2023 මැයි 28 වන ඉරිදා

මහකැලේ මැද මනාලිය වූ දසාංජලී කියන කතාව

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 39

තම ජීවිතයේ සුන්දර අවස්ථාව මහ කැලෑවක් මැද ගත් මනාල යුවළක් නෑ හිත මිතුරන්ගේ පමණක්නොව සොබාදහමේ ආශීර්වාදයත් ලබාගත් අවස්ථාවක් පසුගියදා වාර්තා වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි. එහි ජීවත්වන දසාංජලීට මෑතක සිට අපූරු සිහිනයක් තිබුණි. ඒ තම ජීවිතයේ ආදරණීය දිනය දා මේ ස්වභාව සෞන්දර්යය පරිසරයේ තම විවාහය සිදු කිරීමටය.

දසාංජලීගේ ආදරණීය සැමියා වූයේ නඳුන් චතුරංගය. දසාංජලීගේ ගම් පළාත වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොලොංගොල්ල නම් ගමය. නඳුන් පදිංචිව සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ශ්‍රීපුර ගම්මානයේය.

''මේ අදහස මුලින්ම ඇතිවුණේ මටයි. බොහෝ කාලයක ඉඳන් මේ වගේ ටිකක් විශේෂ වුණු විවාහ උත්සවයක් ගන්න මගේ ආසාවක් තිබුණා. ඉතින් විවාහ දින ළංවෙද්දී මගේ තාත්තා දැන් වෙඩින් එක ගන්නේ කොහොමද? අපි හොටෙල් එකක් වෙන්කරගන්නේ කොහේද? කියලා නිතරම මගෙන් ඇහුවා. ඉතින් මම තාත්තාට මේ වෙනස් විදිහේ විවාහ උත්සවය ගැනත් පොඩ්ඩක් කිව්වා. අපි නිලාවේලි පැත්තේ ගිහිල්ලත් පොඩ්ඩක් බැලුවා. ඒක දුරයි. අව්වයි නිසා මම ඒකටත් ටිකක් අකමැති වුණා. කොහොමහරි මේ අපි විවාහ උත්සවය ගත්තු තැන අපිට අහම්බෙන් දැකපු තැනක්. ගිහින් බලද්දී එතන හොඳයි කියල හිතපු නිසා අවසානයේදී අපි අපේ වෙඩින් එක එතන ගන්න තීරණය කළා.''

දසාංජලී තම විවාහ උත්සවය සම්බන්ධයෙන් දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව දයාංජලීගේ කොලොංගොල්ල ගම්මානයේ සිට කිලෝමීටර් තුනක් පමණ ඇතුළත වන්නට තිබූ ඌරූව නම් ගම්මානයේ කෙළවරට වන්නට වැවක් අද්දර පිහිටා තිබූ කැලෑබද කොටසේ තම විවාහ උත්සවය ගැනීමට දසාංජලීත්, නඳුනුත් තීරණය කළහ. ඒ අසලට යාමට හැකිවන සේ පාරක්ද තිබුණි. ගමේ පිරිස ඒ කැලෑබද කොටසට ආසන්නයේ තිබූ කුඹුරු අස්වැද්දූහ. ඒ නිසාම ඒ ස්ථානයට යාමට පහසුවන ලෙසින් පාරක් සෑදී තිබුණි. මේ නිසාම තම විවාහ උත්සවය ගැනීමට මෙම කොටසට යාමට පහසුවන ලෙසින් කිසිදු ගහක් කොළක් හෝ කපා දමන්නට මොවුන්ට අවශ්‍ය නොවීය. දසාංජලී මෙන්ම නඳුන්ද ගහකොළට, සතා සිව්පාවුන්ට කිසිදු කරදරයක්, හිංසාවක් කරන්නට මොවුහු අකමැති වූහ. ඒ නිසාම සොබාදහමෙන් පිහිටා ඇති එම කැලෑබද කොටසේ ඒ අයුරින්ම තම උත්සවය ගැනීමට ඔවුහු වගබලා ගත්හ.

''මගේ මේ ආසාවට නඳුනුත් ගොඩාක් කැමැති වුණා. ඉතින් මුලින්ම අපි මේ කොටසේ විවාහ උත්සවය ගන්නට ඒ අදාළ තැන්වලින් අවසරය ලබාගත්තා. පරිසරයට හානියක් නොකොට උත්සවය ගන්න යැයි ඒ ආයතනවලින් අපිට උපදෙස් ලබා දුන්නා. කොහොමටත් මම පුංචි කාලේ ඉඳන්ම පරිසරයට හරි ආදරෙයි. ඒ නිසා පරිසයට, සතා සිව්පාවුන්ට කිසිදු හානියක්නොවෙන්න අපි මේ උත්සවය ගත්තා. එතනට අවශ්‍ය කරන හැමදේම අපි ගෙදරින් අරගෙන ගියා. මල්, කොළ පවා අපි ගෙදරින් ගෙනිච්චා. සුදු නෙළුම් මල්වලින් තමයි අපි වැඩිපුරම සැරසිලි කළේ. එම කොටසේ පැත්තක ටිකක් උස් තැනක් තිබුණා. දිශාවට අනුව චාරිත්‍රානුකූලව අපේ පෝරුව හැදුවෙත් එතනයි. මට අවශ්‍ය, මගේ ආසාව මගේ තාත්තට කිව්වට පස්සේ මගේ තාත්තයි, මල්ලියි, මගේ ගෙදර අයයි, නෑදෑයෝයි හැමෝම එකතුවෙලා ඒ ආස විදිහට හැමදේම සූදානම් කරලා දුන්නා.'' යැයි දසාංජලී වැඩිදුරටත් පැවසුවාය.

ඒ අනුව දසාංජලීගේ කැමැත්ත විදිහටම ඇගේ පියා ඇතුළු පිරිස ඇගේ විවාහ උත්සවය දා සූදානම් කර තිබුණි. ඒ අපූර්වත්වය දසාංජලීට මෙන්ම නඳුන්ටද පුදුමයක් විය. තෝරාගත් කොටස ඇයට අවශ්‍ය අන්දමින් ඇගේ ආසාව ගැන කියද්දී එයටත් වඩා සුන්දරව ඔවුන් ඒ  හැමදේම නිමවා තිබුණි.

ඕනෑම කැලෑබද කොටසක සතා සිව්පාවුන්ට, උරගයන් සිටිය හැකිය. ඒ නිසාම ඔවුන්ගෙන් ආරක්ෂා වීම සදහාත් පිළියමක් යෙදිය යුතුව තිබුණි. විශේෂයෙන් විවාහ උත්සවයට සහභාගි වන කුඩා දරුවන්ව මෙම සතා සිව්පාවුන්ගෙන් ආරක්ෂා කළ යුතුය. ඒ නිසාම මෙම විවාහ උත්සවය සඳහා ඔවුහු එම කොටසේ එක්තරා සීමාවක් පමණක් තෝරාගත්හ. උණබට වලින් එම සීමා කොටස වෙන්කර එයට මල් දමා අලංකාර කර තිබුණි. විශාල ගස් නිසාම ගස්වල අතු කැපීමක් කරන්නට අවශ්‍ය නොවීය. තෝරාගත් සීමා කොටසේ බිම වැටී ඇති කොළ රොඩු සම්පූර්ණයෙන් අතු ගා එම කොළ රොඩු සීමාව වටේට ගොඩගසා තිබුණි.

විවාහ උත්සවය සඳහා අමුත්තන් දෙසීයකට පමණ ආරාධනා කර තිබුණි. නමුත් ආරාධනාවකින් තොරව තවත් සියයක් පමණ මෙම විශේෂ විවාහ උත්සවය නැරඹීමට පැමිණ සිටියහ. විවාහ උත්සවයට පැමිණි අමුත්තන් වෙනුවෙන් අවශ්‍ය පුටු ආදිය කැලෑබද කොටසට ගෙනගොස් තිබුණි. ඊට අමතරව පෝරුව ඉදිරිපිට කොටසේ ලෑලිවලින් බංකු කිහිපයක් ඉදිකර තිබුණි. ඔවුන් එම ලී ගනු ලැබුවේද නිවස අසල පිහිටා තිබූ ලී මඩුවකිනි.

ඕනෑම විවාහ උත්සවයක සංගීතයට මුල්තැනක් හිමිවේ. නමුත් කැලෑබද කොටසේ ගනු ලැබූ තම විවාහ උත්සවයට යොදාගනු ලබන ඝෝෂාකාරී සංගීතයෙන් කැලෑවේ ජීවත්වන සතා සිව්පාවුන්ට කරදරයක් වේවි යැයි සිතූ දසාංජලීත්, නඳුනුත් ඒ සඳහා ඝෝෂාකාරී සංගීතය යොදාගත්තේ නැත. ඒ වෙනුවට සර්පිනාවකින්, ඩොල්කියකින්, බටනලාවකින් ඇසෙන සංගීතයෙන් තම සුන්දර දිනය සංගීතවත් කරන්නට ඔවුහු උත්සාහ දැරූහ. ඒ උත්සවය සාර්ථක විය.

දසාංජලී රූපලාවන්‍ය ශිල්පිනියකි. ඒ නිසාම ඇගේ ඇඳුම් පැළඳුම් පමණක් නොව විවාහ උත්සවය දා තම හැඩගැන්වීමද සිදුවූයේ ඇය අතින්මය. චාම් මනාලියක් ලෙසින් ඇය එදින හැඩවැඩ වී සිටියාය. මේ සියල්ල සූදානම් කරද්දී එළිමහන් විවාහ උත්සවයක් ගැනීමට යාමේදී වර්ෂාව සහ අව්රශ්මිය පිළිබඳ අවධානය යොමුකීරීමද ඉතා වැදගත් වී තිබිණි. කැලෑබද කොටසක විවාහ උත්සවය ගැනීමේදී ඒ ගස්වැල් අතරින් හමනා සුළඟ ගතට සිසිලසකි. ගස්වැල් නිසා අව්වෙන් ගැටලුවක් නැත. නමුත් එක්වරම කඩා හැලෙන වර්ෂාව හේතුවෙන් මෙවැනි අවස්ථාවලදී දැඩි අමාරුකම් සිදුවිය හැක. ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

''තාත්තා වැස්ස ගැන කලින් බලලා තිබුණා. හැබැයි අපේ වෙඩින් එක 21 වැනිදා තිබුණේ. විසිවෙනිදා අපේ ගෙවල් පැත්තට හොඳටෝම වැස්සා. හැබැයි අපි වෙඩින් එක ගත්ත පැත්තට පොඩි පොදයක්වත් ගියේ නැහැ. ඒක හරි පුදුමයි. විසිවෙනිදා අපේ පැත්තට වහිද්දී මම හොඳටෝම බයවුණා. 21 වැනිදා වැස්සොත් චාරිත්‍ර ටික විතරක් ඒ කොටසේ කරල අපේ ගෙදර අනිත් හැමදේම කරන්නත් තාත්තා ලෑස්ති වෙලයි හිටියේ. 21 වැනිදා හවස පොඩි පොදයක් ගියාට අපේ උත්සවයට කිසිම ප්‍රශ්නයක් වැස්සෙන් වුණේ නැහැ. පොඩි පොදය යද්දී අපේ උත්සවය ඉවර වෙලයි තිබුණේ. ඒ නිසා වැස්සෙන්වත් අපේ උත්සවයට බාධාවක් වුණේ නැහැ.'' යැයි දසාංජලී කියන්නීය.

දසාංජලීගේත්, නඳුන්ගේත් විවාහ උත්සවය මැයි මස විසි එක්වැනිදා කැලෑබද කොටසේ කර අවසන් වූවායින් පසුව එම කොටසේ කිසිදු කොළ කැබැල්ලක් පවා නොතියා අස්පස් කර පිරිසිදු කරන්නට දසාංජලීගේ නිවැසියෝ වග බලාගත්හ. කෙසේ වෙතත් නිවසෙන් පොලිතින් කවරයක් හෝ ගෙන ආවේ නැත. ඉතිරි වූ කෑමේ සිට අනෙකුත් සියලු දෑ ඔවුන් සවස නිවසට ගෙනගොස් තිබුණි.

විවාහ උත්සවයට සහභාගි වූ අමුත්තන්ට ''ස්තූති කාඩ්පතක්'' ලබාදීම වෙනුවට ඔවුහු අපූරු සංකල්පයක් ගෙන ආහ. ඒ පැමිණි අමුත්තන්ට රුගෙන යාමට පැලයක් දීම ඔවුන් කර තිබූ තීරණයයි. තමුන් ඇනවුම් කළ පැළ අනුරාධපුරයට ඒ නියමිත දිනයට පැමිණියේ නැත. මේ නිසාම තම ආරාධනාවෙන් උත්සවයට පැමිණි නැදෑ හිතමිතුරන්ට නිවෙස්වලට ගොස් මෙම පැළ ඉදිරියේදී ලබාදීම ඔවුන්ගේ අපේක්ෂාවයි. තම ජීවිතයේ අපූරු දිනය සුන්දර කරන්නට, සුවිශේෂී දිනයක් කරලන්නට උදව් කළ, සියල්ලන්ටම ස්තූති කරන්නටද දසාංජලී අමතක කළේ නැත.

I දිශානි ජයමාලි කරුණාරත්න