2023 ජුනි 17 වන සෙනසුරාදා

සමහරු කන්නේ බතුයි පරිප්පුයි දරුවන්ට කන්න දීලා අම්මලා බඩගින්නේ: ලර්න්ඒෂියා සමීක්ෂණයක් හෙළිකරයි

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 341

පසුගිය සිව් වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 4ක් දරිද්‍රතාවයට පත්ව ඇතැයි LIRNEasia නමැති ආසියා පැසිෆික් කලාපය පුරා ක්‍රියාත්මක, ප්‍රතිපත්ති චින්තන පර්ෂදය මගින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි සිදුකරන ලද මෙම සමීක්ෂණයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 4කින් වැඩි වී තිබේ. 2019 දරිද්‍රතාවයෙන් පෙළුණු සංඛ්‍යාව මිලියන 3ක් වූ අතර 2023 එය මිලියන 7ක් දක්වා එනම් සමස්ත ජනගහනයෙන් 31% දක්වා ඉහළ ගොස් ඇත මෙම පිරිස පවුල් මිලියන 2ක් සහ ගෘහ ඒකක මිලියන 1.6.කට අයත්ය. මෙම සමීක්ෂණය 2022 ඔක්තෝබර් සිට 2023 මාර්තු දක්වා සිදු කරන ලද අතර ඒ සඳහා  ශ්‍රී ලංකාවම ආවරණය වන අයුරින් ග්‍රාම සේවා වසම් 400ක් නියෝජනය වන පරිදි නිවාස 10,000 අධික නියැදියක් යොදාගෙන ඇති අතර ඒ සඳහා. කැනඩාවේ ඔටාවාහි ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රදානයක් හිමිවී තිබේ.

මෙම සමීක්ෂණය අනුව දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන පිරිසෙන් 81% ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. 2019 සිට 2023 දක්වා ග්‍රාමීය දරිද්‍රතාවය 15% සිට 32% දක්වා දෙගුණයකින් වර්ධනය වී තිබේ. නාගරික දරිද්‍රතාව 6% සිට 18% දක්වා තෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. මෙහි නරකම අත්දැකීමට මුහුණ දෙන්නේ වතු ජනතාවය. 2019දී 34ක්වූ වතු දරිද්‍රතාව 2023 වන විට 51% දක්වා ඉහළ ගොස් ඇත.

දැනට ක්‍රියාත්මක සමාජ ආධාර වැඩසටහන්ද සමාජයේ දිළිඳුම ජනතාව වෙත ළඟා වීමට අපොහොසත් වී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. දහයෙන් පංගු ලෙස ගණනය කිරීමේදී දරිද්‍රතාවයේ පත්ලේම සිටින නිවාස දහයෙන් පංගුවකින් 31%කට පමණක් සමෘද්ධි සහනාධාර හිමිවන අතර ධනවත් නිවාස දහයෙන් පංගුවකින් 4%කට ද සමෘද්ධි සහනාධාරය හිමි වන බව සමීක්ෂණයෙන් අනාවරණ වී තිබේ..

LIRNEasia ආයතනයේ ජ්‍යේෂ්ඨ පර් යේෂණ කළමනාකාරිනි ගයනි හුරුල්ලේ සදහන් කරන්නේ මෙතරම් කෙටි කාලයක් තුළ මිලියන 4ක පමණ පිරිසක් දරිද්‍රතාවයට පත්වීම කනගාටුදායක කරුණක් බවයි. මෙම තත්ත්වය යටතේ එක් දරුවකුගේ අධ්‍යාපනය සඳහා අනෙක් දරුවන්ට වඩා ප්‍රමුඛත්වය ලබාදීමට මවුපියන්ට සිදුවී තිබේ. සමීක්ෂකයන්ට මුණගැසුණු බොහෝ මවුපියන් තම දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දිය නොහැකි යැයි ප්‍රකාශ කර ඇත. ඇය පෙන්වා දෙන්නේ සමාජ ආරක්ෂණ ජාල සඳහා ප්‍රමාණවත් පරිදි ආධාර ලබා දීම මගින් මෙම පුද්ගලයන් ආරක්ෂා කළ යුතු බවටය. ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම පමණක් නොව වෙන්කරන ලද මුදල් කාර්යක්ෂ්මව භාවිත කිරීමද අත්‍යවශ්‍ය බවද ඇය සඳහන් කරයි.

මෙරට නිවාස සංඛ්‍යාවෙන්  33%ක් ආර්ථික අර්බුදය හේතුවෙන් දිනකට ගන්නා ආහාර වේල් ගණන අඩුකර ඇත. නිවාස සංඛ්‍යාවෙන්  47% දිනකට ගන්නා  ආහාර ප්‍රමාණය අඩු කර තිබේ. 27%ක වැඩිහිටියන් තම දරුවන්ට ආහාර ලබාදීම සඳහා තම ආහාර වේල් ප්‍රමාණය අඩු කර තිබේ. නිවාසවලින් 37% ආහාර මිලට ගැනීම සඳහා තම වත්කම් විකුණා ඇති අතර, තවත් 50% තම ඉතුරුම් ආහාර සඳහා වැයකර තිබේ.

සත්ව ප්‍රෝටීන සම්පූර්ණයෙන්ම පරිභෝජනය අතහැර දැමූ සහ ඇතැම් දිනවල එළවළු පරිභෝජනයට නොගන්නා පවුල් ද සමීක්ෂකයන් විසින් හඳුනාගෙන තිබේ. බොහෝ පිරිස් බත් හා පරිප්පු හොද්දකින් පමණක් වේල පිරිමසා ගන්නා බවද සමීක්ෂකයන් හඳුනාගෙන ඇත.

නුවරඑළියේ පදිංචි 37 හැවිරිදි මවක වන රන්ජනී මහත්මිය සමීක්ෂකයන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නකි. ''හොඳට අව්ව පායපු දවසක් වුණත් මගේ මනුස්සයට හරිහමන් වැඩක් හොයාගන්න පුළුවන් වුණේ නැහැ. එයා මොකක් හරි වැඩක් හොයාගෙන නගරය පුරාම ඇවිදලා හවස ගෙදර ආවේ සුළු මුදලක් හොයාගෙනයි. ඒකෙන් අපි දරුවන්ට කන්න දෙයක් හදල දුන්නා. මම බඩගින්නේ හිටියා. මම එහෙම දවස් ගණන් බඩගින්නේ ඉඳල තියෙනවා. ගෙදර අයට මම බඩගින්නේ ඉන්නවා කියල පෙන්නන්නේ නැහැ.''

අවදානමට ලක්ව ඇති පිරිස වෙනුවෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අස්වැසුම නමින් නව වැඩසටහනක් දියත් කර ඇති අතර ඒ සඳහා අයැදුම්පත් මිලියන 3.7ක් ලැබී ඇතැයි රජය ප්‍රකාශ කර ඇත. එහෙත් LIRNEasia සමීක්ෂකයන්ට පෙනීගොස් ඇත්තේ ප්‍රතිලාභ අවශ්‍ය සියලු දෙනා එම වැඩසටහන සඳහා ලියාපදිංචි වී නොමැති බවටය. එම ආයතනයේ ඉසුරු සමරතුංග මහතා පෙන්වා දෙන්නේ  අස්වැසුම වැඩසටහන මගින් සහය අවශ්‍ය අයට ප්‍රමුඛත්වය ලබා දීමට රජයට අවස්ථාව හිමිවන බවයි. එහෙයින් එම වැඩසටහන සඳහා ලියාපදිංචිවීමට ප්‍රතිලාභ ලැබිය යුත්තන්ට යළි අවස්ථාවක් ලබාදිය යුතු බවද, නිලධාරීන් දැනට පවතින සමාජ සබඳතාවලින් ඔබ්බට ගොස් ප්‍රජාව දැනුම්වත් කිරීමට පියවරගත යුතු බවද එම වැඩසටහන කෙරෙහි විශ්වාසයක් ඇතිවන පරිදි කටයුතු කළ යුතු බවද පෙන්වා දෙයි.

එමෙන්ම සුබසාධන ප්‍රතිලාභ, නියාමනය කළ බැංකු මගින් බෙදාහැරිය යුතු බවද සමීක්ෂණයන්ගේ නිගමනය වී තිබේ. බොහෝ සමෘද්ධි ලාභීන් ප්‍රකාශ කර ඇත්තේ සමෘද්ධි බැංකු ක්‍රියාවලිය තුළ අකාර්ශ්මතාවයක් පවතින බවටය. සමෘද්ධි බැංකුව මහ බැංකුව මගින් නියාමනය නොකරන බැවින් ඒවා මහබැංකුව යටතේ නියාමනය කිරීමට පියවර ගන්නා බව පැවසේ.

මේ අතර පසුගියදා ලෝක බැංකුවද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවටය. එම වාර්තාව අනුව 2021 සිට ශ්‍රී ලංකාවේ ද්‍රරිද්‍රතාව ඉහළ යමින් පැවති අතර 2021 සහ 2022 අතර කාලයේ 13.1% සිට 25% දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර අනාරක්ෂිතභාවය අත්විඳින පවුල් ප්‍රමාණය 2021දී 7.4%ක් වූ අතර එය 2022දී 9.4% දක්වා ඉහළ ගියේය. 2023 සහ 2024 කාලය තුළ රටතුළ සිදුකෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් රටේ දරිද්‍රතාව තවදුරටත් ඉහළ යනු ඇතැයි එම වාර්තාව පෙන්වා දී තිබේ.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා