පසුගිය කාලය පුරාවට ඉහළ ගොස් පැවැති ජංගම දුරකථන සහ ඒවායේ උපාංගවල මිලෙහි යම් පහළ බැසීමක් සිදුකළ හැකි බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා දේශයට පැවසීය. ජංගම දුරකථනවල මිලෙහි අඩු වැඩිවීමට ප්‍රධාන සාධකයක් ලෙසින් ඩොලරයේ මිලෙහි ඉහළ පහළ යාම හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව තුළ ජංගම දුරකථන සහ උපාංග කිසිවක්ම නිෂ්පාදනය වන්නේ නැත. යම් හෙයකින් ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මෙරටට ගෙන්වා නිෂ්පාදන කර්තව්‍යය ආරම්භ කළද ජංගම දුරකථනයක මිල ගණනය කළ හැකි වන්නේ ඉතාමත් වැඩි මිලකටය. එය ආනයනය කරන ජංගම දුරකථනයක මිලට සාපේක්ෂව තුන් ගුණයකට පමණ වැඩි විය හැකිය. මේ නිසාම ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනය හා විකුණුම්කරුවන්ගේ සංගමය කියන්නේ වැඩි වාසියක් පාරිභෝගිකයින්ට ලබාදිය හැකිවන්නේ විදෙස් රටවලින් ඒවා ආනයනය කිරීම හරහා බවය.
''ජංගම දුරකථනයක මිල වැඩි වශයෙන් තීරණය වන්නේ ඩොලරයත් සමඟයි. ලංකාවේ ජංගම දුරකථනවල කිසිදු බද්දක් වෙනස් වුණේ නැහැ. ඩොලරය අඩු වනවිට භාණ්ඩයක ගෙවිය යුතු බද්ද වෙනස් වෙන්නේ නැතිනම් ජංගම දුරකථනවල මිල අඩු කිරීමේ හැකියාව පවතිනවා. නමුත් අප සංගමය හා සම්බන්ධ නොවුණ ආයතන කිහිපයක් මේ ජංගම දුරකථනවල මිලෙහි අඩු කිරීම පාරිභෝගිකයන්ට ලබාදුන්නේ නැහැ. ඒක අපේ පාරිභෝගිකයන්ට කරන අසාධාරණයක්. ඩොලරය වැඩිවීමත් සමඟම ජංගම දුරකථනවල සහ උපාංගවල මිල වැඩිවූවා නම් ඩොලරය අඩු වූ විට අපි අඩියක් පස්සට තියන්නේ නැත්තේ ඇයි...? ඒක අපේ පාරිභෝගිකයන්ට කරන ලොකු අසාධාරණයක්.'' යැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
මෙවැනි කාලවකවානුවක පාරිභෝගිකයන්ට එවැනි අසාධාරණයක් කරන ආයතනත් වෙයි. ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර සිදු කිරීමට රටක් තිබිය යුතුය. එම රටෙහි පාරිභෝගිකයන් සිටිය යුතුය. නමුත් ඇතැම් ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ පාරිභෝගිකයින් පිළිබඳව වගක් නැත. ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය ජංගම දුරකථනවල හා උපාංගවල මිල යම් ප්‍රමාණයකට අඩු කිරීමට තීරණය කරද්දී ඇතැම් ජංගම දුරකථන ආනයනකරුවන් කිහිප දෙනකු විසින් එම අඩුකිරීමට සූදානම් වූයේ නැත. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ තමන් සතුව කලින් ගෙන්වූ ජංගම දුරකථන විශාල තොග ප්‍රමාණයක් විකිණීම සඳහා ඇති බවය. ඩොලරය අඩු වෙද්දී විදෙස් රටවල්වලින් භාණ්ඩ ගෙන්වන ව්‍යාපාරිකයන් තම භාණ්ඩ මැත කාලයේදී ගෙන්වන ලද්දේ ඉතාමත් අඩු ප්‍රමාණයකි. විශේෂයෙන් ජංගම දුරකථන වැනි භාණ්ඩ ඉතා වැඩි තොග ප්‍රමාණයක් ගෙන්වන ලද පිරිස් අඩුය. එසේ වුවත් පැවැති වාතාවරණයත් සමඟ බොහෝ අය ජංගම දුරකථන මිල අඩු කිරීමට ඇති අකමැත්තට හේතුව වශයෙන් කියන්නේ තමන් ළඟ තොග විශාල ප්‍රමාණයක් ඇති බවය. එහෙත් මෙම භාණ්ඩවල මිල එකවරම වැඩි වූ විට ඔවුන් එම ජංගම දුරකථන මිල ඒ අනුවම වැඩිකළේ ප්‍රමාදයකින් තොරවය. මේ නිසාම බොහෝ ආනයනකරුවන් මෙම භාණ්ඩ ගෙන්වනු ලබන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයක් පමණි.
''අපේ මේ ව්‍යාපාරය අපි ආරම්භ කරල තියෙන්නේ රජයෙන් දෙනු ලබන දීමනාවන්ටත් සහනයක්වත් නිසා නෙමෙයි. කිසිම ආණ්ඩුවක් ආවත් රජයෙන් දෙන දෙයක් බලාගෙන අපි මේ දේවල් කරන්නේ නැහැ. රටක් විදිහට ඉදිරියට යන්න නම් අපි අපේ ව්‍යාපාරය දියුණු කරගන්න ඕනේ. ඒ හරහා අපිට තවත් පිරිසකට රුකියා ලබාදිය හැකි වෙනවා. රටක් විදිහට ඉදිරියට යද්දී ''අපිට රජයෙන් අරක දුන්නේ නැහැ. මේක දුන්නේ නැහැ'' කියල අඬාගෙන වැළපෙන්න අපේ සාමාජිකයන් එකඟ නැහැ. අද රටේ ඉන්න සෑම පුරවැසියෙක්ටම ආර්ථික ප්‍රශ්න එදාට වඩා වැඩියි. ඩොලරය ඉහළ යද්දී අපි භාණ්ඩ මිල වැඩි කරනවා නම් ඩොලරය පහළ යද්දී අපිට මිල අඩුකරන්න බැරිනම් එතැනින්ම අපි අධිලාභයක් උපයනවා. ඒක අයථා ව්‍යාපාරයක්. අපි භාණ්ඩ මිල ඉහළම තබා ගැනීමෙන් තව කෙනෙකු පීඩනයකට පත්වෙන එක විතරයි කරන්නේ.''
සමිත් සෙනරත් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ දිනවල යම් යම් භාණ්ඩවල මිල අඩු කිරීමක් වෙද්දී ජංගම දුරකථනවල මිල අඩු වීමක් සිදුවන්නේ නැතිනම් බොහෝ අය තමන් සතුව පවතින ජංගම දුරකථනයෙන් පමණක් සෑහීමට පත්වනු ඇත. ඔවුහු නව දුරකථනයක් මිලදී ගැනීමට මැලිවෙති. පසුගිය කාලයේදී බොහෝ දෙනා තමන් සතුව පවතින ජංගම දුරකථන කෙසේ හෝ අලුත්වැඩියා කරගනිමින් තමන් සතු දුරකථන ආරක්ෂා කරගැනීමට උත්සාහ දැරෑහ. ඔවුන් නව දුරකථන මිලදී ගනු ලැබුවේ නැත. ඒ නිසාම පසුගිය කාලවලදී වැඩි ඉල්ලුමක් ජංගම දුරකථනවලට තිබුණේ නැත. නමුත් අනෙකුත් උපාංග හා අමතර කොටස් සඳහා ඉල්ලුමක් තිබුණි.
ජංගම දුරකථන වර්ග බොහෝය. විවිධ මාදිලියේ ජංගම දුරකථන වර්තමානය වනවිට මෙරට වෙළඳපොළ ආක්‍රමණය කර තිබේ. ජංගම දුරකථන මෙරටට ආ මුල් කාලයේදී පැවැතියේ සාමාන්‍ය ජංගම දුරකථන වශයෙන් පමණි. නමුත් අද වනවිට තාක්ෂණ දියුණුවක් සමඟ බොහෝ දෑ දුරක ජංගම දුරකථනය ඔස්සේ සිදුකර ගැනීමේ හැකියාව පවතී. අද වනවිට ජංගම දුරකථනය අත්‍යාවශ්‍යම භාණ්ඩයකි. රුකියාව, අධ්‍යාපනය පමණක් නොව ඇතැම් රටවල්වල බිල්පත් ගෙවීම ඇතැම් ව්‍යාපාරික කටයුතු පමා කරනු ලබන්නේ ජංගම දුරකථනය හරහාය.
මේ දිනවල ඩොලරයේ වෙනස් වීමත් සමඟම ස්මාට් ජංගම දුරකථනය පාරිභෝගිකයන්ට දරාගත හැකි මිලකට පැමිණ ඇත. පසුගිය කාලයේදී පනස් දහසකට පමණ අලෙවි වූ ජංගම දුරකථනයක් මේ මිල පහළ යාමත් සමඟ තරමක් පහළ ගොස් ඇත. එය පාරිභෝගිකයන්ට වාසිදායක තත්ත්වයකි. වර්තමානයේදී බොහෝ අධ්‍යාපන කටයුතු සඳහාද ජංගම දුරකථනය විශාල සහයෝගයක් ලබා දේ. කොවිඩ් වසංගත සමයේදී පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපන කටයුතු බොහෝමයක් සිදුකරන ලද්දේද ස්මාට් ජංගම දුරකථන ඔස්සේය. ලංකාවට ජංගම දුරකථන ගෙන්වනු ලබන බලයලත් ආනයනකරු සැමවිටම රඳා පවතින්නේ බැංකු අනුපාතය මතය. මේ හේතුවෙන් අද වනවිට ජංගම දුරකථන මිලෙහි යම් පහළ දැමීමක් හේතුවෙන් ජනතාවට දරා ගැනීමට යම් සහනයක් සංගමය හරහා ලබාදී ඇත. එහෙත් ජංගම දුරකථන අලෙවි කරනු ලබන සැමදෙනාගෙන්ම එම සහනය පාරිභෝගිකයන්ට ලැබේවිදැයි විශ්වාසයක් නැත.
I දිශානි ජයමාලි කරුණාරත්න