2023 ජුනි 04 වන ඉරිදා

ඇමෙරිකානු ඩොලරයේ යුගය අවසන් විය හැකි දිනය

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 210

ඇමෙරිකා එක්සත් ජනපදය ලෝකය පුරා විසුරුවා ඇති ඩොලර් ප‍්‍රමාණය විගණනය කිරීම පහසු නැත. ඇමෙරිකානු රාජ්‍ය බැංකුව ඩොලර් සංචිතයේ විශාලත්වය ගැන අවධානයෙන් පසුවේ. ඇමෙරිකානු ඩොලර් මත තබා තිබුණු ගනුදෙනු විශ්වාසය තවත් මුදල් විශේෂ ගණනාවකට බෙදී යමින් පවතින බව පෙනේ. අනාගතයේදී ඩොලර් වෙනුවට වෙනත් මුදල් ඒකකයක් භාවිත විය හැකිද යන්න ආර්ථික විශේෂඥයන්ගේ අවධානයට ලක්ව ඇති කරුණකි. ලෝකයේ පොදු භාෂාවක්, පොදු මුදල් ඒකකයක් යනුවෙන් සංවාද පවතින නමුත් ඒවා පිළිගැනීමට ලක්වන දිනය ගැන නිශ්චිතභාවයක් නැත. ඇමෙරිකානු ඩොලරය මත පවතින බර වෙනත් මුදල් ඒකක භාවිතයෙන් පසු ලිහිල් විය හැකිද යන්න අවධානයට ගත යුතු කරුණකි.

ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.9 ක් දිනකට ගනුදෙනු වන බව සඳහන්ය. ශ‍්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4,000 කට මඳක් ඉහළින් පවතී. සමස්ත ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 88.93 ක් බව සඳහන් වේ. දිනකට හුවමාරු වන ඇමෙරිකානු ඩොලර් ප‍්‍රමාණය සලකන විට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කුඩා එකකි. එහෙත් ලෝකයේ රටවල් ලැයිස්තුවේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් හැට හත්වැනි ස්ථානයේ පසුවන අතර ශ‍්‍රී ලංකාවේ රුපියලට වඩා දරුණු පිරිහීමක් ඉරානයේ රුපියා මුදල් ඒකකයට හිමිය. එනම් ක්වෙට් දිනාර් ලෝකයේ අංක එකට පත්වන විට අවසන් ස්ථානයේ ඉරානයේ මුදල් ඒකකය පවතින බවද සඳහන් කළ යුතුය. ලෝකයේ විශ්වාසවන්තම මුදල් ඒකක ලැයිස්තුවේ දහවැනි තැන ඩොලරයට හිමි අතර බ්‍රිතාන්‍යය පවුම තුන්වැනි ස්ථානයේ ද, යුරෝ ඒකකට අටවැනි තැන ද උසුලයි. එසේ නමුත් ඇමෙරිකානු ඩොලරයේ පිළිගැනීම අඩු මට්ටමක නැත. 

► ඩොලරයට ලෝකයේ පිළිගැනීමක් ලැබෙන පිළිවෙළ

ඇමෙරිකානු ඩොලර් මුද්‍රණය ඇරුඹෙන්නේ මෙයින් වසර 109 කට පෙර ඇමෙරිකානු රිසව් බැංකුව පිහිටුවන ලද 1914 වසරේදීය. දශක තුනකට පසු ඩොලර් ලෝකයේ විශ්වාසනීයම මුදල් ඒකක දහයෙන් එකක් බවට පත්වේ. දෙවැනි ලෝක යුද්ධය එයට පිටිවහලක් විය. මිත‍්‍ර පාක්ෂික රටවල් යුද වදින විට ඇමෙරිකාව කෙළින්ම යුද්ධයට සම්බන්ධ අතර යුද අවි සැපයුමෙහි නිරත වේ. නවීන ආයුධ නිපදවන ඇමෙරිකාව ඒවා බ්‍රිතාන්‍යය ප‍්‍රමුඛ රටවලට විකුණා ජපානය හා ජර්මනිය පරාජය කරන සටන ඇවිලෙන විට එම ආයුධවලට ගෙවීම සඳහා විනිමය ප‍්‍රශ්න මතුවේ. යුද්ධයෙන් පරාජය වීම වෙනුවට රටවල් සතු රන් සංචිත ඇමෙරිකාවට පවරන මිත‍්‍ර පාක්ෂික රටවල් ඉතාම තීරණාත්මක අවස්ථාවකදී යුද ජයග‍්‍රහණය අත්පත් කරගනී. 

එක්ලක්ෂ විසි දහසත් දෙලක්ෂ විසිනම දහසත් අතර ජීවිත ප‍්‍රමාණයක් වනසන තවමත් අන්තරාය පවතින පරමාණු බෝම්බ දෙකක් නාගසාකි හා හිරෝෂිමාවට හෙළන ඇමෙරිකානුවෝ යුද ජයග‍්‍රහණය පමණක් නොව ලෝකයේ පවතින සියලු ධනය ද ඔවුන් සතු කර ගත්හ. යුද්ධය අවසන් වනවිට හිරු නොබසින අධිරාජ්‍යය එනම් බ්‍රිතාන්‍යයට සිය වහල් රටවල් නඩත්තු කළ නොහැකි වීමෙන් ක‍්‍රමයෙන් ඒවා අත්හරින්නට සිදුවිය. එම රටවලින් ආක‍්‍රමණ අභියෝග එල්ල වුවහොත් පැවැත්මක් නැති තැනට පත්වීමට වඩා ගෞරවාන්විතව නිදහස පවරන්නට සූදානම් වූ බ්‍රිතාන්‍යය තමන් යටතේ සිටි ඉන්දියාව, ලංකාව ඇතුළු රටවල් පනස් හයකට නිදහස ක‍්‍රමානුකූලව පැවරීය.

විශාලම රන් සංචිතය හිමි ඇමෙරිකාව දෙස විශ්වාසයෙන් බලන ලද ලෝක ප‍්‍රජාව අතරින් විශාල රටවල් ප‍්‍රමාණයක වැසියෝ ස්වදේශීය මුදල් ඒකකයට වඩා ඩොලර් කඩදාසි කෙරෙහි විශ්වාසය තැබූහ. අදටත් ලෝකයේ ගනුදෙනුවලින් 45% ක් ඇමෙරිකානු ඩොලර්වලින් සිදුවේ. ලොකු කුඩා රටවල් රන් හා සමානව ඩොලර් සංචිත නඩත්තු කරයි.

►  පළමු අභියෝගය යුරෝ 

ඇමෙරිකානු මුදල් ඒකකයට ලෝකයේ තිබුණු හුවමාරු බලය සුළු වශයෙන් හෝ අඩාල වීමට පළමුවෙන් බලපාන ලද සාධකය යුරෝ මුදල් ඒකකය බව අවිවාදිතය. යුරෝපා රටවල් 21 ක් එකතු වී එක පරිපාලනයක් සහ එක ආර්ථිකයක් ගොඩනැගීය. 1991 වසරේදී රටවල් 21 ක් නෙදර්ලන්තයේ මැන්චෙස්ටර් නගරයේදී හමුවී මෙම තීරණය ගත් නමුත් මෑතකදී බ්‍රිතාන්‍යය එයින් ඉවත්ව ගියේය. ආරම්භක හුවමාරු දිනයේ සිට අද වනවිට රටවල් 20 ක් සිය එදිනෙදා ගනුදෙනුවලදී යුරෝ භාවිත කරයි. ඩොලර් ට්‍රිලියන 2.9 ක් දිනකට හුවමාරු වන අතර ජාත්‍යන්තර විනිමය වාර්තා පෙන්වන පරිදි යුරෝ ට්‍රිලියන 2.3 ක්ද ගනුදෙනුවලදී දිනකට හුවමාරු වේ.  

ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ලෝකයේ තුන්වැනි තැනට දිනකට විනිමය හුවමාරු වන ඒකකය ජපානයේ යෙන් බව සඳහන්ය. දෙවැනි ලෝක යුද්ධයේදී බිංදුවට වැටුණු ජපානය විශාල නැගී සිටීමක පසුවන අතර කාර්මීකරණයෙන් හා තාක්ෂණයෙන් ඉදිරියටම පැමිණ සිටියි.

ඇමෙරිකා එක්සත් ජනපද මුදල් ඒකකයට ලැබී ඇති පිළිගැනීම හා විශ්වාසය පදනම් කරගෙන ලෝකයේ මහ බැංකුවල එකතු වී ඇති වත්කම්වලින් 59% ක් ඇමෙරිකානු ඩොලර් බව දැක්වේ.  

ලෝකයේ දැනට භාවිත වන වෙනත් මුදල් ඒකකයකට වඩාත්ම විශ්වාසය දිනාගත් සහ ලෝකයේ බහුලවම භාවිත කරන තත්ත්වයට පැමිණිය හැකිද? මෙම ප‍්‍රශ්නය ගැන විචාරකයෝ විවිධ පිළිතුරු සපයති. චීනයේ රිනිමිබි මුදල් ඒකකය ඊළඟ සියවසේ වැඩිපුරම භාවිත විය හැකිද? විශාල ජනගහනයක් සහ බටහිරට තර්ජනයක් වන පරිදි ආර්ථිකය හසුරුවන බැවින් ලෝකය පුරා ව්‍යාප්ත වනු ඇතැයි මතයක් පවතී. නමුත් චීනය කෙළින්ම ප‍්‍රාග්ධන පාලනයක පසුවන හෙයින් මුදල් විසිරිකරණයකට ඉඩ සීමිත බව පිළිතුර වී තිබේ. යුරෝ හෝ ජපානයේ යෙන් බහුලවම භාවිත වන සහ විශ්වාසය දිනාගත් මුදල් ඒකකය විය හැකිද යන ප‍්‍රශ්නය ද සාකච්ඡා වෙමින් පවතී. 

► ඉන්දියාවේ ජාත්‍යන්තරයට ප‍්‍රවේශය

ඉන්දියානු රුපියල කෙරෙහි ගනුදෙනු කරන රටවල නැඹුරුවක් පවතී. ලෝකයේ විශාලතම ජනගහනය සහ දැවැන්ත සංවර්ධනයක් සහිත පසුබිම තුළ සියවසේ ඉන්දියානු යුගය එළැඹ ඇති බව විචාරකයෝ සඳහන් කරති. 

විශාල ජනගහනයෙන් මිලියන තිස් දෙකක් ඉන්දියාවෙන් බැහැර ප‍්‍රදේශයක් වාසස්ථානය සේ තෝරාගෙන ඇත. මෙම කොටසෙන් මිලියන 16.83 ක් ඉන්දීය සම්භවයක් සහිත පිරිසක් වන අතර තවත් මිලියන 13.45 ක් අනේවාසික පිරිසකි. විවිධ රටවල රුකියා කරන මිලියන සංඛ්‍යාත ඉන්දියානුවෝ වසරක් පාසා ඔවුන් උපයන ධනය ඉන්දියාවට එවති. 2022 වසරේ මැද වනවිට ඉන්දියානුවන් සිය දේශයට එවන විදේශ විනිමය ප‍්‍රමාණය බිලියන සියය සීමාව ඉක්මවා ගිය අතර එය අලුත් වාර්තාවකි. රටින් බැහැර සිටින පිරිස් ඔවුන්ගේ පරිහරණයට ඉන්දියානු රුපියල් ආරක්ෂා කරගෙන සිටිති. ඔවුනොවුන් අතර ගනුදෙනු නොවන්නේද නොවේ. ශ‍්‍රී ලංකාවේ ජනගහනයටත් වඩා මිලියන දහයක පිරිසක් කරන ගනුදෙනුවලදී ඉන්දියානු රුපියල් භාවිතය සැලකිය යුතු ප‍්‍රතිශතයක් විය හැකිය. 

අලුත් වාර්තා දක්වන පරිදි ලෝකයේ රටවල් 18 ක් ඉන්දීය රුපියල නිල ගනුදෙනු සඳහා පිළිගෙන ඇත. රටවල් අතර ගනුදෙනුවලදී රුපියල් හුවමාරු වේ. මේ අතරට අලුතින්ම ශ‍්‍රී ලංකාව එකතු වන අතර ඉන්දීය රිසව් බැංකුව හා ශ‍්‍රී ලංකාව මහ බැංකුව එයට අවශ්‍ය එකඟතා ලියැවිලි සකස් කරමින් සිටී. මෙම නිදහස විවෘත වූ පසු ඉන්දීය සංචාරකයකු හෝ වෙළෙන්ඳකු ඉදිරිපත් කරන ඉන්දීය රුපියල් භාරගැනීම සිදුවනු ඇත. නේපාලය, භූතාන්, මියන්මාර්, මාලදිවයින, එක්සත් අරාබි එමීර්, ඉරානය, ඉරාකය, යෙමන්, බහරේන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය, සිරියාව, ජෝර්දානය, ලෙබනන්, ඊජිප්තුව, රුසියාව, සිංගප්පූරුව, ජර්මනිය ඇතුළු රටවල් මේ අතර සිටියි.

ඉන්දියානු ආර්ථිකය ලෝකයේ සියලුම රටවල් සමඟ ඍජු ගනුදෙනු කරන අතර එහි වාසිය ලබාගනිමින් සිටී. ජාත්‍යන්තර ප‍්‍රජාව රුසියාවට සම්බාධක පනවන නමුත් එරටින් බොරතෙල් මිල දී ගන්නා ඉන්දියාව එයට රුපියල්වලින් ගෙවීම් කරයි. තෙල් පිරිපහදු කර යුරෝපයට අලෙවි කරන ඉන්දියාව එයින් ඇමෙරිකානු ඩොලර් උපයා ගනිමින් සිටී. මෙවැනි පසුබිමක් මත ඉන්දීය මුදල් ඒකකයේ විශ්වාසනීයත්වය තහවුරු වන නමුත් ලෝකයේ වැඩිම රටවල් ප‍්‍රමාණයක් ගනුදෙනු කරන තැනට එන්නට තවත් සෑහෙන කාලයක් ගත විය හැකිය.

I සාරා කන්දෙගොඩ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00