2023 ජුනි 17 වන සෙනසුරාදා

ආනයනයට යළි දොර ඇරීම කොහොම නවතීද?

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 104

රුපියල අවප්‍රමාණ වීම වළක්වා ගැනීම සඳහා ප්‍රතිකර්මයක් වශයෙන් ආනයන භාණ්ඩ සීමා කිරීම සහ ඇතැම් භාණ්ඩ ආනයනය සපුරා තහනම් කිරීමේ ක්‍රියාමාර්ගයකට පසුගිය වසර පමණ කාලය තුළ රජය පියවර ගත් බව පෙනෙන්නට තිබිණ. මේ වනවිට විටින් විට භාණ්ඩ 4000 ක් පමණ මෙලෙස ආනයනය කිරීම අවහිර කර තිබිණ. එසේ වුවද විටින් විට මෙම සීමාව ලිහිල් කිරීම නිසා මේ වනවිට ආනයනය ලිහිල් කළ භාණ්ඩ සංඛ්‍යාව 1500 ක් පමණ බවට පත්ව ඇතැයි දැනගන්නට තිබේ.

මෙහි අලුත්ම ලිහිල් කිරීම වූයේ පසුගිය 9 වැනි සිකුරාදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අනුව භාණ්ඩ වර්ග 300 ක පමණ මෙම තහනම් ලේඛනයෙන් ඉවත් කිරීමය. යෝගට්, බටර්, මත්ස්‍ය නිෂ්පාදන, මද්‍යසාර නොවන පාන වර්ග, කොකෝවා වැනි ආහාර මෙන්ම නාන කාමර උපාංග, සින්ක් ටොයිලට් පේපර්, සනීපාරක්ෂක භාණ්ඩ, ප්ලාස්ටික් බෝඩ්, ප්ලයිවුඩ් ඇලුමිනියම් නිෂ්පාදනද මේ අනුව ආනයනය කිරීමට අවස්ථාව ලැබී ඇත. කෙසේ වුවද මෙවර ආනයනයට අවසර දුන් භාණ්ඩ අතර අත්‍යවශ්‍ය නොවන බොහෝ දේවල් ඇති බවට චෝදනා එල්ල වීමට පටන්ගෙන තිබේ.

මෙම ලේඛනයේ සඳහන් භාණ්ඩවලට අමතරව රුපියල ශක්තිමත් වීම නිසා බොහෝ දෙනා විවිධ භාණ්ඩ ආනයනයට පෙළඹෙමින් සිටිති. ඒ නිසාද වැය වන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යමින් පවතී. දැනට පවතින තත්ත්වය පාලනය කිරීමට නම් ආනයනය නියාමනය කළ යුතු බවට ආර්ථික විශ්ලේෂකයෝ පවසති. එසේ නැතිව පෞද්ගලික අපේක්ෂා පදනම් කරගෙන ආනයනය කිරීමට අවසර දුනහොත් විදේශ විනිමය විනාශ වී අනාගතයේදී රට අර්බුදයකට ලක්වීමට ඇති ඉඩකඩ වැඩි බවටද අනතුරු හැඟවේ. ඒ නිසා ආනයන සීමා ලිහිල් කිරීම ඉතාම පරීක්ෂාවෙන් පියවරෙන් පියවර ගත යුතු බව බොහෝ දෙනාගේ අදහස වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ ආනයන ලිහිල් කිරීම පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ අපේ රටේ කිසිදු දිනක ආනයන ප්‍රතිපත්තියක් නොතිබූ බවය. ඒ නිසා එක් එක් අයට අවශ්‍ය පරිදි ආනයනය කිරීම දිගටම සිදු වී තිබේ. විශේෂයෙන් දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් තමන්ට අවශ්‍ය පරිදි, ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව භාණ්ඩ ආනයනය කිරීම නිසා තත්ත්වය වසරින් වසර ව්‍යාකූල වී තිබේ. විදේශ විනිමය නාස්තිය මෙන්ම දේශීය කර්මාන්තවලටද මේ හේතුවෙන් විශාල තර්ජනයක් සිදු වූ බව ඔහු පෙන්වා දෙයි.

''මේ නිසා රටට අනවශ්‍ය ආනයන විශාල ලෙස රට තුළට ආවා. කිසිම සීමාවක් නෑ. අපේ ජාතික කොඩිය පවා චීනයෙන් ආනයනය කළා. බෞද්ධ කොඩි ඉන්දියාවෙන් ගෙනාවා. මේ නිසා දේශීය කර්මාන්තවලට විශාල තර්ජනයක් ඇතිවුණා. කිසිම ආණ්ඩුවක් ආනයනය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට අවධානය යොමු කළේ නෑ. ඇතැම් වර්ෂවල වතුර බෝතල් පවා පිටරටින් ගෙන්වුවා.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2020 – 21 වසරවල විශාල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙන්න රටට සිදුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනයන සීමා කිරීමට සහ ඇතැම් ආනයන තහනම් කිරීමට රජයට සිදුවුණා. එහෙත් එහෙම නමට සීමා කළත් විශේෂිත පුද්ගලයන්ට නොයෙක් අවස්ථාවල ආනයනයට අවසර දුන්නා. දේශපාලනඥයන් සහ ඔවුන්ට සම්බන්ධකම් ඇති පුද්ගලයන් කිසිදු සීමාවකින් තොරව පිටරටින් භාණ්ඩ ගෙනාවා. ඒවා වැඩි කොටස අපේ රටට අවශ්‍ය ඒවා නොවෙයි. ඇතැම් දේශපාලනඥයන් මෙම ආනයනවලින් විශාල ලෙස කොමිස් ගැසූ බව කියැවෙනවා.

කොහොම වුණත් දීර්ඝ කාලයක් තිස්සේ භාණ්ඩ දහස් ගණනක් ගෙන්වීම නැවැත්වුවා. සීමා කළා. මෙම තහනම දේශීය කර්මාන්තවලට අහිතකර ලෙස බලපෑවා. ඇතැම් දේශීය නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් තමා ගෙන්වූයේ. නිමිඇඳුම් නිපදවීමට අවශ්‍ය රෙදිපිළි, බතික් කර්මාන්තයට අවශ්‍ය තීන්ත වර්ග, ඇතැම් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය, පාන් සහ බේකරි කර්මාන්තයට අවශ්‍ය මාගරින්, ඊස්ට් ඇතුළු අමුද්‍රව්‍ය ගෙන්වීම තහනම් කළා. මේ නිසා දේශීය නිෂ්පාදන බිඳවැටුණා. බාල ද්‍රව්‍ය නිෂ්පාදනයට එකතු වුණා. ඒවායේ මිල අසාධාරණ ලෙස ඉහළ ගියා. බාල බෙහෙත් ගෙන්වුවා. මෙරට බෙහෙත් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් ඒවායේ ප්‍රමිතිය බාල වුණා.

අපේ රටේ බොහෝ විට සිදුවුණේ අනවශ්‍ය ලෙස භාණ්ඩ ගෙන්වලා තොග රැස්කර තබාගෙන ඒවායේ හිඟයක් ඇති කරලා අධික මිලට අලෙවි කිරීමක්. විශේෂයෙන් සීනි වැනි ආනයනවල බදු විශාල ලෙස කපා දමා තම අන්තේවාසිකයන්ට විශාල ලෙස තොග රුස් කිරීමට ඉඩ දී අනතුරුව යළිත් බදු ඉහළ දමා වෙළෙඳපොළේ මිල උස්සා අයුතු ලාභ ලබාගැනීමට කටයුතු කළා. උදාහරණයක් ලෙස කිවහොත් දීර්ඝ කාලයක් තිස්සේ වාහන ආනයනය තහනම් කළාට අපේ රටේ වාහන හිඟ වූයේ නෑ. අලුතින් වාහන ලියාපදිංචි කළා. එයට හේතුව ඒ වනවිට අවුරුදු 5-6 කට සෑහෙන වාහන අතිරික්තයක් තිබීමයි. මෙහිදී කුප්‍රකට වෙළෙඳුන් අඩු බදුවලට ගෙනා වාහන වැඩි මිලට විකුණා විශාල ලාභයක් ලැබුවා. මෙයට ඇතැම් දේශපාලනඥයන්ද සම්බන්ධ වුණා. නාගරික මධ්‍යම පාන්තික ජනතාව කවදත් රුචි කළේ ආනයන භාණ්ඩවලටයි. එය විලාසිතාවක් බවට පත්ව තිබුණා.

කෙසේ වුවත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබාගන්නට පටන්ගත් පසු ලබන ජූලි මාසය වනවිට ආනයන සීමා ලිහිල් කළ යුතු බවට උපදෙස් ලැබිලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය සතියේ විවිධ භාණ්ඩ 298 ක ආනයන සීමා ලිහිල් කිරීමට රජයට සිදුවුණා. අනාගතයේදී තව රැසක ආනයන සීමා ලිහිල් කිරීමට නියමිතයි. එහෙත් මෙහිදී අවශ්‍යම භාණ්ඩවල සීමා ලිහිල් කරනවාද යන්න පිළිබඳ ගැටලු තියෙනවා. එසේම එලෙස ගෙනෙන භාණ්ඩ ජනතාවට සාධාරණ මිලට ලැබේද යන්නත් ප්‍රශ්නයක්. රජය ඒ සඳහා මැදිහත්වීම් කරනවාද?

එසේම ආනයන සංශෝධනය නිසා අපේ විදේශ විනිමය අර්බුදය තවත් උග්‍රවේද යන්න සලකා බැලිය යුතුයි. අපේ විදේශ සංචිතවල එතරම් ඩොලර් නෑ. ඇත්තේ ණයට ලබාගත් මුදල්. ඒ නිසා දෙවරක් නොසිතා ක්‍රියා කළහොත් යළි ආර්ථික අර්බුදය උග්‍ර විය හැකියි. එසේම නුදුරේදී අපට විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට සිදුවෙනවා. අමාරුවෙන් එකතු කරගත් ඩොලර් ස්වල්පය ආනයනවලට යොදවනවාද යන්න ගැන සිතා බැලිය යුතුයි. අත්‍යවශ්‍ය දේවල් මොනවාද යන්න සොයා බලලයි ආනයන කළ යුත්තේ. එසේම ආහාර ද්‍රව්‍යයක මිල වැඩි වූ ඇසිල්ලේම පිටරටින් ගෙන්වීමට අප කටයුතු කරනවා. බිත්තර ආනයනය කිරීම හොඳ උදාහරණයක්. කිසිම විචාරයක් නැතිවයි ආනයනය කරන්නේ.

වෙන රටවල අවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නේ ඇස්තමේන්තු කරලයි. රටට කොච්චර අවශ්‍යද? කොපමණ තියෙනවාද කියලා බලලයි ගෙන්විය යුත්තේ. ඒත් අපේ රටේ එහෙම කිසිම ගණන් මිනුමක් නෑ. අනවශ්‍ය තරම් ගේනවා. මේ නිසා දේශීය නිෂ්පාදනවලට බොහෝ අහිතකර වෙනවා.''

පාරිභෝගික අයිතින් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සංවිධායක සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්: ''ආනයන තහනම ලිහිල් කළ විට රටට විශාල වශයෙන් ආනයනය කරනවා. එහෙත් එම භාණ්ඩ සහ ප්‍රමාණයන් පාරිභෝගිකයාට ඇත්තටම අවශ්‍යද කියලා බලන්නේ නෑ. මෙහිදී අතරමැදි කූඨ වෙළෙඳුන් තමා ආනයන පිළිබඳ තීරණ ගන්නේ. ඒ අය තමන්ට වැඩි ලාභ ලැබෙන දේවල් ගෙන්වනවා. මෙච්චර කල් සිද්ධ වුණා වගේ මෙවරත් සිදුවෙන්නේ ඒ දෙය තමා. මේ පිළිබඳ තීරණ ගන්නා සාකච්ඡාවලට ඇත්තටම පාරිභෝගිකයන් නියෝජනය කරන සංවිධාන කැඳවන්නේ නෑ. ඒ නිසා ඒවායින් ගන්නා තීරණ අසාර්ථකයි.

මාසයකට හෝ වසරකට අවශ්‍ය ප්‍රමාණය කොතරම්ද කියලා ඇස්තමේන්තු කරලා ඒ ප්‍රමාණය ගෙන්විය යුතුයි. එහෙම නැතිව අනිවාරතේ ආනයනය කිරීමට අවසර දුන් විට සිදුවන්නේ නාස්තියක්. ගැසට් කරලා තහනම ඉවත් කළාම ඒ ඇසිල්ලේ සිට කූඨ වෙළෙඳුන් අනවශ්‍ය ලෙස ගෙනත් ගබඩා කර තබාගෙන නැති හිඟයක් පෙන්වලා පාරිභෝගිකයා ගසා කනවා. එම තත්ත්වය මර්දනය කිරීමට දැනට පවතින නීති හා අණ පනත් සෑහෙන්නේ නෑ. විශේෂයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ ප්‍රතිපාදන අදට ගැලපෙන්නේ නෑ. එය වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය කළ යුතුයි. වරදකරුවන් වූ විට අධිකරණයෙන් පනවන දඬුවම් ප්‍රමාණවත් නෑ. ඒවා යාවත්කාලීන කළ යුතු වෙනවා. එහෙම නැතිව කොතරම් වැටලීම් කළත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ.

පාරිභෝගිකයාට සහනයක් නොලැබෙනවා නම්, ආනයන තහනම ලිහිල් කිරීමෙන් රජය බලාපොරොත්තු වන පරමාර්ථය ඉටුවන්නේ නෑ. බොහෝ විට ආනයන පිළිබඳ දේශපාලනඥයන් ගන්නා තීරණ ප්‍රායෝගික නෑ. මෙවර ගෙන්වන්නට බලය දුන් ද්‍රව්‍ය 300 වුණත් ජනතාවට අවශ්‍යම ඒවා යැයි කියන්නට අපහසුයි. ඒවා අතරට අනවශ්‍ය දේවල් රිංගවලා තියෙනවා. රෑපලාවණ්‍ය ද්‍රව්‍ය, ටොයිලට් පේපර්, සනීපාරක්ෂක හා විලාසිතා ද්‍රව්‍ය ආනයනය කරනවාට වඩා පාසල් දරුවන්ගේ පොත්පත් ආදී අධ්‍යාපන ද්‍රව්‍ය හා උපකරණ ගෙන්වීමට ඉඩ දිය යුතු වෙනවා. එසේම පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍යවල මිල පහළ හෙළීමට අවශ්‍ය වෙනවා. එහෙත් අයිතම අඩංගු වෙලා නැත්තේ කාගේ වුවමනාවටද යන්න සොයා බැලිය යුතුයි.''

වාහන ආනයනයට පනවා ඇති තහංචි ඉවත් කළ යුතු බවට පසුගියදා පැවැති ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වූ අතර එහිදී රේගු නිලධාරින් පෙන්වා දී ඇත්තේ වාහන ආනයනය නැවතීම නිසා මෙවර අයවැයෙන් අපේක්ෂිත ආදායමට ළඟාවීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි වී ඇති බවය. ඔවුන් පවසා සිටියේ මේ වසරේ රුපියල් බිලියන 1226 ක් බදු ආදායම ලබාගැනීමට අපේක්ෂා කළද මේ වනවිට ලබාගෙන ඇත්තේ බිලියන 330 ක ආදායමක් පමණක් බවය. වාහන ආනයනය තහනම් නිසා මේ වසරේදී ලබාගත හැක්කේ රුපියල් බිලියන 783 ක් පමණක් බව ඔවුහු පවසා සිටියහ.

රේගු ආදායමෙන් 20% ක් පමණ ලැබෙන්නේ වාහන ආනයන බදුවලිනි. මේ මස සිට වාහන ආනයනයට ඉඩ දෙනවා නම් ඉදිරි මාස 6 තුළ බිලියන 150 ක බදු ලබාගත හැකි බවට රේගු නිලධාරින් සහතික වී ඇත. වසර 3 ක සිට වාහන ආනයන තහනම බලපවත්වන අතර දැන් එය ලිහිල් කිරීමට අවස්ථාව බවද පවසා තිබේ.

මේ පිළිබඳ ඉක්මන් තීරණයක් ගන්නා බව අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පවසා ඇති අතර ඒ ගැන ශ්‍රී ලංකා මහ බැංකුව සහ අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන බවද ඔහු පවසා තිබේ.

එසේ වුවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ වාහන ණයට ආනයනය කිරීමට අවසර දුනහොත් අපේ ණය බර තවත් වැඩිවන නිසා Credit Line යටතේ වුවද ආනයනයට ඉඩ දිය නොහැකි බවය.

Ceylon Motor Traders Association ආයතනයේ සභාපති චාරක පෙරේරා පවසන්නේ රටේ පවතින විදේශ විනිමය හිඟය සලකා බලා වාහන ආනයනය කරන්නට අවසර දෙන්නේ නම් ඒ පිළිබඳ සැලසුම් සහගත ලෙස පියවර ගත යුතු බවය. සංගමය මේ පිළිබඳ පසුගියදා ජනාධිපතිවරයාගේ අවධානයද යොමුකර ඇති අතර සාධාරණ ප්‍රතිචාරයක් ලැබේ යැයි බලාපොරොත්තු වන බවද හේ කීවේය.

''මුලින් වගේ කිසිදු පාලනයකින් තොරව ආනයනයට අවසර දිය යුතු නැහැ. අප කියන්නේ වාහන ආනයන බදු තවත් වැඩි කරලා එය වසරින් වසර අඩු කළ යුතු බවයි. එවිට ආනයන කිරීමේ ඉල්ලුම ප්‍රමාද වෙනවා. එකවරම ගෙන්වන්නේ නැහැ. අවස්ථා තුනකදී පිළිවෙළින් මුලින්ම යතුරුපැදි, ඊළඟට ව්‍යාපාර වාහන සහ තුන්වෙනුව මෝටර් කාර්වලට අවසර දිය යුතු වෙනවා. 2017 ට පෙර තිබුණේ වාහනයේ මිලට සාපේක්ෂව බදු පැනවීමයි. එහිදී සුඛෝපභෝගී වාහනවල බදු අඩුවීමක් සිදුවුණා. ඒවා වැඩිපුර ගෙන්වීමෙන් විදේශ විනිමය නාස්තියක් සිදුවුණා.''

මේ පිළිබඳ අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු පැවසුවේ ආනයන ලිහිල් කිරීමෙන් පසු මෙරටට ගෙන්වන ද්‍රව්‍යවල මිල සීමා කිරීමක් පිළිබඳ තවම අධිකාරිය තීරණයක් ගෙන නොමැති බවය. ඒවායේ මිල සාධාරණ මට්ටමක තැබීමට වෙළෙඳුන් කටයුතු නොකරන්නේ නම් ඒ පිළිබඳ අධිකාරිය මැදිහත් වෙන බව හෙතෙම පැවසීය. ඒ නිසා හදිසි තීරණ ගැනීමෙන් වැළකී සිටින බවද කීවේය.

♦ යසවර්ධන රුද්රිගූ