2023 ජුනි 17 වන සෙනසුරාදා

ලංකාවේ වාහන මාකට් එක ගැන කියන කතා ඇත්තද?

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 75

භාවිත කළ ජනප්‍රිය මෝටර් රථ කිහිපයක මිල ගණන් වාහන අලෙවිකරුවන් ඉහළ දමා ඇතැයි පුවත් වාර්තාවක් ඉකුත් සතියේ වාර්තා විය. ඒත් සමඟ වාහන මිල දී ගැනීමට සූදනම්ව සිටි විශාල පිරිසක් සමාජ මාධ්‍ය තුළ සිය විරෝධය පානු දක්නට ලැබුණි. වාහන මිල ගණන් ඉහළ දැමීමට හේතු ලෙස අලෙවිකරුවන් දක්වා තිබුණේ රට තුළ ඉන්ධන මිල පහළ යාම සහ ඇමෙරිකානු ඩොලරයේ අගය පහළ යාම මත මිල ඉහළ යමින් ඇති බවයි. 

කෙසේ නමුත් පාරිභෝගිකයන් චෝදනා කරන්නේ වාහන මිල ඉහළ දැමීම වාහන අලෙවිකරුවන් විසින් කෘත්‍රිමව සිදු කරන්නක් බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ වාහන අලෙවිකරුවන් විවිධ වෙබ් අඩවිවල ඉහළ මිල ගණන් සඳහන් කරමින් දැන්වීම් පළ කර අනතුරුව එම වාහන මිල දී ගෙන අවසන් යැයි පෙන්වීමට තම හිතවතුන් සමඟ ලබාගත් ඡායාරෑප පළ කරන බවය. හදිසියේම වාහන මිලෙහි සිදු වූ ඉහළ යාම සම්බන්ධයෙන් දේශය සොයා බැලීමක් කළේය. 

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගු මහතා තරයේ ප්‍රකාශ කළේ එබඳු මිල වැඩිවීමක් රථවාහන වෙළෙඳපොළේ නැති බවයි. 

“මේ තියෙන්නේ වාහන නැති නිසා හැදිච්ච අමුතු මාකට් එකක්නේ. පෙට්‍රල් නැති කාලෙ වාහන මිලේ ලොකු කඩා වැටීමක් තිබුණා. ඊටපස්සේ එක මට්ටමකට වාහන මිල ආවා. ඒ ආව රේට් එකේ ලොකු වෙනසක් වෙලත් නෑ. ලොකු කඩා වැටීමකුත් නෑ. සාමාන්‍ය ගණන් තමයි තියෙන්නේ. සුමාන දෙකකට කලින් සමහරු කිව්වා වාහන මිල කඩා වැටෙයි කියලා. දැන් කියනවා ප්‍රයිස් හයික් එකක් තියෙනවා කියලා. ඒවා එක එක වෙබ් සයිට්ස්වලින් කරන වැඩ. ඒ හැරෙන්න වාහන වෙළෙඳපොළේ තිබෙන සත්‍ය තත්ත්වය නෙවෙයි.''

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසා සිටියේ ඕනෑම වෙලාවක මිලක් තීරණය වෙන්නේ ඉල්ලුමත් සමඟයි, යනුවෙනි. ඉන්දික සම්පත් මහතාගේ නිරීක්ෂණය අනුව සුළු මිල වැඩීමක් පෙන්නුම් කරයි. මිල පාලනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක්ද හෙතෙම ඉදිරිපත් කළේය. 

“එකපාරට මේ වැඩිවෙලා තියෙන මිල පාලනය කරන්න අපිටත් පුළුවන් යම්කිසි ප්‍රමාණයක් වාහන ආනයනය කරන්න අවසර දුන්නොත්.'' ඔහු පැවසීය. හදිසි මිල වැඩිවීම පාලනය කිරීමට විසඳුම වාහන ආනයනය කිරීම යන්න ඔහුගේ අදහසයි. “දැනට කටකතාවකුත් යනවා වාහන ආනයන කිරීම ගැන. නමුත් ඒක ගැන තීරණය කරන්න ඕන මහ බැංකුවයි මුදල් අමාත්‍යංශයයි. වාහන ගේන්න ඩොලර් තියෙන්න ඕන. ඉස්සරහට තියෙන අවශ්‍යතාවන් ගලපලා තමයි ඒක තීරණය වෙන්නෙ. නමුත් ණය අරන් වාහන ගෙන්වීමේ විකල්පයකුත් තියෙනවා.'' සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය වසරේ මෙරට මුහුණ පෑ ආර්ථික අර්බුදයෙන් මිදීමට එක් පියවරක් ලෙස වාහන ආනයනය නවතා දැමුණි. එබැවින් ඩොලර් සංචිතයට හානි නොවන ලෙස වාහන ආනයනය කිරීමේ යෝජනාවක් ද ඉන්දික සම්පත් මහතා යෝජනා කළේය. “ඩොලර් යන්නේ නැතුව ජපානයෙන් අපිට ණය අරගෙන ගේන්න පුළුවන්. අලුත් වාහනයක් 70% ක් අඩුවෙන් ගෙන්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට ලංකාවේ දැන් තිබෙන 2017 VITZ කාර් එකක් ජපානයෙන් අපිට ගන්න පුළුවන් ලක්ෂ 10කට 12කට විතර. ඒ වගේ වාහනයක් මෙහෙ සාධාරණ මිලකට අපිට දෙන්න පුළුවන්."

තවත් වාහන අලෙවිකරුවෙක් මේ මොහොතේ ණයට වාහන ගෙන්වීම පිළිබඳව ඊට වෙනස් මතයක් දරයි. ඔහු කියා සිටියේ මෙවැන්නකි. “කෙනෙක් වාහනයක් ගන්නේ තමන්ගේ හැකියාව මත. ගෙවල් ඉඩම් විකුණල ගන්නවා නම් වැරදියිනේ. ගැලපෙන විදිහට තමයි වාහනයක් ගන්නත් ඕන. ඒ වගේ තමයි අපේ වගේ රටකට ගැලපෙන වාහනයක් ගන්න අපි අවස්ථාව උදා කරන්න ඕන. ලංකාවේ පිරිසක් ඉන්නවා අනිසි සල්ලි තියෙන අය. ඒ අය මාර්ගයෙන් රටේ අනව්‍ය මුදල් නාස්තියක් වෙනවා. ඒක නැති කරන්න ඕන.''

වාහන ගෙන්වීමේදී සැලකිලිමත් විය කරුණු කිහිපයක් පිළිබඳ වාහන අලෙවිකරුවෙක් දේශයට අදහස් දැක්වීය. 

“රටේ ආර්ථික හැකියාවට ගැලපෙන විදිහට වාහන ගේන්න අවසර දෙන්න ඕන. වාහන ගේන එක ආරම්භ කරද්දි කාරණා තුනක් සිද්ධ වෙන්න ඕන. පළවෙනි එක රජයට නිසි ලෙස බදු අය කිරීමෙන් නිසි ආදායමක් ලැබෙන එකේ වටිනාකමක් තියෙනවා. දෙවැනි කාරණය ස්ථිර වෙළෙන්ඳෝ ආරක්ෂා වන විදිහට වාහන ආනයනය ඔවුන්ට සීමා කරල දෙන්න වෙනවා. හැමදාම මේ ආර්ථිකය විනාශ වෙන්නේ ක්ෂේත්‍රයේ ඉන්න අයට ව්‍යාපාර කරන්න පසුබිමක් නෑති වී යාම හින්දා. පවතින ආර්ථික විනාශය තුළ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ට ආරක්ෂාවක් ලබා දීලා නෑ. සල්ලි තියෙන පිරිසක් ඉන්නවා. ඔවුන් අවස්ථානුකූලව ව්‍යාපාරවල යෙදෙනවා, ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා. අපිට එහෙම කරන්න බෑ. අපේ සේවක පිරිසක් ඉන්නවා. ප්‍රකාශනාගාර තියෙනවා. ඒවා නඩත්තු වෙනවා. අපිට එකපාරට ඒකෙන් අයින් වෙන්න බෑ. ඉතින් අපි පාඩු ලබල හරි ඉන්න ඕන ආනයනය ඇරඹෙනකම්. එතකොට ලක්ෂ ගණන් පාඩු ලබලා, බැංකුවලින් ණය අරන්, ඒවා හදල කරලා බැංකු පොලී ගෙවන්න ඕන. කුලී ගෙවන්න ඕන. ඒ තත්ත්වය මත රජය දැනගන්න ඕන මේ ක්ෂේත්‍රයේ නියුතු අයට ලයිසන් එකක් දීලා හරි මූලිකත්වය දෙන්න. වාහන ගෙන්නන්න ගත්තොත් මහජනතාවට වටිනාකමක් එනවා, පදනමක් හැදෙනවා, අලුත් වාහනවලට. එතකොට පාවිච්චි කරපු වාහනවලට මිල උච්චාවචනය නවතිනවා.''

අද වනතුරු ඩොලර් ප්‍රශ්නය විසඳී නැත. ඩොලර් අර්බුදයේ උග්‍රතාවය දන්නේ අදාළ පාර්ශ්වය පමණි. ගත වූ දින කිහිපය තුළ ඩොලරයේ වටිනාකම 10% කින් උච්චාවචනය විය. ඩොලර් අර්බුදය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීමේ තහනම තවමත් ක්‍රියාත්මකය. එබැවින් වාහන ආනයනය කිරීම තීරණය කළ යුත්තේ රජයයි. රජය සතු මුදල් සංචිත සහ ඉදිරියේදී සිදුවිය හැකි ආර්ථික ප්‍රවණතා සලකා එම තීරණය ගත යුතු වෙයි. එබැවින් ඒවා ගැලපිය යුතුය. “ආර්ථිකය වැටිච්ච එකට ලොකුම හේතුව ක්ෂේත්‍රයේ ඉන්න මිනිස්සුත් එක්ක රජය සාකච්ඡා නොකිරීම. මේ වෙලාවෙත් ඒක කරන්න එපා. අපිත් එක්ක එකතුවෙලා කමිටුවක් හදලා, ඒ කමිටුවෙන් හොඳ තීරණ අරගෙන ඉස්සරහට රටේ ආර්ථිකයට දායකත්වය දෙන වැදගත් දේවල් තීරණය කරන්න ක්‍රියාකාරීත්වය විතරයි නිලධාරීන්ට ලබා දෙන්න ඕන. එහෙම නැත්නම් ඉස්සරහට අපේ ක්ෂේත්‍රය විතරක් නෙවෙයි, රටේ හැම ක්ෂේත්‍රයම විනාශයට යනවා.''

ජපානයේ භාවිත කළ වාහන ගෙන්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන්ද ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් ඇති බවත් අනාවරණය විය. “ඉස්සර ඉඳන් වාහනවල ලොකු ප්‍රශ්නයක් තියෙනවා, දියුණු රටවල් අවුරුදු 10 ක් පාවිච්චි කරපු වාහන ගේන්නෙ ප්‍රමිතියට අනුව නියමයන් එක්ක. ඒ ක්‍රමය අනුගමනය කළ යුතුයි. හිටපු අත්තනෝමතික නිලධාරීන් වාහන ගැන හරියට දන්නෙ නැතුව අනවශ්‍ය ඩොලර් ප්‍රමාණයක් නාස්ති කළා පහුගිය අවුරුදුවල. ඒවා වෙනස් වෙන්න ඕන. ඒවාට අදාළ දැනුම දෙන්න අපිට පුළුවන්.''

වාහන ගෙන්වීමේ තීරණය ක්‍රියාත්මක වුවත් නැතත් මේ වනවිට වෙළෙඳපොළ මිල ඉහළ ගොස් ඇතැයි පැවසෙන වාහන, Premio – (2017) ලක්ෂ 130-135 / X-trail – (2015) ලක්ෂ 83-100 / Vezal – (2014) ලක්ෂ 72-80 / Grace – (2014) ලක්ෂ 69-74 / Vitz – (2018) ලක්ෂ 71-76 / Aqua G – (2012) ලක්ෂ 48-56 යන මිල යටතේ අලෙවි වේ. එමෙන්ම Fit – (2012) ලක්ෂ 47-53 / Alto japan – (2017) ලක්ෂ 40-45 / WagonR – (2014) ලක්ෂ 38-45 / Mahindra KUV 100 – (2020) ලක්ෂ 38-45 / Alto – (2015) ලක්ෂ 25-27 / Panda – (2015) ලක්ෂ 19-23 කට අලෙවි වන බව සදහන් කරයි.

පවතින ඩොලර් මිල හේතුවෙන් නවීන වාහන ගෙන්වීමේදී මීට පෙර ලක්ෂ 45 කට ගෙන්වූ විට්ස් රථයක් වර්තමානයේ ගෙන්වීමට ලක්ෂ 65 ක් පමණ වැය වනු ඇත. එබැවින් අලුත් වාහන ගෙන්වූ පමණින් භාවිත කළ වාහන මිල අඩු නොවනු ඇත. ලැබී ඇති ආරංචි අනුව ඉදිරි වසර 03 ක කාලයක් ජපානයේ භාවිත කළ වාහන ගෙන්වීමට රජයේ අවධානය යොමු වී තිබේ. වාහන ගෙන්වීම ආරම්භ වූ සැණින් භාවිත කළ වාහන මිල විශාල ලෙස කඩා වැටෙනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරති. කෙසේ නමුත් ආර්ථික විශ්ලේෂකයන් අනුමාන කරන්නේ වාහන මිල ගණන්වල වෙනස්වීමක් බලාපොරොත්තු විය හැක්කේ එළඹෙන ඔක්තෝබර් සිට බවය. 

I සකීෆ් සාම්

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04