2023 ජුනි 04 වන ඉරිදා

මහනුවරට හොර ලයිසන් බෙදූ උසස් පෙළ සිසුවා

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 78

අවුරුදු 19ක් වයසැති ගම්පොළ කුරුඳුවත්ත පොලිස් වසමේ පදිංචි පාසල් සිසුවකු ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමේ ජාවාරමක නිරතව සිටියදී කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් පිරිසක් කළ හදිසි වාහන පරීක්ෂාවකදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කඩවත ප්‍රදේශයේ තැරුව්කරුවකු හා එක්ව ව්‍යාජ රියදුරු බලපත්‍ර 18ක් පමණ සකස් කර ඇති බව කුරුඳුවත්ත පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

කුරුඳුවත්ත පොලිස් වසමේ පදිංචි සැකකරු අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි අයකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී යැයි කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.
සැකකාර සිසුවා ව්‍යාජව සකස් කරන ලද රියදුරු බලපත්‍රයක් රුපියල් හතළිස් දහසක සහ රුපියල් පනස් දහසක මුදලකට අලෙවි කර තිබේ. මෙලෙස ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කරදී උපයා ගත් මුදල්වලින් සැකකාර සිසුවා රුපියල් ලක්ෂ තුනක් වැයකර අලුත්ම යතුරුපැදියක්ද මිලදී ගෙන තිබේ.

මෙම සැකකරු ව්‍යාජ රියදුරු බලපත්‍ර, ත්‍රිරෝද රථ, යතුරු පැදි, මෝටර් රථ හා ලොරි, වැන් රථ සඳහාද සකස් කර දී ඇති බව පොලීසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත. සැකකරු විසින් ව්‍යාජව සකස් කළ මෝටර් රථව ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාග පරීක්ෂණයට වෛද්‍ය පරීක්ෂණයට (ෆිට්නස් වාර්තා) පවා ඉදිරිපත් නොවූ පුද්ගලයන්ට ඉතා අධික මුදල්වලට ඒවා විකුණා ඇති අතර එලෙස ඔහුගෙන් ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කරගත් පුද්ගලයන් රුසක් මේ වනවිටත් කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණ ඔවුන්ගේ රියදුරු බලපත්‍ර (ව්‍යාජ ඒවා) ඉදිරිපත් කර ඇති බව කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

ව්‍යාජ රියදුරු බලපත්‍ර අධික මිල ගණන්වලට විකුණා සැකකාර සිසුවා උපයාගත් මුදලින් මිලදී ගත් නවීන යතුරුපැදියද සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වන කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයට ගෙන තිබේ.
සකස් කරන ලද ව්‍යාජ රියදුරු බලපත්‍ර පිළිබඳව දැඩි දුර පරීක්ෂණ සිදු කිරීමට එම රියදුරු බලපත්‍ර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත යැවීමටද පියවර ගෙන ඇත.

මෙම සැකකරු අහම්බෙන් පොලීසියට කොටුවූයේ කුරුඳුවත්ත නගරයේදී පොලිස් නිලධාරීන් ඔහු පැමිණි යතුරුපැදිය පරීක්ෂාවට ලක්කර රියදුරු බලපත්‍රය පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදී වන අතර එහිදී ඔහුගේ රියදුරා බලපත්‍රය ව්‍යාජ එකක් බවට පොලීසිය තහවුරු කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.

සිද්ධිය පිළිබඳව සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ අධීක්ෂණ මත කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ, උප පොලිස් පරීක්ෂක පී.ජී.කේ.එස්. බුද්ධිවර්ධන සහ පො.කො. සුරේෂ් (99838) යන නිලධාරීන් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

I ජේ.ඒ.එල්. ජයසිංහ