2023 ජුනි 04 වන ඉරිදා

සමාජ මාධ්‍යයේ බුදුදහමට අපහාස කරන්නෙ කවුද? කුමටද?

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 290

සච්චලා චිංචිලා සුන්දරීලා සමාජ මාධ්‍ය කරළියේ ප්‍රධාන භූමිකාවන්ට පණ පොවමින් සිටිති. එහෙත් සකල ක්ලේශ නසා බුද්ධත්වයට පත්ව පන්සාලිස් වසක් දම් දෙසා පරිනිර්වාණ පාත්‍ර තථාගතයාණන් යළි මෙහි වඩින්නේ නැත. ශ්‍රාවකයෝ කලබල වී සිටිති. මේ සිදුවන්නේ කුමක්ද? සමාජ මාධ්‍ය කරළියෙන් බුදු දහමට මෙතරම් අපහාස උපහාස නැගෙන්නේ ඇයි? අපි විමසා බලමු.

ආසන්න වශයෙන් නතාෂා එදිරිසූරිය සිදුවීම සහ පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු සිදුවීම මෙම සංවාදයට විෂය වේ. මේ වනවිටත් මෙම සිදුවීම් දෙකට අදාළව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින අතර, නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව එම ප්‍රකාශය මුදාහල යූටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකරද ඉකුත්දා අත්අඩංගුවට පත්විය. පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිටින අතර, මෙරට පැමිණීමත් සමඟම ඔහු අත්අඩංගුවට පත්වනු ඇතැයි කියැවේ.

මෙම සිදුවීම් ද්විත්ව සමගම සමාජ මාධ්‍ය තුළ ''බුදු දහමට අපහාස කිරීම'' පිළිබඳ සංවාදය අතිශය බැරෑරුම් එකක් බවට පත්ව තිබේ. පිරිසක් බුදු දහමට අපහාස කළ බව කියන නතාෂා සහ ජෙරම් වැනි අය කෙරෙහි ද්වේශසහගතව අදහස් පළ කරමින් සිටිති. තවත් පිරිසක් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටද ඉදිරිපත් වී සිටිති. භාෂණයේ නිදහස, අදහස් පළ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔවුන් උපුටා දක්වයි. මේ අතර මධ්‍යස්ථ මතධාරීන් ද නැතුවා නොවේ.

කෙසේවෙතත් ආසන්නතම සිදුවීම්වලට අමතරව 2023 වසර ආරම්භයේ මෙයාකාර තවත් සිදුවීමක් වාර්තා වූ බව සිහිකළ යුතුය. ඊට හේතුවූයේ සේපාල් අමරසිංහ නම් යූ ටියුබ්කරු සිදුකළ ප්‍රකාශයකි. ඔහු ශ්‍රී දළදා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට තිබුණි. එහිදී කලබල වූ බෞද්ධ භික්ෂූන් ඇතුළු බොහෝ පිරිසක් සේපාල් අත්අඩංගුවට ගන්නා ලෙසට පවසමින් පැමිණිලි කළහ. අවසානයේ ඔහු අත්අඩංගුවට පත්විය. දැන් එම නාටකය බොහෝදෙනාට අමතකය.

එසේ නමුත් මෙම ප්‍රකාශ ත්‍රිත්වය සලකා බලනවිට එහි වූ පොදු ලක්ෂණ කීපයක් අපට සොයාගත හැකිය. එම සියලු ප්‍රකාශවල ප්‍රකාශන මාධ්‍යය බවට පත්වන්නේ සමාජ මාධ්‍යයි. නූතනයේ සමාජ මාධ්‍ය ඕනෑම අයකුට ඕනෑම යමක් කීමට ඉඩ ඇති තැනක් වීම ඊට හේතුවයි. අනෙක් අතට මෙම ප්‍රකාශ සිදුකළ අය සැලකීමේදී, ඔවුන් සියලු දෙනාම ප්‍රසිද්ධිය හඹායන්නන් වීමද සුවිශේෂීය. එසේම ඔවුන් දේශපාලන ආර්ථික ආගමික අභිප්‍රායන් සහිත පුද්ගලයන්ය.

එවන් වටපිටාවක් තුළ අපහට අවබෝධ වන කරුණ නම්, බුදුදහම පිළිබඳ මෙවන් අදහස් පළ කිරීම ප්‍රසිද්ධ වීමට හේතු කාරණාවක් වී ඇති බවයි. ඒ බව තහවුරු කිරීමට, පසුගිය වසර කිහිපය තුළ බුදු දහමට අපහාස කිරීම සම්බන්ධ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක්ම උපුටා දැක්විය හැකිය.

කේ.කේ. ශ්‍රීනාත් චතුරංග නම් ලේඛකයෙක් විසින් ලියූ ‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය ඊට කදිම නිදසුනකි. හරයත් සමග නොගැලපෙන නමක් මෙම කෘතියට යොදාගැනීමට ප්‍රකාශකයා සහ ලේඛකයා කටයුතු කර තිබුණේ ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් බව පැහැදිලි විය. මෙම කෘතිය පසුව නීතිය ඉදිරියේ තහනම් වුවද, සැලකිය යුතු ප්‍රසිද්ධියක් අත්කර ගත්තේය.

තවද බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි කීවේ ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නම් අයෙකි. එම ප්‍රකාශය සමාජ මාධ්‍ය කැළඹූ අතර රටපුරා විශාල ආන්දෝලනයක් ඇති කළේය. පසුව ඔහු සමාව ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය පිටුපස වූයේ එම ආගමික කණ්ඩායමේ ව්‍යාප්තවාදී අභිප්‍රාය බව පසුව මනාව පැහැදිලි විය.

ඒ අනුව මෙවන් සිදුවීම් පිටුපස දේශපාලනික සහ ආර්ථික හේතුද ඇතිව බව පැහැදිලි වෙමින් තිබේ. ඇතැම් ප්‍රකාශ සහ සිදුවීම් දේශපාලන න්‍යාය පත්‍රවල කොටස් බව මේ වනවිටත් බොහෝදෙනා විශ්වාස කරති. බැලූ බැල්මටම මෙහිදී කඳවුරු දෙකක් නිරීක්ෂණය වේ. එකක් ජාතිකවාදී දේශපාලන කඳවුරයි. ඔවුන් මෙවන් කුපිත කරවන සුළු සිදුවීම්වල සහ ප්‍රකාශවල උපරිම දේශපාලන වාසි අත්පත් කරගනී. පුරවැසියන්ට සිය ආගමට ජාතියට විරුද්ධව නැගෙන අපහාසාත්මක ප්‍රකාශ පිළිබඳ ඇතිවන අව්‍යාජ වේදනාව ඔවුහු දේශපාලන තුරුම්පුවක් ලෙස භාවිතා කරති.

අනිත් පිරිස නියෝජනය කරන්නේ ජාතිකවාදීන්ට විරුද්ධ නූතන ලිබරල්වාදය සහ පැරණි වාමවාදී දේශපාලන කඳවුරුය. ඔවුන්ට බෞද්ධ දේශපාලන බලය හීන කිරීමේ අභිප්‍රායක් වේ. ඒ සඳහා අවශ්‍ය සමාජ මතය නිර්මාණය කිරීම වෙනුවෙන් බෞද්ධ විරෝධී ප්‍රකාශ සඳහා මෙම පිරිස් අනුග්‍රහය සහ රැකවරණය සපයයි. ඔවුන්ගේද අපේක්ෂාව බලය මිස අන් කිසිවක් නොවේ. කෙසේ වෙතත් මෙම පිරිස් ඉතා සූක්ෂම ක්‍රමවේද බෞද්ධ ජාතිකවාදී කඳවුරේ බලය නිශේධ කිරීම වෙනුවෙන් යොදාගන්නා බව පෙනී යයි.

කෙසේ වෙතත් මෙම සියලු පාර්ශ්ව සිය වේදිකාව කොටගෙන ඇත්තේ සමාජ මාධ්‍ය අවකාශයයි. එහි ඇති වල්බූරු නිදහස මෙම දෙපාර්ශ්වයටම සිය අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අවකාශ සලසයි. කෙසේ වෙතත් මෙහි බරපතළම තත්ත්වය නම්, රුධිරය ගලා යන ඛේදවාචකයන් බවට මෙම ප්‍රකාශය සහ සිදුවීම් පරිවර්තනය වීමට ඇති හැකියාවය. එහෙත් බලලෝභීන්ට මේ පිළිබඳ වග විභාගයක් නොවේ. ඔවුන් සමාජ මාධ්‍ය රිසි සේ තමන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් තවදුරටත් භාවිත කරමින් සිටී.

මෙවන් වටපිටාව තුළ ආගමික සංහිඳියාවට බාධාකරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කිරීමද විශේෂ තත්ත්වයකි. පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටේ තැන් තැන්වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියා මිස අහඹු ක්‍රියා නොවන බව බුද්ධි අංශ වාර්තාකර ඇතැයි ආණ්ඩුව කියා සිටියි. මෙම විශේෂිත ඒකකය පිහිටු වීමට හේතුව එයයි. ඒත් මෙම ඒකකය තවත් දේශපාලන බළල් හස්තයක් නොවෙතැයි අපි අපේක්ෂා කරමු.

මෙහිදී සැලකිලිමත් විය යුතු තවත් කරුණක් වන්නේ මෙවන් ප්‍රකාශයන්ට වේදිකාවක් තිබීමට අමතරව, රසික සමූහයක්ද සිටීම පිළිබඳවයි. එහි වරද මුළුමනින්ම ප්‍රකාශ කරන්නන් පිට හෝ සිය දේශපාලන ආර්ථික වාසි වෙනුවෙන් යොදාගන්නත් පිට  පැටවිය නොහැකිය. මෑතකාලීනව බුදු සසුනේ සිදුවෙමින් ඇති පරිහාණිය ඊට ප්‍රමුඛ හේතුවකි. බුද්ධ දේශනාවේ හරයට බැහැරව යමින් ජනප්‍රියත්වය සහ ආර්ථික වාසි හඹායන භික්ෂූන් හේතුවෙන්, මෙරට බෞද්ධයන් සිටින්නේ විශාල කලකිරීමකය. භික්ෂූන්ගේ සමාජ මාධ්‍ය භාවිතාවන් සහ හැසිරීම් මේ කෙරෙහි සෘජුව බලපෑ ඇති බව සඳහන් කළ යුතුය.

අවසානයේ නූතන පරම්පරාව මෙම තත්ත්වය යටතේ සමස්ත බුදු දහම පිළිබඳම කළකිරීමක් ඇති කර ගනිමින් සිටී. මේ මොහොතේ සමාජ මාධ්‍ය අවකාශයේ භාවිතයන් තුළින් පිළිබිඹු වන්නේ එයයි. මෙරට දේශපාලනික භික්ෂූන් විසින් භික්ෂු ප්‍රතිරෑපය කඩා බිඳදමා තිබේ. මෙරට භික්ෂූන් අතර කල්ලිවාදී ගැටුම්ද සමාජ මාධ්‍ය අවකාශයේ නිරන්තර නිරීක්ෂණය වේ. මේ නිසාම බුදුදහම කෙරේ කලකිරුණු බොහෝ දෙනෙක් සිටිති. ඇතැමුන් සිටින්නේ කෝපයෙනි. ඔවුන් නිවැරදි වුවද වැරුදි වුවද අවසානයේ බෞද්ධ විරෝධී ප්‍රකාශවල රසික සමූහයා අතරට මෙම පිරිසද එක්වීම වළක්වා ගත නොහැකිය.

බොහෝ විට බුදුදහම පිළිබඳ විවේචනාත්මක අදහස් පළ කරන්නන් අතින්, ගර්හිත වන්නේ බුදු සමයේ හරය නොවේ. බුද්ධ දේශනාව වටා ගොඩනැඟී ඇති සංස්කෘතික සාහිත්‍යමය කරුණුය. නතාෂා එදිරිසූරියගේ සිදුවීමද එවැන්නකි. එවන් ප්‍රකාශයකට බෞද්ධයන් විසින් ලබාදිය යුත්තේ ආවේගශීලී තර්ජනාත්මක පිළිතුරු නොවේ. විචාරාත්මක යථාර්ථවාදී පිළිතුරුය. ඒත් මෙම සිදුවීම උදාහරණ කොට ගත්විට, ඇත්තෙන්ම සිද්ධාර්ථ උපත සහ අදාළ සිදුවීම පිළිබඳ දාර්ශනික තාර්කික පැහැදිලි කිරීම් සිදුකළේ බෞද්ධ භික්ෂූන් අතරින් අතලොස්සක් බව ඔබට පැහැදිලි වනු ඇත.

මේ මොහොතේ බෞද්ධ බහුතරයක් කරන්නේ කඩු පොලු අමෝරාගෙන බුදුදහම රකින්නට ඉදිරියට යාමයි. එහෙත් බුදුදහම තමන්හට රුකෙන්නට මඟ බව ඔවුනට අමතක වී තිබේ. නූතන විද්‍යාව සමඟ ඉදිරියට ඇදෙන ලෝකයට, බෞද්ධයන් ලෙස හඬ නගා පැවසිය යුත්තේ බෞද්ධ සාහිත්‍යයේ එන දිව්‍යමය කතන්දර නොවේ. බුදුරදුන් විසින් දේශනා කරන ලද ලෝක සත්‍යය පිළිබඳ ගැඹුරු දැක්මයි. තථාගතයන් වහන්සේ විසින් සිදුකරනු ලැබූ ආර්ය පරීක්ෂණයේ ප්‍රතිඵලයයි. සිත සහ සිතෙහි ස්වභාවය පිළිබඳ ගැඹුරු ඉගැන්වීමයි. එම පණිවුඩය ලොවට ලබාදීමටද අවැසි නම් සමාජ මාධ්‍ය වේදිකාවක් කර ගැනීමටද බෞද්ධයන්ට හැකිය.

I   චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00