2023 මැයි 28 වන ඉරිදා

ඩොලරයයි රුපියලයි මාර සටනක

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 30

පසුගිය දිනවල බොහෝදෙනා කතා කළේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල බාල්දුවීම හෙවත් දුර්වලවීම පිළිබඳවය. එහෙත් මේ දිනවල වැඩි දෙනාගේ අවධානයට ලක්ව ඇත්තේ රුපියල යළි යළිත් ශක්තිමත්වීම සම්බන්ධවයි. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සුබ ලකුණක් වන බව වැඩිදෙනාගේ අපේක්ෂාව වෙයි.

2023 මැයි මස 18 දින වනවිට රුපියලේ විකුණුම් මිල 312.37 දක්වාද ගැනුම් මිල 299.21 දක්වාද පහළ බැස තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියේ මැයි 12දා සිට 18 දක්වා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 15.8කින් ශක්තිමත් වූ බවය. රුපියල ශක්තිමත් වීමේ වේගය කෙසේද කිවහොත් 16 හා 17 දෙදින තුළ විකුණුම් මිල 2.61කින්ද ගැනුම් මිල 3.01කින්ද පහළ ගොස් තිබේ. පසුගිය 16දා රුපියලේ විකුණුම් මිල 318.79ව තිබී 17 වනවිට 316.18 දක්වා පහළ වැටී තිබේ. එසේම 16දා වනවිට 305.43ක්ව තිබූ එහි ගැනුම් මිල 17දා වනවිට 302.42ක් දක්වා පහළ ගොස් තිබුණි. මෙලෙස රුපියල ශක්තිමත් වීම වේගවත් වී ඇති අතර, 2022 අප්‍රේල් 07 දිනෙන් පසු වාර්තා වූ අවම මිල මැයි 18 දින පැවති අගය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම රුපියලේ ගැනුම් මිල 300ට අඩු වූ දිනයද මැයි 18 බවට වාර්තා තබා ඇත. ආර්ථික විශ්ලේෂකයන් විශ්වාසය පළකරනුයේ රුපියල මෙලෙස ශක්තිමත් වුවහොත් මෙම වර්ෂය අවසන් වීමට පෙර රුපියල් 200 සීමාවෙන්ද පහළට ගමන් කරනු ඇති බවය.

රටේ ආර්ථිකයට යහපත් වන මෙම තත්ත්වය දිගටම පවත්වා ගැනීම ඇතැම්විට අභියෝගකාරී විය හැකිය. එයට හේතුව ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය හේතු සාධකද බලපාන බැවිනි. ලෝක ආර්ථික කරුණුද ශ්‍රී ලංකා රුපියලේ ශක්තිය කෙරෙහි ධනාත්මක සහ ඍණාත්මක ලෙස බලපායි.

රුපියල ශක්තිමත් වූවා යැයි පුරසාරම් දෙඩීම වෙනුවට අද දක්වා එම තත්ත්වය රටේ ආර්ථිකයට යහපත් ලෙස බලපා ඇතිද යන්න සාකච්ඡා කරනු වටී. එසේම එහි ධනාත්මක තත්ත්වය උකහා ගැනීමට අප සමත්වී තිබේද යන්න සලකා බැලීම වැදගත්ය. මේ දක්වා සිදුවී ඇති කරුණු අනුව මෙලෙස රුපියල ශක්තිමත් වීමේ වාසිය රටට ලැබී තිබේද යන්න විවාදයට විෂය වන කරුණකි. රුපියල ශක්තිමත්වීම නිසා රටේ භාණ්ඩ හා සේවා මිල පහළ ගොස් ජනතාවට යහපත් වාතාවරණයක් සකස් විය යුතු නමුදු මෙතෙක් කරුණු කාරණා සිද්ධ වී ගෙන එන අන්දමට එතරම් යහපත් ප්‍රතිඵලයක් උරුම කර ගැනීමට වාසනාව ලැබී නොමැති බව පෙනී යයි.

ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩුවීම නිසා ආනයන භාණ්ඩවල මිල පහළ යා යුතු නමුත් එසේ සිදුවී නොමැති බවක් පෙනෙන්නට තිබේ. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසන්නේ රුපියල ශක්තිමත් වුවද විවිධ හේතු නිසා ආනයනවලට වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති බවය. භාණ්ඩ ආනයනය කරන රටවල මිල ඉහළ යාම, ප්‍රවාහන වැය වැඩිවීම සහ එම රටවල මෙන්ම දේශීය වශයෙන්ද පනවන ආනයන බදු හා විවිධ ගාස්තු ඉහළ යාම නිසා ආනයන භාණ්ඩවල මිල බලාපොරොත්තු වූ තරමට පහළ දැමීම දුෂ්කර බව ඔහු කියයි. එසේම ඇතැම් ද්‍රව්‍යවල බදු පහළ ගියද තමන් භාණ්ඩ ගෙනැවිත් ගබඩා කර ඇත්තේ බදු අඩුවීමට පෙර නිසා අඩු මිලට දීමට නොහැකි බවට හෙතෙම තර්ක කළේය. මෙම තත්ත්වය හමුවේ පසුගිය දිනවල ආනයනික භාණ්ඩවල මිල හිතූ තරම් පහළ ගියේ නැත.

එසේම රජය පහළ හෙලන බවට නිවේදනය කළ බොහෝ ආහාර ද්‍රව්‍යවල මිල කඩිමුඩියේ වෙනස් වූයේ නැත. උදාහරණයක් ලෙස පැවසුවහොත් ආනයනික කිරිපිටි මිල සෑහෙන ප්‍රමාණයකින් අඩුකරන බව නිවේදනය කළද දැන් මසක් ඉක්ම ගොස් තිබියදී තවමත් මිල අඩුවී නැත. සමාගම් පවසන්නේ මුලින්ම බස්නාහිර පළාතේ කිරිපිටි මිල අඩුකර පසුව වෙනත් පළාත්වල අඩුකරන බවය. මුළු දිවයිනේම මිල අඩු නොකර පළාත් අනුව මිල අඩු කිරීමට තීරණය කළේ කාගේ වුවමනාවටද යන්න ප්‍රශානාර්ථයකි. මිල වැඩිකළ විට ක්ෂණයකින් මිල වැඩිවුවද අඩුකළ විට තත්ත්වය වෙනස් වෙයි.

රජය බදු ප්‍රතිශත කෙටි කාලවලින් වෙනස් කිරීමද රුපියල ශක්තිමත් වුවද මිල අඩු නොවීමට හේතු වී තිබේ. ගොවියා ශක්තිමත් කිරීමට යැයි අර්තාපල්වලට ආනයන බද්දක් පැනවුවද, ආනයන අර්තාපල්වල මිල වැඩිවීම හැර දේශීය ගොවියාට යහපතක් සිදුවූවාදැයි කිව නොහැකිය. එසේම ආනයනික තිරිඟු මිල අඩු නොවීම නිසා සත්ව ආහාර මිල වෙනස් නොවීමෙන් මස් හා බිත්තර මිල අඩුකළ නොහැකිව තිබේ. එසේම ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල තවමත් අසාධාරණ ලෙස ඉහළ ගොස් තිබීම නිසා තමන් අමාරුවේ වැටී ඇති බවට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වූවෝ චෝදනා කරති. සිමෙන්ති මිල අඩුව ඇත්තේ ඉතාම සුළු වශයෙනි. කෙසේ වුවත් රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිඵල තවමත් පොදු මහජනතාවට ගලාගොස් නැති බවට තර්කයක් නොමැත.
ආණ්ඩුව උත්සාහ ගත යුත්තේ රුපියල ශක්තිමත් වීම ජනතාවට යහපත් අයුරු පාවිච්චි කිරීමටය. එහෙත් ඒ පිළිබඳ දක්වන උනන්දුව මඳ වේ. රටේ දේශීය නිෂ්පාදකයා දිරිමත් කිරීම සඳහා ආනයනය කරන අතුරු ද්‍රව්‍යවල මිල අඩුකර දිය යුතුය. එවිට දේශීය නිෂ්පාදනවල මිල අඩුවනු ඇත. කෙසේ වුවද රුපියල ශක්තිමත් වීම දේශීය නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට හේතුවී නොමැති බව පෙනී යයි. අනාගතයේදී වුවද රුපියල තවදුරටත් ශක්තිමත් වුවත් එහි ප්‍රතිලාභ රටට සහ ජනතාවට නොලැබෙන්නේ නම් එය විශාල අවාසනාවක් වෙයි.

මේ පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වීම දිගටම පවත්වාගෙන යාමට ආණ්ඩුව අපොහොසත් වන බව කියයි. ඉදිරියේදී විදේශ ණය ගෙවීම ආරම්භ වූ පසු මුලින් තිබූ තත්ත්වයටත් වඩා රුපියල දුර්වල වනු ඇති බවට හෙතෙම අනාවැකියක් පළ කළේය. ඔහු අවධාරණය කළේ රුපියල ශක්තිමත් වූවා යැයි අද පවසන්නේ දැඩි ආනයන තහනමක් මත සිටගෙන බවද විදේශ ණය ගෙවීම නවතා ඇති පසුබිමක් මත බවද අමතක නොකළ යුතු යැයි හෙතෙම අවධාරණය කරයි. මෙම වසන්තය දිගටම උදාවී නොසිටිනු ඇතැයි යන්න ඔහුගේ විශ්වාසය වේ.

''අද රුපියල ශක්තිමත් වෙන්නේ ඇයිද? මෙම තත්ත්වය දිගින් දිගටම තියාගෙන ඉන්න පුළුවන්ද? මෙම තත්ත්වයෙන් දැනට ඇති වාසි මොනවාද? යම් විදියකින් වෙනස් වුවහොත් එයින් සිදුවන අවාසි මොනවාද? අයහපත් තත්ත්වයට මුහුණ දෙන්නට අපට හැකියාව ලැබේද යන කරුණු පිළිබඳ සාකච්ඡා කළ යුතු වෙනවා.

පසුගිය මාර්තු මාසය දක්වා රුපියල අවප්‍රමාණ වුණා. එසේ අවප්‍රමාණ වීමට ඉඩ ඇරලා තිබ්බා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටට එන විදේශ විනිමය ප්‍රමාණය අඩුවුණා. මෙහිදී උද්ධමනය විශාල ලෙස ඉහළ ගියා. ආනයන භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිය අතර එයට අනුරෑපීව දේශීය භාණ්ඩ හා සේවාවලද මිල වැඩිවුණා. ඉන්ධන මිල ලෝක වෙළෙඳපොළේ ඉහළ ගියා. අපේ මිලද වැඩිකරන්නට සිදුවීමෙන් සෑම දෙයකම මිල ඉහළ ගොස් ජීවත්වීමේ ගැටලු මතුවුණා.

රුපියලේ අගය දුර්වල වූ කාලයේ අපේ අපනයනවලට වාසි ලැබුණා. ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩිවෙනවා. අපනයනකරුවන් මේ කාලයේ ධෛර්යමත් වුණා. අපනයනයෙන් හොඳ ආදායමක් ලැබීම නිසා බොහෝදෙනා එයට නැඹුරු වුණා. 2023 මාර්තු වනවිට අපේ විදේශ ප්‍රේෂණ ඉහළ ගියා. පිටරටවල බැංකුවල දමා තිබූ ශ්‍රමිකයාගේ මුදල් ආපසු මෙරටට ආවා. සංචාරකයන් වැඩිවීමෙන් විදේශ විනිමය වැඩියෙන් ලැබුණා. මහ බැංකුව මේ කාලයේදී විදේශ විනිමය පාලනයට මැදිහත් වූයේ නැහැ. කලින් තිබූ නීතිද ලිහිල් කළා. රටට ලැබෙන විනිමයෙන් එක්තරා ප්‍රතිශතයක් මහ බැංකුවට දිය යුතු යැයි තිබූ නීතිය නැති කළා. අන්තර් බැංකු විනිමය වෙළෙඳපොළ තුළ විනිමය ඉල්ලුම් කරන අය, වැඩිවූ අතර, ගැනුම් මිල හා විකුණුම් මිල අතර පරතරය වැඩිවුණා. මුලින් තිබුණු රුපියල් 4-5 වෙනස රුපියල් 15-20 දක්වා ඉහළ ගියා. එදා මධ්‍යම බැංකුව කළේ අන්තර් බැංකු විනිමය හුවමාරු අනුපාතය පදනම් කරගෙන, අද ගැනුම් සහ විකුණුම් මිල අනුව හෙට ගැනුම් සහ විකුණුම් මිල තීරණය කිරීමක්. එහෙත් ඒ මැදිහත්වීම නැතිවූ විට රටට එන විනිමය වැඩිවූ නිසා රුපියල ස්වයංක්‍රියව ශක්තිමත් වුණා.

දැන් පවතින්නේ අපේ ආනයන පාලනය කළ වාතාවරණයක්. අද විදේශ විනිමය යොදා අපට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. විනිමය පිටතට ගලාගෙන යාම අඩුවෙලයි තියෙන්නේ. එහෙත් මේ තත්ත්වය තව කොපමණ කාලයක් තබාගත හැකිද යන්න ගැටලුවක්. ස්වභාවික ලෙස සිදුවෙනවා නම් රට තුළට එන විදේශ විනිමය වැඩිවිය යුතුයි. රටින් පිටතට යන ප්‍රමාණය අවම විය යුතු වෙනවා. එහෙත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැහැ. එනිසා අද පවතින තත්ත්වය දිගු කාලයක් තිබුණහොත් අපේ අපනයන ක්ෂේත්‍රය දුර්වල වෙලා ආනයන අංශය දිරිමත් වෙනවා ඇති. එය රටේ ආර්ථිකයට අහිතකරයි.

මෙම තත්ත්වය සංචාරක ක්ෂේත්‍රයටද ගැටලුකාරී බව පෙනෙනවා. කලින් අමෙරිකානු ඩොලරයට රුපියල් 360ක් ලැබුණත් දැන් ලැබෙන්නේ රුපියල් 305 වැනි මුදලක්. මේ නිසා සංචාරකයන්ට අවශ්‍ය රුපියල් ලබා ගැනීමට රට තුළදී විශාල ඩොලර් ප්‍රමාණයක් කැපකළ යුතු වෙනවා. මෙම තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට නම් රට තුළට එන සංචාරක පිරිස වැඩිවිය යුතු අතර එමගින් ලැබෙන විදේශ විනිමය වැඩිවිය යුතුයි. අද පවතින සංචාරකයන් අද්දා ගැනීමේ උත්සාහය අනාගතයේදී තවදුරටත් වැඩිකළ යුතු වෙනවා.

මේ වනවිට අප විදේශ ණය සේවාකරණය හෙවත් ණය සහ පොලිය ගෙවීම නැවැත්වීම නිසා රටෙන් යන විනිමය ප්‍රමාණය අඩුවෙලා ඇති බව කිව යුතුයි. එහෙත් හැමදාම මෙලෙස ණය නොගෙවා සිටිය නොහැකියි. කවදා හරි පොලිය සමග ගෙවන්න වෙනවා. එවිට වක්කඩ කැඩුවා වගේ රඳවාගෙන ඇති විදේශ මුදල් වෙන රටවලට ගලා යනවා. අපි කවදා හෝ වැඩි කල්යන්නට පෙර ඒ කටුක යථාර්ථයට මුහුණ දිය යුතුය. අද පවතින්නේ විනිමය ඉවත්වීම විවිධ ක්‍රමවලින් නවත්වලා තිබෙන තත්ත්වයක්. දැන් රටට අවශ්‍ය වන්නේ අපේ විදේශ විනිමය අනුපාතිකය ස්ථාවර කරලා විදේශ සංචිත ප්‍රමාණය ඉහළ නංවාලීමටයි.

මුලින් තිබූ බිලියන 3-4 වූ විදේශ සංචිත ප්‍රමාණය අද බිලියන 2.7 දක්වා පහළ බැසලා තියෙනවා. මෙයින් බිලියන 1.5 පමණ මෙරට තුළ පාවිච්චි කළ නොහැකි මුදල්. 1.2ක් පමණයි අපට පාවිච්චි කරන්න පුළුවන්. මෙය අපේ මාසයක ආනයනවලටද ප්‍රමාණවත් වන්නේ නැහැ. මාසයක ආනයනවලට බිලියන 1.4 පමණ වැයවෙනවා. 2021 අප්‍රේල්වල විදේශ විනිමය බිලියන 4.5ක් පමණ තිබුණා. පසුව එය අඩුවෙලා මිලියන ගාණට බැහැලා මේ වනවිට තරමක් වැඩිවෙලා තියෙනවා. මෙම තත්ත්වය මා දකින්නේ තාවකාලික ශක්තිමත් වීමක් ලෙසටයි. මධ්‍යම බැංකුවට මෙම තත්ත්වය දිගටම තබාගන්න බැරිවෙයි. එවිට සිදුවන්නේ කුමක්ද?

රජයට මේ පිළිබඳව දිගුකාලීන වැඩපිළිවෙළක් නැහැ. විනිමය පරතරය වැඩිකර ගැනීමට සැලසුම් කරලා නැහැ. තව තවත් ණය ගන්නවා. මේවා ගෙවන්නේ කොහොමද? අද රුපියල යම් පමණකට ශක්තිමත් වෙලා. රටේ උද්ධමනය පහළ යමින් තියෙනවා. ජනතාවට මුලින් තිබූ ජීවන බර යම් පමණකට සැහැල්ලු වෙලා තියෙනවා. ඒත් මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ තාවකාලික කෘත්‍රිම උපක්‍රම මත බව අමතක නොකළ යුතුයි. ඉදිරියේ නියම පොළොවට පය ගැසූවිට සියල්ල උඩු යටිකුරු වන බවට සැකයක් නැහැ.

I යසවර්ධන රුද්රිගු