතිඥ රසීක් සරුක් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ දීර්ඝ කාලයක් රාජකාරි කළ හිටපු සභාපතිවරයෙකි. සතොසට මෙහෙම වුණේ ඇයි? යන්න සම්බන්ධයෙන් විමසීමට අප උත්සාහ ගත්තද පෞද්ගලික හේතුවක් මත එය ව්‍යර්ථ විය.  
සතොස වසා දැමීමේ වැඩිම පාඩුව ඇත්තේ නගරයට නොව ගමටය. සතොස වසා දැමීමෙන් ද බඩට වදිනුයේ ගමේ පොඩි මිනිහාටය. ආරම්භයේ සිට සතොස යනු ග්‍රාමීය ජනතාවට අඩු මිලට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට තිබූ අමිල ස්ථානයකි. සතොස වසා දැමුවත් එම අවස්ථාව ලක් සතොස මගින් හෝ ග්‍රාමීය ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ලබාදීම රජයේ වගකීමක් වන්නේය. 

සතොස වැහුවාම හරිද? ලක් සතොස වත්මන් සභාපති පසද යාපා අබේවර්ධන මහතාගෙන් විමසීමට අප දුරකතන ඇමතුම් 5 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගත්තද ඒ උත්සාහයද ව්‍යර්ථ විය. 

අවසානයේ විමසීමට ඇත්තේ සියල්ලෝ විසිර යතිද? සතොසෙන් යනුවෙනි.

I සසංක චලන ගිම්හාන