2023 මැයි 28 වන ඉරිදා

ලාලිත ඇත්දළ දෙක නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ මින්නේරියේ කෝලිත

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 138

අලි මිනිස් ගැටුම ගැන නිතර ලියන අපිට දැන් අලින්ට බියෙන් නොව අලින්ගේ ඇත්දළ කපා ගැනීමට ඝාතනය කිරීම ගැනත් ලියන්නට සිදුව තිබේ. දෑස් අඳ ගල්ගමුවේ දළ පූට්ටුවා මරාදමා දළ දෙක කපාගෙන තිබුණේ 2017 දීය. එය අප රටේ විශාල ආන්දෝලනයක් ඇතිකළ සිදුවීමක් වූ අතර එහි සැකකරුවන් හඳුනාගැනීමට පොලිසිය සමත් විය. කලා වැව අවට සැරිසැරූ ‘රේවත’ ඇතා කැකිරාවේදී විදුලි සැර වැදීමෙන් මියගොස් සිටියේ 2021 මාර්තු 09 වැනිදාය. අලි ඇත් පොරයක් නිසා අඩපණව සිටි කලාවැවේ මහේශාඛ්‍ය නම් දළ ඇතාගේ එක් දළයක් කපාගෙන ගොස් තිබුණේ ඌට වනජීවී ප්‍රතිකාර කර තිබෙන අවස්ථාවකය. වසර කිහිපයකට පෙර පරිසරවේදීන් පවසා සිටියේ වළගම්බා, මහසෙන්, අනුරාධා, වලව රාජා, කල්තොට රාජා සහ තලාකොල වැව පූට්ටුවා වැනි සුවිශේෂී දළ ඇතුන් අතුරුදහන්ව සිටින බවයි.

පසුගිය සතියේ වාර්තා වුණේ නාඹර අලි ගැටයෙක් ඝාතනය කර උගේ දළ දෙක කපාගෙන යාමේ ම්ලේච්ඡ ක්‍රියාවක් ගැනයි. 

මින්නේරිය හා කවුඩුල්ල ජාතික උද්‍යාන සහ රිටිගල ආශ්‍රිතව සැරිසැරූ මේ ඇත් පැටවාට ලබාදී තිබූණේ කෝලිත යන නමයි. අලංකාර පෙනුමකින් යුත් මේ හස්තියා දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් දිනාගෙන සිටියේය. ප්‍රදේශවාසීන් විසින් අලි පැටවාගේ මළසිරුර දැකීමෙන් පසුව රිටිගල වනජීවී කාර්යාලයට කරන ලද දැනුම්දීමකට අනුව හුරුළු වන රක්‍ෂිතයේ කොකටියගොල්ල අඹගස්වැව ප්‍රදේශයේදී ඝාතනය කරන ලද කෝලිතගේ සිරුර නිලධාරීන් විසින් 19 වැනිදා රාත්‍රියේ සොයාගෙන තිබේ. පසුව එම නිලධාරීන් මේ සම්බන්ධයෙන් හබරණ පොලිසියට පැමිණිලි කළ අතර හබරණ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීය. තවමත් මෙහි සැකකරුවන් අත්අඩංගුවට ගත් බවක් නම් වාර්තා වී නැත.

කෝලිතගේ වයස අවුරුදු 15ක් පමණ විය. ඌ නිතර කෙළිදෙලෙන් ගතකළ ඇත්පැටියෙකි. උගේ දළ අඩි දෙකක් පමණ දිගට හොඳින් වැඩෙමින් තිබු දළ යුවළකි. දළ ඇතාට වෙඩි තබා මරා දළ යුගලය කපාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිටිගල වනජීවී අඩවි කාර්යාලය සහ හබරණ පොලිසිය ඒකාබද්ධව පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

මියගිය ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පන්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරිනී උදේශිකා මධුවන්ති මෙනවිය විසින් සිදුකර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ ඇතා දින කිහිපයකට පෙර තබන ලද වෙඩි ප්‍රහාරයක් නිසා මරණයට පත්වී ඇති බවයි. ආමාශයට එල්ල වූ එම වෙඩි උණ්ඩය නිසා පසුව විෂබීජයක් ශරීරගතව තිබූ බවද මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. විෂබීජ ආසාදනයෙන් වේදනාවෙන් සිටි  දළ ඇතාට කිසියම් පිරිසක් යළිත් වෙඩි තබා මරා දළ දෙක කපාගෙන යන්නට ඇතැයි සැක කරන බව පොලිසිය පවසයි.

මේ පිළිබඳ හබරණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පාලිත ඉලංගසේකරගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හේරත්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ. ඇතාට වෙඩි තබා ඇත්තේ කැලෑබද පෙදෙසක් වුවත් පහසුවෙන් හඳුනාගත හැකි තැනකදීය. ඇත් පැටවා වෙඩි තබා ඝාතනය කොට ඇත් දළයක්ද කපාගෙන ගෙන ගොස් සතියක් පමණ වන තුරුත් ඒ පිළිබඳව වනජීවීය නොදැන සිටීම කනගාටුවට කරුණක් යැයි උඩවලව අලි පර්යේෂණ ව්‍යාපෘතියේ පර්යේෂණ කළමනාකාර සමීර වීරතුංග පවසා සිටී.  

පරිසරවේදී සජීව චාමිකර අප සමඟ පැවසුවේ වන ඇතුන්ගේ ඇත්දළ කපාගැනීම සැලසුම්සහගත ක්‍රියාවක් වන අතර අලින්ගේ ජීවිත අවදානමට පත්කරන හේතු ගණනාවක් තිබෙන බවයි. 

''ලංකාවේ ඇත්දළ ජාවාරම අඛණ්ඩව සිදුවෙනවා. වනජීවී ජාවාරම් අතර එය මුල්තැනක් ගන්නවා. මේ සිද්ධියත් අහඹු ලෙස මරණයට පත්වූ පසුව ඇත්දළ ගලවා ගැනීමක් වෙන්න බැහැ. මේවා සම්පූර්ණයෙන් සැලසුම් සහගතව කරන අපරාධයි. ගම්මාන ආශ්‍රිතව ඉන්න දඩයක්කරුවන් ව්‍යාපාරිකයන් හා සම්බන්ධ වී මේ ඝාතන සැලසුම් කරනවා. අනුරාධපුර, පොළොන්නරුව, වයඹ, දකුණු පළාතේ හම්බන්තොට ලුණුගම්වෙහෙර අවට, අම්පාර ආදී පළාත්වල අලි ඇතුන් ඝාතනය සිදුවෙනවා. 

අලි බහුලව ජීවත්වන වියළි කලාපය පුරා පිහිටලා තිබෙන වන රක්ෂිත, වනජීවී රක්ෂිත එකිනෙකට බෙදා වෙන්කරමින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. මහා පරිමාණයෙන්ම වනාන්තර එළිපෙහෙලි කරමින් පවතිනවා. ඒ විතරක් නෙමේ වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා මහා පරිමාණයෙන්ම වනාන්තර එළි පෙහෙළි කරමින් පවතිනවා. මේ නිසා අලිඇතුන් සැරිසැරූ ප්‍රදේශ සීමාවෙලා. උන් පහසුවෙන් අවදානමට පත් වෙනවා."  

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව පසුගිය කාලයේ නිකුත් කළ වාර්තාවකට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව අවසන්ය. වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85 කි. පසුගිය කාලය තුළ වන අලි මරණයට පත්වීම බහුලව අපට අසන්නට ලැබුණි. 2019 වසර තුළදී ශ්‍රී ලංකාවේ වාර්තාගත ලෙස අලි ඇතුන් 361 ක් මියගොස් තිබේ. ඒ අතරින් මරණ වැඩි ප්‍රමාණයකට වගකිය යුත්තේ මිනිසාය. 1948 නිදහස ලැබීමෙන් පසු වසරකදී වැඩිම අලි ඇතුන් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ 2019 දීය. 

2021 හා 2022 වසර තුළ වන අලි මරණ 511ක් හා අලි - මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ 181ක් වාර්තා විය. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 19 ක් තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 133ක දැනට අලි මිනිස් ගැටුම් වාර්තා වේ.

අවසාන වරට ශ්‍රී ලංකාවේ අලි සංගණනයක් සිදු වූයේ 2011 වසරේදීය. එහි දත්තවලට අනුව ලංකාවේ අලි ගහනය 5879කි. ඒ අතර දළ ඇතුන් 70 - 100 අතර සංඛ්‍යාවක් සිටින බව විශ්වාස කෙරේ. නමුත් ඒ අතරින් මේ වනවිට ඇතුන් කිහිප දෙනකුම අපෙන් සමුගෙන අවසන්ය. 

වනසත්ව සහ වෘක්ෂලතා ආඥා පනතට අනුව ඇතකු හෝ අලියකු ඝාතනය කළ බවට වරදකරුවකු වන පුද්ගලයකුට වසර පහකට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් දක්වා වූ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකිය. පරිසරවේදීන් පවසන්නේ මේ දඬුවම ප්‍රමාණවත් නොවන බවයි. 

I කුසුම්සිරි විජයවර්ධන