2023 මැයි 28 වන ඉරිදා

හොරකම ලොකුයි දඩය පොඩියි මන්ත්‍රීවරයා ගෙදර යයි!

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 156

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ 05/23 දින උදෑසන 09.00 වනවිට කඩි ගුලක් සේ කාර්යබහුල වූයේ එතෙක් එහි සේවය කළ සියලුම කාර්ය මණ්ඩල වෙනුවට, අලුත් කාර්ය මණ්ඩල සේවය සඳහා වාර්තා කිරීම සදහා ගුවන් තොටුපළ වෙත පැමිණීමත් සමඟය.

ඒ සමඟම තවත් සුවිශේෂී නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත සිය රාජකාරි කටයුත්තක් සදහා පැමිණ සිටියහ. ඔවුන් පැමිණ තවත් විනාඩි 30ක් ගත වූ පසුව, එනම් 05/23 දින උදෑසන 09.30 වනවිට, කටුනායක ගුවන් තොටුපළ සිසාරා, එම පර්යන්ත ගොඩනැගිලි තුළ ඉතාමත් මිහිරි හඬින් මෙම නිවේදනය, ගුවන් තොටුපළ ශබ්දවාහිනී පද්ධතිය ඔස්සේ  ප්‍රචාරය වන්නට විය.

“ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.-547 දරන ගුවන් යානය ඩුබායි සිට පැමිණ තිබේ."

ෆ්ලයි ඩුබායි ගුවන් සේවය ඩුබායි සිට ක්‍රියාත්මක වන අඩු වියදම් ගුවන් සේවයකි. නිතර නිතර ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෝ, ඩුබායි වෙත යාමට මෙම ගුවන් සේවය තෝරා ගනිති. 

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ ධාවන පථය වෙත ළඟා වී, තවත් විනාඩි 20ක් පමණ ගත වූ පසු කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත ගමන් මලු කිහිපයක් රැගත්, ගුවන් තොටුපළ සේවකයන් කිහිප දෙනකු සමඟ විශේෂ පුද්ගලයෙක් ඇතුළු විය. ඔහු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාය. ඔහුගේ නිශ්කාශන කටයුතු සිදු කිරීම සදහා ඒ වන විටත් ආගමන විගමන නිලධාරීන් සහ රේගු නිලධාරීහු විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ. ඒ වන විටත්, මෙම මැදිරිය වෙත පැමිණ සිටි විශේෂ නිලධාරීන් පිරිස මේ සියල්ල නිරීක්ෂණය කරමින් සිටියහ.

පළමුවෙන්ම ආගමන විගමන නිලධාරීන් සිය නිශ්කාශන අනුමැතිය ලබා දුන් පසුව, එහි පැමිණ සිටි රේගු නිලධාරීන් ද මෙම මන්ත්‍රීවරයා සතු ගමන් මලු තුළ, ශ්‍රී ලංකා රජයට බදු අය විය යුතු, මෙන්ම ආනයනය තහනම් භාණ්ඩ කිසිවක් නොමැති බවට සහතික කිරීමත් සමඟ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ වන විටත් තමන් රුගෙන යාම සඳහා ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය අසලට පැමිණ සිටි වාහනවල රියැදුරුවරුන්ට, තම ගමන් මලු පටවන ලෙස නියෝග කළේය.

එතෙක් වේලා මෙම කටයුතු සියල්ල නිරීක්ෂණය කරමින් සිටි, එම විශේෂිත නිලධාරීන් පිරිස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රියැදුරුවරුන් සහ ඔවුන්ගේ සහකරුවන්ට එම ගමන් මලු අසලට ළඟා වීමට පෙර, එම නිලධාරීහු එම ගමන් මලු සියල්ල තම ග්‍රහණයට ගත්හ. එම සිදුවීමෙන් කැළඹීමට පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, තමන් හඳුන්වා දෙමින්, තමන්ට විශාල වැඩ කටයුතු සම්භාරයක් ඇති බැවින්, ඉතාමත් ඉක්මනින් ගුවන් තොටුපළෙන් පිටත්ව යා යුතු බව එම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කරන්නට විය. එහිදී මෙම විශේෂිත නිලධාරීන් පිරිස තමන් කොළඹ ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ සිට පැමිණි රේගු ආදායම් සංරක්ෂණ අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් බවත්, මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය යොදා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ  සිදුකෙරෙන සොර බඩු පිට කිරීම පිළිබඳව තමන් වෙත විශාල තොරතුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇති බැවින්, ඒ පිළිබඳව විමර්ශන සඳහා තමන් පැමිණ සිටින බවත් දන්වා සිටියහ. ඒ සමඟම මන්ත්‍රීවරයා සිය අතෙහි රැගෙන ආ අත්බෑගය අත්අඩංගුවට ගෙන විවෘත කරන්නට විය. පුදුමයකි, ඒ තුළ වූයේ මන්ත්‍රීවරයාගේ රාජකාරි ලියකියවිලි නොව රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කිලෝග්‍රෑම් තුනහමාරක් බරුති රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයකි. 

රේගු ආදායම් සංරක්ෂණ අංශය වෙත ලැබී තිබූ තොරතුරු සියල්ල සත්‍ය බව එම නිලධාරීන්ට වහා වැටහී ගියේය. ඒ සමඟම ගුවන් තොටුපළ සේවකයන් විසින් රැගෙන ආ අනෙකුත් ගමන් මලු කිහිපය ද විවෘත කර පරීක්ෂා කර බලන්නට මෙම නිලධාරීහු යුහුසුළු වූහ. ඒවා තුළ ද අති නවීනතම ස්මාර්ට් ජංගම දුරකථන 91 ක් සඟවාගෙන තිබුණි.

ඒ අනුව මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රජයට බදු වංචා කරමින්, කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පහසුකම් අවභාවිත කරමින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ සමස්ත භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් කෝටි 08 ඉක්මවමින් තිබුණි.

ඒ සමඟම මෙම ප්‍රවෘත්තිය විදුලි වේගයෙන් ශ්‍රී ලංකාව පුරා මෙන්ම, රටින් එහා ද ප්‍රචාරය වීමට ගත වූයේ අල්ප කාල පරාසයකි. 

මේ ආකාරයට මෙම මන්ත්‍රීවරයා ඩුබායි සිට රැගෙන එන භාණ්ඩ පුත්තලම වෙත රැගෙන ගොස්, පසුව කල්පිටිය ධීවර වරාය ඔස්සේ, බහුදින ධීවර යාත්‍රා මගින් ඉන්දියාව වෙත අලෙවි කරන බව පුත්තලම ප්‍රදේශයේ ගවේෂණාත්මක මාධ්‍යවේදීහු අනාවරණය කරගත් බවද වාර්තා විය.

මේ අතර මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය ජංගම දුරකථනය රැගෙන ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු රජයේ උසස්ම නිලධාරීන් අමතා මෙම සිදුවීමට මැදිහත් වන ලෙස ඉල්ලමින්  ඉල්ලීම් කරන්නට වූ අතර, ඒවාට ඔවුන්, මන්ත්‍රීවරයා බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිචාර පළ නොවීය. එනිසාම ඔහු 05/24 දින පාර්ලිමේන්තුවේ සිදු කිරීමට නියමිත මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීම සඳහා පවත්වන ඡන්ද විමසීමේදී රජයට එරෙහිව සිය ඡන්දය භාවිත කරන බව පසුව ප්‍රකාශ කර තිබුණි. 

ඒ සමඟම ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු බොහෝ උසස් නිලධාරීන්ගේ මෙන්ම, කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන්ගේ දුරකථන ද ගොළු වන්නට පටන්ගෙන තිබුණි. එහෙත් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙම සිදුවීම අත නොහැර දීර්ඝ සහ පුළුල් වශයෙන් ප්‍රචාරය කරන්නට වීමත් සමඟ 05/23 දින පස්වරු 02.00 ට පමණ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ භාණ්ඩ තොගය, කොළඹ රේගු මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි. ඉන් පසුව පසුදා පහන් වනතුරු, එනම් 05/24 දින අලුයම 04.00 වන තෙක් මේ පිළිබඳ රේගු විමර්ශන සිදු කරන්නට විය. 

මෙම විධිමත් රේගු පරීක්ෂණය ශ්‍රී ලංකා රේගුවේ ආදායම් සංරක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.පී.පී. පෙරේරා මහතා විසින් පවත්වා තිබුණි. එහිදී මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස රුගෙනවිත් තිබූ භාණ්ඩ සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළ අතර, රුපියල් හැත්තෑ පන් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කරනු ලැබීය.

මෙම දඩ මුදල මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ තොගයේ වටිනාකමින් 10% ක තරම් මුදලකි. එහෙත් රේගු නීතිරීතිවලට අනුව මෙම දඩ මුදල ඔහු විසින් රැගෙන ආ සමස්ත භාණ්ඩ තොගයේ වටිනාකම වන රුපියල් කෝටි 08 මෙන් තුන්ගුණයක් වන රුපියල් කෝටි 24 ක දඩ මුදලක් කරා යාමට අවස්ථාව තිබූ බව රේගු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ ආකාරයට කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය භාවිත කරමින් 1978 වසරේ මහනුවර, හාරිස්පත්තුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ඩැනියෙල් මහතා ද රන් පොලු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය. 

එයින් වසර 45 කට පසුව, කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය යොදා ගනිමින් සිදු කළ දෙවැනි රන් සොරකම මෙයයි. එම සොරකම පිළිබඳ විමර්ශන අධිකරණය තෙක් ඇදී ගිය අතර, පසුව අනුර ඩැනියෙල් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වී ගියේය. ඒ ආකාරයට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී පදවිය සම්බන්ධයෙන්ද කිසියම් නීතිමය පියවරක් ගත යුතු බව බහුතර ජනතා මතයයි.

I කටුනායක ටී.කේ.ජී. කපිල