2023 මැයි 28 වන ඉරිදා

මෙඩිකල් ටුවරිසම් ලංකාවටත්

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 98

සුන්දර දූපත් රාජ්‍යයක පුරවැසියන් වන අපට සංචාරක කර්මාන්තය අරුමක් නොවේ. දුරාතීතයේ පටන් සංචාරක කර්මාන්තය විෂයේ අපට අත්දැකීම් තිබේ. එහෙත් වේගයෙන් දියුණු වෙමින් පවතින ලෝකය තුළ සංචාරක කර්මාන්තය විෂයෙහි අප රටක් ලෙස තරමක් පසුගාමීය. කර්මාන්තයේ නව ප්‍රවණතා හඳුනාගෙන ඉදිරියට නොයෑම සහ රාජ්‍ය සහයෝගය ප්‍රමාණවත් පරිදි නොලැබීම ඊට හේතු වී තිබේ. මෙවන් වටපිටාවක් තුළ මෙඩිකල් ටුවරිසම් මේ දිනවල නැගී එන මාතෘකාවක් වී ඇති බව අපි දුටුවෙමු. සැබැවින්ම එය සංවාදයට සුදුසු කාලීන වටිනාකමක් සහිත මාතෘකාවකි.

මෙඩිකල් ටුවරිසම් යනු නූතන ලෝකය හඳුනාගන්නා නව සංචාරක ප්‍රවණතාවක් බව සැබෑය. එහෙත් මෙම සංකල්පය ඉතා පැරණි බව ආරම්භයේම සිහිපත් කළ යුතුය. ඉතිහාස වාර්තා අනුව ලොව ප්‍රථම වරට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගමන් කරන පුද්ගලයන් වාර්තා වන්නේ මීට  වසර දහස් ගණනකට පෙර ග්‍රීසියෙනි. එම වාර්තාවලට අනුව ග්‍රීක වන්දනාකරුවන් නැගෙනහිර මධ්‍යධරණී මුහුද ඔස්සේ සරොනික් ගල්ෆ් කලාපයේ එපිඩෝරියා නම් කුඩා ප්‍රදේශයට ගමන් කර ඇත්තේ සෞඛ්‍ය අවශ්‍යතාවන් වෙනුවෙනි.

නූතන මෙඩිකල් ටුවරිසම් පිළිබඳ කතාබහ කරන විට 18 වැනි සියවසේ ජනප්‍රිය වූ ස්පා නගර සංකල්පය අමතක කළ නොහැක. 1676 දී ඉංග්‍රීසි නගරයක් වන බාත්හි වූ උණු ඛණිජ පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක හෙළිදරව්වක් සිදුවිය. තෝමස් ගයිඩොට්ටි නම් ප්‍රකට හෞතික විද්‍යාඥයා මෙම හෙළිදරව්ව සිදුකිරීමත් සමඟ ප්‍රභූ පන්තිය ඊට විශේෂ අවධානයක් යොමු කළහ. ඒ අනුව 18 වැනි සියවසේ යුරෝපයේ උණු ඛණිජ ජලය සහ භූගත තාපයෙන් රෝග සුවපත් කර ගැනීමට මිනිසා උනන්දු වූහ. මේ සමඟම ක්‍රමයෙන් ලොව ස්පා නගර කේන්ද්‍ර කරගෙන වෛද්‍ය සංචාරක ව්‍යාපාරය ද ආරම්භ විය.  

මේ මොහොතේ ලෝකය තුළ වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical tourism) අතිශය පුළුල් සංකීර්ණ විෂය පථයකි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මිනිසුන් විදෙස් ගතවීම ලොව පුරා මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. මීට දශක කිහිපයක පෙර මෙඩිකල් ටුවරිසම් පදනම් වී තිබුණේ අඩු සංවර්ධිත රටවල සිට ඉහළ සංවර්ධිත රටවල ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ගමන් කරන සංචාරකයන්ගෙනි. එහෙත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වී තිබේ. මෑත කාලීනව අඩු මිලට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට යන, සංවර්ධිත රටවල පුරවැසියෝ මෙඩිකල් ටුවරිසම් හි ප්‍රධාන පංගුකාරයෝ වී සිටිති.

මව් රටෙහි නොමැති හෝ බලපත්‍ර නොමැති වෛද්‍ය සේවා ලබාගැනීම සඳහා බොහෝ යුරෝපියෝ ආසියාතික රටවලට මේ වන විටත් ආකර්ෂණය වෙමින් සිටිති. පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සංවර්ධනය වූ ආයුර්වේද හෝටල් ඒ සඳහා කදිම උදාහරණයකි. බටහිර වෛද්‍ය විද්‍යාවට එපිටින් ඇති ආසියාතික රටවල දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බොහෝ බටහිර ජාතිකයෝ නූතනයේ උනන්දු වෙමින් සිටිති. මෙය මෙඩිකල් ටුවරිසම් හි නවතම ප්‍රවණතාවක් වන අතර, රටක් ලෙස ඒ සඳහා ඉලක්කගත වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනීමට අප ද කඩිනමින් සූදානම් විය යුතුය.

තවත් පසෙකින් බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ අනුමැතින් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන්ද මෙඩිකල් ටුවරිසම් ප්‍රවර්ධනය වීමට හේතුවකි. යම් ඖෂධයක් තම රට තුළ අනුමත කරන්නේද නැද්ද යන්න තීරණය කරන ලොව පුරා ඇති රාජ්‍ය වෛද්‍ය ආයතන අතර පරස්පරතා රැසකි. මෙම තත්ත්වය තුළ සිය රෝගී තත්ත්වයන්ට ඖෂධ සොයා ඇතැම් රටවල පිරිස් විදෙස් ගතවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ. යුරෝපය තුළ, යුරෝපීය ඖෂධ ඒජන්සියේ (EMA)  චිකිත්සක ප්‍රොටෝකෝල අනුමත කරන ඖෂධ අනුමත කිරීමේ ක්‍රියාවලිය මීට නිදසුනක් ලෙස වෙබ් අඩවි කිහිපයක් වාර්තා කරයි.

වෛද්‍ය සංචාරක ව්‍යාපාරය තුළ ශල්‍යකර්ම සඳහා ද විශේෂ ස්ථානයක් ලැබී තිබේ. ලොව පුරා විවිධ රටවල රෝහල් පහසුකම්, විශේෂඥ සේවා අතර වෙනස්කම් තිබේ. ඒ අනුව ඒ ශල්‍යකර්ම සඳහා විශේෂිත රටවල් සහ රෝහල් මේ වන විටත් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී හමාරය. මේ වනවිට රූපලාවණ්‍ය ඉලක්ක සහිත ප්ලාස්ටික් සැත්කම් සඳහා දකුණු කොරියාව ලබා ඇති ජනප්‍රියත්වය ඊට කදිම නිදසුනකි. ඊට අමතරව මෙරට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් නිතර යන එන සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල ද මීට උදාරණයකි.

තවත් පසෙකින් ශල්‍යකර්ම වියදම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට හේතු වී තිබේ. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ ඇමෙරිකානු ඩොලර් 300,000 ක් වැය විය හැකි අක්මා බද්ධ කිරීමක් සඳහා තායිවානයේදී වැය වන්නේ ඇමෙරිකානු ඩොලර් 91,000 ක් පමණි. ඒ අනුව බොහෝ ඇමෙරිකානුවෝ අඩු සෞඛ්‍ය වියදම් සඳහා දියුණු වෙමින් පවතින ආසියාතික රටවල් තෝරාගැනීමට පෙළඹී සිටිති. අනෙක් අතට බ්‍රිතාන්‍ය, කැනඩාව වැනි රටවල ශල්‍යකර්ම සඳහා දිගු පොරොත්තු ලේඛනවල රුඳී සිටීමට සිදුවීම ද ගැටලුකාරී තත්ත්වයක් වී ඇත. කැනඩාව වැනි දියුණු රටක පවා ඇසේ සුද ඉවත් කර ගැනීමේ සැත්කමක් වෙනුවෙන් සති තුනක පමණ කාලයක් බලා සිටීමට සිදුවන බව වාර්තා වේ. ඒ අනුව අඩු වියදම් සහ වේගවත් ප්‍රතිකාර අවස්ථා මෙඩිකල් ටුවරිසම් ප්‍රවර්ධනය විෂයෙහි ප්‍රධානතම හේතුව වී ඇති බව පැහැදිලිය.

ශ්‍රී ලංකාව තුළ පවතින රාජ්‍ය සෞඛ්‍ය සේවාව හේතුවෙන්, පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි වී ඇති බව මෙහිදී අප තේරුම් ගත යුතුය. මෙරට බොහෝ සැත්කම් අතේ මුදල් ඇතිනම් ඉතා කෙටි කාලයක් තුළ සිදුකර ගැනීමට හැකියාව පවතී. එසේම වියදම් ද බොහෝ රටවලට සාපේක්ෂව අවම මට්ටමක පවතියි. මේ හේතුවෙන් යුරෝපය සහ ඔස්ට්‍රේලියානු මහද්වීපවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මේ වනවිට ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාව තෝරාගන්නා පසුබිමක් නිර්මාණය වී ඇති බවට තොරතුරු තිබේ.

සැබැවින්ම ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය විෂයෙහි මෙඩිකල් ටුවරිසම් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන්නේ නම්, විශාල විදේශ විනිමයක් රට තුළට රුගෙන ඒමේ හැකියාව අප සතු බව පැහැදිලිය. තාක්ෂණය සහ පහසුකම් සහිතව මේ වෙනුවෙන් ආයෝජන සිදු කිරීමට ව්‍යාපාරිකයන් පොළඹවා ගැනීම බලධාරීන්ගේ වගකීමකි. කෙසේ වෙතත් රාජ්‍ය ඒ  සඳහා නිසි වටපිටාවක් නිර්මාණය කිරීමට පළමුව වගබලා ගත යුතුය. මෙඩිකල් ටුවරිසම් සඳහා පැහැදිලි ශක්‍යතාවක් අප සතුය.

කෙසේ වෙතත් මෙම සියලු කටයුතු යම් නියාමනයක් සහිතව සිදුවීම අත්‍යවශ්‍ය බවට අවසානයේ සිහිපත් කරමු. වෛද්‍ය සංචාරක ව්‍යාපාරය, අවයව ජාවාරම ඇතුළු බරපතළ මාෆියා ගොදුරක් බවට පත්වීමට හැකියාවක් පැවතීම ඊට හේතුවයි. කෙසේ වෙතත් එම තත්ත්වයන් වළක්වා ගැනීමට රටක් ලෙස අපට හැකියාවක් පවතින බව අපගේ විශ්වාසයයි. සිදුවිය යුත්තේ නිද්‍රාවෙන් අවදි වී මෙම විෂය පරාසය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කිරීම පමණි.

හෙල්ත් ටුවරිසම් විශේෂ ආදායම් මාර්ගයක්
- ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

රටක් ලෙස අපි නිර්මාණශීලීව කටයුතු කරමු. අපි වැනි ලස්සන පරිසරයක් තිබෙන රටක හෙල්ත් ටුවරිසම් දියුණු කරන්න පුළුවන්. එමගින් විශේෂ ආදායම් මාර්ග ලැබෙනවා. දැනටමත් එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙරටට එනවා වෛද්‍යවරු හමුවෙන්න. අපි ඒක නරක දෙයක් විදිහට දකින්න අවශ්‍ය නැහැ. මෙය අපට ව්‍යාපාරයක් කර ගන්න පුළුවන්. වර්ධනය කරන්න පුළුවන් දේවල් වර්ධනය කරගෙන ඉදිරියට යා යුතුයි.
(ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් මැයි 12දා කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ උත්සවයකදී)

I චමිඳු නිසල් ද සිල්වා 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00