2023 ජුනි 04 වන ඉරිදා

මේ තමයි ආචාර්ය ජයන්ත ධනපාල

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 67

ලොව දසදෙසින්ම කීර්තියට පත් තවත් ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයෙක් පසුගිය 27 වැනිදා තම දිවිසැරිය අවසන් කළේය. ඒ මෙරට සිටි කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ ආචාර්ය ජයන්ත ධනපාල මහතාය. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස 85කි.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ තානාපති සහ නිත්‍ය නියෝජිත ලෙසද එක්සත් ජනපදයේ තානාපති ලෙසද, එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ පර් යේෂණ ආයතනයේ (UNIDIR) අධ්‍යක්ෂවරයා ලෙස ද, 1998 සිට 2003 දක්වා එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ කටයුතු පිළිබඳ උප ලේකම්වරයා ලෙසද කටයුතු කළ ඔහු. පසුව විද්‍යාව සහ ලෝක කටයුතු පිළිබඳ පුග්වොෂ් සම්මන්ත්‍රණවල සභාපති සහ ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර් යේෂණ ආයතනයේ උප සභාපතිවරයා ලෙසද ''ද බුලටින් ඔෆ් ද ඇටමික් සයන්ටිස්ට්''හි අනුග්‍රාහක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසද කටයුතු කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙසද කලක් කටයුතු කළ ධනපාල මහතා ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම සඳහා පිහිටුවා ඇති මහලේකම් කාර්යාලයේ මහාලේකම්වරයා ලෙසද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනාගෙන් අයෙක් ලෙසද කටයුතු කළේය. තරගයෙන් ඉවත්වීමට පෙර එක්සත් ජාතීන්ගේ මහලේකම් තනතුර සඳහා ශ්‍රී ලංකාවේ නිල අපේක්ෂකයා ලෙස නම්කර සිටියේ ආචාර්ය ජයන්ත ධනපාලය.

1938 දෙසැම්බර් 30 වැනි දින මහනුවරදී උපත ලද ආචාර්ය ධනපාල අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. එම පාසලේ සැම අතින්ම දක්ෂ සිසුවා ලෙස ඔහු 1956දී රයිඩ් රන් පදක්කමෙන් පිදුම් ලැබීය. වයස අවුරුදු 17 දී ''අපට අවශ්‍ය ලෝකය'' නමින් ඔහු විසින් රචිත ප්‍රබන්ධයට ඇමෙරිකාවේදී ත්‍යාගයක් හිමිවූ බැවින් ඔහුට ඇමරිකා එක්සත් ජනපදයට යෑමට අවස්ථාව උදා වූ අතර එහිදී සෙනෙට් සභික ජෝන් එෆ්. කෙනඩි සහ ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හවර්. හමුවීමටද අවස්ථාව හිමි විය.

1965 දී ශ්‍රී ලංකා විදේශ සේවයට එක් වූ ආචාර්ය ධනපාල රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස කීර්තිමත් වෘත්තීය ජීවිතයක් ගත කරමින් තම රටට අවංකව සහ කැපවීමෙන් සේවය කළේය. ලන්ඩන්, බීජිං, වොෂින්ටන් ඩී.සී., නවදිල්ලි සහ ජිනීවා යන නගරවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවයේ නිරත වූ ඔහු පසුව ජිනීවාහි සහ, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරන ලදී.

න්‍යෂ්ටික අවිහරණය සහ නිරායුධකරණය යන ද්විත්ව අරමුණු සමතුලිත කරමින් ඔහු ක්‍රියාත්මක කළ වැඩසටහන නිරායුධකරණය පිළිබඳ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වූ අතර, 1995 පැවැති න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය  වැළැක්වීමේ ගිවිසුම් සමාලෝචන සමුළුවේදී ඔහුගේ සභාපතිත්වය පුළුල් පිළිගැනීමකට ලක්විය. විනාශකාරී ආයුධවලින් තොර ලෝකයක් සඳහා ඔහු දක්වන ලද විශේෂඥභාවය සහ කැපවීම ගෝලීය වශයෙන් මහත් අගැයීමට ලක්විය. විශේෂයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව, නිරායුධකරණය සහ බහුපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික මාතෘකා යටතේ කෘති සහ ලිපි රචනා කළේය.

1997 එක්සත් ජාතීන්ගේ ප්‍රතිසංස්කරණවලින් පසු නිරායුධකරණ දෙපාර්තමේන්තුව නැවත ස්ථාපිත කිරීම සඳහා උප ලේකම්වරයාගේ අභියෝගාත්මක කාර්යය භාර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්, කොෆි අනන් විසින් ජයන්ත ධනපාල තෝරා ගන්නා ලදී. ඔහුගේ ධුර කාලය තුළ, කුඩා අවි සහ සැහැල්ලු අවි, පුද්ගල නාශක බිම්බෝම්බ, සාම්ප්‍රදායික ආයුධ සහ මහා විනාශකාරී ආයුධ අත්අඩංගුවට ගැනීමේ එක්සත් ජාතීන්ගේ නියමු ව්‍යාපෘතිය මෙහෙයවන අතරම මිසයිල වැනි අනෙකුත් අවි පාලනයටද පියවර ගත්තේය. ඇල්බේනියාව වැනි රටවල අවි පාලනය සඳහා කටයුතු කළ ඔහු සංවර්ධනය තුළින් අවිහරණය සිදු කිරීමට පියවර ගත් අතර පරිසර සහ සාම අධ්‍යාපන වැඩසටහන්ද ක්‍රියාත්මක කළේය. එම රටවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ගැටලු, රුකියා හා ජීවන ගැටලු සම්බන්ධයෙන් මෙන්ම නිරායුධකරණ ක්ෂේත්‍රය තුළද ඔහු නව මාවතක් නිර්මාණය කළේය.

2004 - 2005 දක්වා ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ (SCOPP) මහලේකම්වරයා ලෙස ඔහු පත් කරන ලදී. ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂ උපදේශකවරයා ලෙස කටයුතු කළේද ආචාර්ය ධනපාලය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ සබරගමුව විශ්වවිද්‍යාලය ඔහුට ගෞරව සම්මාන පුදකළ අතර එක්සත් රාජධානියේ සවුත්හැම්ප්ටන් සහ රුසියාවේ ඩබ්නා විශ්වවිද්‍යාලය සම්මාන ආචාර්ය උපාධිද ඔහුට පිරිනැමීය. අසාධාරණත්වයට එරෙහි සටනේදී ලෝකයේ හෘදය සාක්ෂිය බලමුලු ගැන්වූ මිනිසකු ලෙසින් හඳුන්වන ෂෝන් මැක්බ්‍රයිඩ් නමින් පිහිටුවා ඇති මැක්බ්‍රයිඩ් සාම සම්මානයද ඔහුට හිමි විය. ආචාර්ය ධනපාල දෙදරු පියෙකි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා