2023 මැයි 28 වන ඉරිදා

ගාල්ල හිරිවඩුන්නේ ධන නිධානයක්?

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 363

පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණය ඇත්තේ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ, Sea of Sri Lanka කලාපයේ බව නාසා ආයතනය තහවුරු කර තිබේ. ඒ අතරින්ද දකුණු ලකේ හිරිවඩුන්න ලොව අඩුම ගුරුත්ව බල කේන්ද්‍රයකට හිමිකම් දරන බව දැන් සනාථ වී ඇත. හිරිවඩුන්න සම්බන්ධයෙන් නාසා කළ ඇඟ හිරිවැටෙන මේ එළිදරව්ව ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් ඉසුරුමත් කතාබහකට මඟ හෙළි කිරීමට සමත් වී හමාරය.

මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ, ජල මූලාශ්‍ර සහ සමස්ත මහ පොළොවේ ගුරුත්වාකර්ෂණ වෙනස්කම් පිළිබඳව නාසා ආයතනය සහ ජර්මානු අභ්‍යවකාශ ආයතනය ඒකාබද්ධව චන්ද්‍රි‍කා යුගලක් යොදා 2002 සිට 2017 දක්වා වසර ගණනාවක් තිස්සේ සිදු කළ ග්රේස් ක්‍රියාන්විතයේ, Nasa’s GRACE mission (Gravity Recovery and Climate Experiment) ප්‍රතිඵලයක් ලෙසටය. මේ විද්‍යාත්මක තහවුරු කිරීමත් සමඟ නුදුරු අනාගතයේ බිහිවන අභ්‍යවකාශ ජනාවාසයන්ගෙන් සමන්විත, අන්තර්-ග්‍රහලෝක විශ්ව ගෝලීය සුපිරි සමාජය මගින් ඇතිකරන පෙරැළිකාර විශ්ව ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව ඉහළම සුදුසුකම් සපුරා හමාරය.

මේ නව විද්‍යාත්මක තහවුරුව, ඉපැරුණි රාවණා රජු ගැන වූ ප්‍රවාදයේ රසදිය බලයෙන් ලොව වටා මෙන්ම, විශ්වය පුරා ග්‍රහ සවාරි පවා ගිය බව කියන “පුෂ්පක රථය” සහ  “පුරාතන ලංකා පුරය” පිළිබඳ කතාබහටද අලුත් තල්ලුවක් දී තිබේ. නමුත් මේ එළිදරව්‌වේ සැබෑ ආර්ථික වටිනාකම ඊට වඩා බොහෝ බරපතළය.

මේ ආන්දෝලනාත්මක භූ විද්‍යාත්මක එළිදරව්වේ සැබෑ වටිනාකම පිළිබඳව අප කළ විමසීමකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දුන්නේ ලංකාවේ වාසය කළ විශිෂ්ට විද්වතකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා ශ්‍රී ලංකාව අභ්‍යවකාශය වෙත යාමට ඇති ලොව පහසුම සහ සුදුසුම ස්ථානය ලෙස පෙන්වා දුන් අපූරු අනාගත දැක්ම මේ සොයා ගැනීමත් සමඟ සනාථ වී ඇති බවයි. නූතන තාක්ෂණ පෙරුළියට මඟ පෙන්වූ චන්ද්‍රිකා තාක්ෂණය,  අන්තර්ජාලය වැනි සොයාගැනීම් සඳහා සිය විද්‍යාත්මක ලේඛන මගින් මඟ එළි කළ ලංකාවේ විසූ සම්මානිත ආගන්තුක පුරවැසියා වන ආතර් සී. ක්ලාක්, අනාගතයේ අභ්‍යවකාශයට පහසුවෙන්ම යාම සඳහා අභ්‍යවකාශ සෝපානයක් Space elevator, තැනීමට හැකි බවට වූ විද්‍යාත්මක සංකල්පය විස්තර කරමින් ඒ සෝපානය සඳහා සුදුසුම ස්ථානය ලෙස ලංකාව නම්කර තිබූ බව මෙහිදී මහාචාර්ය සේනාරත්න මතකයට නැංවීය. ආතර් සී. ක්ලාක් විසින් 1979 දී නිර්මාණය කළ හියුගෝ සහ නෙබියුලා  අන්තර්ජාතික සම්මාන සඳහා පවා පාත්‍ර වූ ඔහුගේ “පාරාදීසයේ උල්පත්” ලෙස සිංහලයට  නැගුණු The Fountains of Paradise,  නමැති  විද්‍යා ප්‍රබන්ධයේදී උඩුගුවන කරා විහිදෙන "කක්ෂීය කුලුන" - "orbital tower”, නමැති අභ්‍යවකාශ සෝපානයක් ගැන සත්‍ය  විද්‍යාත්මක විස්තර සපයයි.

කතාවට අනුව 22 වැනි ශතවර්ෂයේ නිර්මාණය ඇරඹෙන මෙම "කක්ෂීය කුලුන" යනු පොළවෙන් නැගී උඩුගුවන කරා කේබල් මගින් ඇදී යන යන යෝධ ව්‍යුහයකි. එය මහ පොළොවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 36,000 ක (සැතපුම් 22,300) උසින් උඩුගුවනේ පිහිටි භූ ස්ථායී කක්ෂයේ රඳවන චන්ද්‍රිකාවක් සමඟ සම්බන්ධ වේ. එවැනි ව්‍යුහයක් රොකට් භාවිත කිරීමේ බරසාර වියදමකින් තොරව පෘථිවි කක්ෂයට මිනිසුන් සහ බර උපකරණ තිරසාර ලෙස ප්‍රවාහනය සඳහා භාවිත කළ හැකිය.

මේ කතාවේ ආචාර්ය ක්ලාක් කක්ෂීය කුලුන හෙවත් අභ්‍යවකාශ සෝපානය රුඳවීම  සඳහා මහ පොළොව මත ඇති සුදුසුම ස්ථානය ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ. ඔහු ඒ සඳහා ලංකාවේ කාශ්‍යප රජුගේ ආලකමන්දා රාජධානිය වූ සීගිරිය පර්වතය සමනළ කන්ද අසලට ගෙනවුත් පාදම සඳහා යොදාගන්නා හැටි අපූර්ව ලෙස විද්‍යාත්මකව පහදා දෙයි. මේ ප්‍රබන්ධය තුළින් ඔහු කියා ඇත්තේ අපේ රටේ අනාගතය ගැන සුබ අනාවැකියක් බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න අවධාරණය කර සිටී.

ක්ලාක්ගේ සංකල්පය මේ වන විටත් චීන සහ ජපන් ඉංජිනේරු සමාගම් කිහිපයක් සැබෑවෙන ව්‍යාපෘතියක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටියි. ලංකාව අඩුම ගුරුත්වය ඇති කලාපයක් තුළ පවතින බව සනාථ කළ නාසා ආයතනයේ මේ නව  විද්‍යාත්මක සොයා ගැනීම මෙහිදී අනාගත ලෝකයේ හොඳම අභ්‍යවකාශ තොටුපළ -Space port, හෝ අභ්‍යවකාශ සෝපානයක් - Space elevator, හෝ  තැනීම මගින් ලංකාව ඒ විශ්ව ගම්මානයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් කළ හැකි සමෘද්ධිමත් අදහසකට මඟ පාදා දී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න අවධාරණය කර සිටියි. අප නොපමාව මේ අනාගත සරු ආයෝජන අවස්ථාව අල්ලාගත යුතු බව ඔහු පෙන්වා දෙයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න කියන ආකාරයට ලංකාව අවට ඇති භූ-භෞතික විද්‍යාත්මක අසාමාන්‍යතා ගැන කතාබහ ඇරුඹී තිබුණේ බොහෝ කලකට පෙර සිටය. කැනේඩියානු ආධාර මත 1960 ගණන්වල කෙරුණු විද්‍යාත්මක පර්යේෂණ ආශ්‍රිතව  මන්නාරම මුහුදේ උතුර සහ දකුණ ආශ්‍රිතව ඇති ද්‍රෝණි 2ක් සොයා ගැනීම සහ පෙට්‍රෝලියම් හමුවීම ඒ නිසා ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධියකි. මේ පර්‌යේෂණ දත්ත මගින්ම එකල එළිදරව් වූයේ ලංකාවේ ත්‍රිකුණාමලය සිට දකුණේ උස්සන්ගොඩ දක්වා කලාපයේද භූ තලයේ අසාමාන්‍යතා දක්නට ඇති බවය. එසේම දකුණේ අඩු ගුරුත්ව කලාපය පිළිබඳ දැනුවත් බවද කාලයක් තිස්සේ පැවැති ඇත. නමුත් නාසා ආයතනය සිදු කළ මේ පුළුල් ගෝලීය විමර්ශනය අප දැන් සිටින්නේ නිධානයක් මත බව මනාව තහවුරු කර දී ඇති බව ඔහු පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් ගුරුත්වයේ බරසාර බව වෙනස් වන්නේ ආශ්‍රිතව ඇති භූ පදාර්ථයන්ගේ  ස්කන්ධ ඝනත්වය අනුව බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දෙයි. එනම් පෘථිවි කබොලේ ඝනත්වය සහ ලාවා ඝනත්වය මෙම වෙනසට හේතුවයි‍. ඒ අනුව ගුරුත්වය අවම වීම යනු ස්කන්ධ ඝනත්වයේ සිදුව ඇති වෙනසකි.  

මෙවන් අසාමාන්‍යතා ඇති කලාප ආශ්‍රිතව පෙර ලොව තුළ කළ කැණීම් මගින් තෙල් ගෑස් මෙන්ම වෙනත් භූගත සම්පත් ඒකරාශීව සොයාගැනීමේ වාසනාව පෑදී තිබේ. මේ නිසාම ලංකාව ආශ්‍රිත මේ කලාපය තුළ ද අන්තර්ජාතික ආධාර - උපකාර සහ දැනුම සම්බන්ධීකරණය මගින් ගැඹුරු කැණීමක් සිදුකිරීමට දැන් කාලය උදා වී ඇති බවද  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න වගකිවයුත්තන්ට අවධාරණය කර සිටියි.

අමෙරිකානු ගගන විද්‍යා සහ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හෙවත් නාසා ආයතනය, 1958 වසරේ සිට විවිධ විද්‍යාත්මක ක්ෂේත්‍ර ඔස්සේ පර්යේෂණ සිදු කරන ලොව ප්‍රධානතම ආයතනයයි. ලෝකයේ විවිධ ස්ථානවල පවතින ජල ඝනත්වය පිළිබඳව ජල මුලාශ්‍ර සොයා ගැනීමට සිදු කළ මේ චන්ද්‍රිකා යොදාගත් පර් යේෂණයට අනුව සැකසූ ගුරුත්ව බල සිතියමේ ලංකාව ආශ්‍රිත මේ අඩු ගුරුත්ව කලාපය පැහැදිලිව සටහන්ව තිබේ. මීට පෙර මෙයට සමගාමීව 2009 සිට ඇරඹී යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) ව්‍යාපෘතියක් වන ලොවයුගෝලීය වෙනස්කම්, ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සහ ස්ථාවර සාගර සංසරණ ගවේෂක (GOCE) මෙහෙයුම අරමුණු කළේ ද පෘථිවියේ විවිධ පෘෂ්ඨික ගුරුත්වාකර්ෂණය නිරීක්ෂණය කිරීමෙන් මතුපිටට යටින් පෘථිවිය සෑදී ඇති දේ පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීමය. GOCE හි නවතම සාක්ෂි අපගේ පෘථිවියේ මූලික ආකෘතිය පවා වෙනස් කර ඇත‍. ඒ අනුව විද්‍යාඥයන් විසින් පොළෝ තලයට නව හැඩයක් පවා නිර්මාණය කර දී හමාරය. මේ පර් යේෂණ දත්ත මගින්ද වඩාත් අඩු ගුරුත්ව කලාපය ඇති ස්ථානය ලංකාව බව තහවුරුව තිබේ.

මෙලෙස ලංකාවේ ගුරුත්වාකර්ෂණය අඩුවීමේ වෙනස, අප සිරුරටද වෙනස් ලෙස දැනෙන හැඟෙන බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ. නවතම එළිදරව්වට අනුව නවසීලන්තයේ සිටින පුද්ගලයකුගේ බර කිලෝග්‍රෑම් 68 ක් නම්, ඔහු ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට පැමිණියහොත් ඔහුගේ බර කිලෝග්‍රෑම් 65 ක් වනු ඇත. ඒ අනුව ඔහුගේ බරෙහි අඩුවීම කිලෝග්‍රෑම් 3ක් වනු ඇත. මෙය සිය ශරීර සෞඛ්‍ය ගැන සිතන විෙද්ශිකයන් සුව සේවා සංචරණය සඳහා ආකර්ෂණය කර ගැනීමට යොදාගත හැකි වාසිදායී සොබා තිළිණයකි. 

නාසා ආයතනයට අනුව ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානවලට ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය හැරුණුවිට මාලදිවයිනට නැගෙනහිර දෙසින් පිහිටි ඉන්දියන් සාගරය, හඩ්සන් බොක්ක ආශ්‍රිතව පිහිටි උතුරු කැනඩාව ද අයත් වේ. මේ සොයාගැනීම අනුව ගුරුත්වාකර්ෂණ බලය වැඩිම ස්ථාන අතරට බොලීවියාව, උතුරු ඇන්ඩීස් කඳුකරය අයත් වේ. දැන් අපට ඇත්තේ ස්වභාවික ලෙස ලද මේ සුවිශේෂී තත්ත්වය රටේ සුබදායී  අනාගත ආර්ථික හෙයියම්මාරුවකට ඵලදායී ලෙස යොදා ගැනීමය.

♦ සුගත් පී. කුලතුංග ආරච්චි