2023 ජුනි 04 වන ඉරිදා

ගුවන් තොටුපොළින් හොර බඩු ඇදීමේ ඉතිහාස කතා

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 136

රේගුවේ ඇස් වසා ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තය හරහා රටට ඇතුළු වන හොර බඩු පිළිබඳ ඉකුත් සති කිහිපයේ විශාල කතාබහක් ඇති විය. ඊට හේතුව වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කරමින් නීතිවිරෝධී ලෙස රත්රන් කිලෝ තුනහමාරක පමණ ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමට දැරූ උත්සාහයයි. 

මෙම ආන්දෝලනාත්මක සිදුවීම පසුබිම කොටගෙන අතීත වර්තමාන කතා එකට ගලපා මෙවන් සිදුවීම් වළක්වා ගැනීමට සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම දැන් යුගයේ අවශ්‍යතාවයක් වී තිබේ. විශ්‍රාමික රේගු අධ්‍යක්ෂකවරයකු වන රංජන් දන්තනාරායන මහතා අප සමඟ සම්මුඛ වූයේ මේ සම්බන්ධ කතිකාවක් වෙනුවෙනි. 

මීට දශක හතරකට පෙර ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කරමින් මෙරටට හොර බඩු ගෙන ආ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ඩැනියල් පිළිබඳ කතාවෙන් අපි සංවාදය ආරම්භ කළෙමු. මෙම සිදුවීම වාර්තා වූ 1981 දී, වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ රේගු නිලධාරියකු වූ දන්තනාරායන මහතා ගුවන් තොට සහ කොළඹ ගමන් බඩු කාර්යාලයේ සේවයට අනියුක්තව සිට තිබේ. 

කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුවූ දිනය දන්තනාරායන මහතාට නිවාඩු දිනයක් වී තිබේ. එහෙත් අදාළ දිනයේ සිදුවීම එවක මතක අනුව ඔහු අපට විස්තර කර දෙයි. සාමාන්‍යයෙන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රභූන්ගේ ගමන් බිමන් සඳහා පහසුකම් සපයන්නේ විදේශ අමාත්‍යාංශයේ නියෝජිතයකු විසිනි. 

“අනුර ඩැනියෙල් ප්‍රභූ පර්යන්තයේ රැඳී ඉන්නකොට, අනුර ඩැනියෙල් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශයේ නියෝජිතයා ආවා පාස්පෝට් එකත් අරගෙන බඩු ක්ලියර් කර ගන්න. නියෝජිතයා ඇවිල්ලා බඩු උස්සනකොට අපේ මාකණ්ඩු කියන නිලධාරියා එතැන හිටියා. එයා දැක්කා නියෝජිතයා උස්සන බෑග්වලින් එකක් බරයි කියලා. එතැන බෑග් දහයක් දොළහක් විතර තිබුණා. ඉතින් අපේ නිලධාරියා ඒක නැවැත්තුවා. ඒ.ඩී (අනුර ඩැනියෙල්) කියලා ගහලා තිබුණු බෑග් ඔක්කොම බෙල්ට් එකෙන් බාගෙන, කිව්වා අනුර ඩැනියෙල්ට එන්න කියලා." 

දන්තනාරායන මහතා සඳහන් කරන පරිදි මේ සමඟම විදේශ අමාත්‍යාංශ නියෝජිතයා අනුර ඩැනියෙල් කැඳවාගෙන පැමිණ තිබේ.

“අපිට පාර්ලිමේන්තු වරප්‍රසාද තියෙනවා." 

යනුවෙන් පවසමින් ඔහු සිය ගමන් මලු විවෘත කිරීම වළක්වා තිබේ. එහෙත් මෙහි රැදී සිටි තවත් ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියකු වන නවරත්න මහතා අදාළ ගමන් මඟ විවෘත කළ යුතු බව අනුර ඩැනියෙල්ට දන්වා තිබේ. 

“මේ බෑග්වල යතුරු නෑ." යනුවෙන් පවසමින් ඔහු එය මඟහැර තිබේ.

මෙම සිදුවීම් පෙළ ඉතා සවිස්තරව දන්තනාරායන මහතා විස්තර කරයි. පසුව මෙම ගමන්මලු, රේගු සුරක්ෂිතාගාරය වෙත රැගෙන යාමේ කටයුත්තට දන්තනාරායන මහතා ද සම්බන්ධ වී තිබේ. මෙහිදී සිදුවූ නීතිමය කටයුතු පිළිබඳ සේම එල්ල වූ දේශපාලන බලපෑම් පිළිබඳවත් විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ දන්තනාරායන මහතාගේ මත රුසක් තිබේ.

කෙසේ හෝ අවසානයේ මේ හා සම්බන්ධව අනුර ඩැනියෙල්ට දඩයක් ගසා අත්හිටවූ සිරදඬුවමක් නියම කිරීම දක්වා කටයුතු දුරදිග ගොස් තිබේ. වංචාව හෙළිදරව් වීමත් සමඟ මන්ත්‍රීවරයා ධූරයෙන් ඉවත් කිරීමටත් එවක ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කළේය.

වර්තමාන සිදුවීමට බොහෝ සෙයින් සමපාත මෙම සිදුවීමට දශක හතරක් ගත වී හමාරය. එහෙත් ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තය හරහා අදටත් හොර බඩු රටට පැමිණෙන බව අපි දනිමු. ඊට හේතුව ප්‍රභූ ගමන් භාණ්ඩ පරීක්ෂා කිරීමට එදා මෙන්ම අදත් නිසි ක්‍රමවේදයක් නොවීමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් අලි සබ්‍රි රහීම් ඉතිහාසයේ දෙවැනි වතාවට රේගු භාරයට පත්වූ පුද්ගලයා වන බව සැබෑවකි. එහෙත් ඉකුත් කාල වකවානුවේ මෙවන් වංචා සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රුසක් සිටි බවට විවිධ තොරතුරු වාර්තා අප දැක ඇත. ඇතැම් තැනක රටට මත්ද්‍රව්‍ය ගෙන ඒමට පවා ප්‍රභූන් කටයුතු කළ බවට කටකතා තිබේ.

එම නිසාම දන්තනාරායන මහතා වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුගෙන් අප විමසා සිටියේ එය වළක්වා ගත හැකි ක්‍රමවේදයයි.

“දැන් මෙතන උපදෙස් දීලා තියෙනවා ප්‍රභූ පර්යන්තයේ පරිලෝකන යන්ත්‍රයක් සවි කරන්න. ඇත්තටම එවැන්නක් අවශ්‍ය නැහැ. රේගු පරීක්ෂණ ශාලාවේ පරිලෝකන යන්ත්‍රයක් තියෙනවා. ප්‍රභූ පර්යන්තය හරහා මූමන්ට් දහයක් විතර තමා දවසකට සිද්ධ වෙන්නෙ. මම හොයල බලපු විදිහට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක් විතර වෙනවා මේ යන්ත්‍රය."

දැනගැනීමට ලැබෙන පරිදි ප්‍රභූ පර්යන්තයට පරිලෝකන යන්ත්‍රයක් සවි කිරීමට යෝජනාවක් පැමිණ තිබේ. එය ඉතා හොඳ යෝජනාවකි. නමුත්, ඉතා දීර්ඝ කාලයක් වැය වන වියදම් අධික කටයුත්තකි. එම නිසාම දන්තනාරායන මහතා සිය අත්දැකීම් ඇසුරින් මෙම ප්‍රායෝගික අදහස ඉදිපත් කරයි.

අනෙක් පසින් මෙම ක්‍රියාවලියට යටත් වන්නේ දේශීය ප්‍රභූන්ය. විදේශීය ප්‍රභූන්ගේ ගමන් භාණ්ඩ පරීක්ෂා කිරීම සම්බන්ධ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් තිබේ. එම නිසාම දන්තනාරායන මහතාගේ යෝජනාව ප්‍රතිඵලදායීය. දන්තනාරායන මහතා සිය යෝජනා මේ වන විටත් රජයේ ඉහළම බලධාරීන් වෙත යොමු කර ඇති බව අප සමඟ පැවසීය.

මෙම යෝජනාවට අනුව ප්‍රභූ පර්යන්තය භාවිත කරනු ලබන දේශීය ප්‍රභූවරුන්ගේ සියලුම ගමන් භාණ්ඩ රේගුවේ පරීක්ෂාවට ලක්වන බව ඔවුන් පළමුව දැනුවත් කළ යුතුය. එසේම මෙම රේගු පරීක්ෂාවන්, භාණ්ඩ හිමි දේශීය ප්‍රභූවරයාගේ අභිමතය පරිදි ඔවුන් ඉදිරිපිටදී හෝ ගුවන් තොටුපළේ සේවයේ නියුතු විදේශ කටයුතු අමාත්‍යාංශයේ භාණ්ඩ භාරව සිටින නියෝජිත නිලධාරීන් ඉදිරිපිටදී සිදු කළ හැක.

ගමන් භාණ්ඩ සඳහා අමතර පරීක්ෂාවක අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එම රේගු පරීක්ෂණ ශාලාව තුළම දැනටමත් ස්ථාපිත කර ඇති පරිලෝකන යන්ත්‍රයෙන් එම පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව පවතී. විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ රන්ජන් දන්තනාරායන මහතාට අනුව මෙම ක්‍රියා පටිපාටිය මගින් ප්‍රභූ පර්යන්තයේ සිදුවිය හැකි රේගු වංචා සහ අනෙකුත් අක්‍රමිකතාවයන් කිසිදු අමතර පිරිවැයක් නොමැතිව අවම කරගත හැකිවනු ඇත.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00