2023 මැයි 21 වන ඉරිදා

ජෙරම්ගේ ජරමරය

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 345

ජෙරම්ගේ ජරමරය සතිය පුරා නාටකීය ස්වරූපයක් ඉසිලූ සිදුවීම් පෙළක් නිර්මාණය කළේය. දිවැසිවරයකු ලෙස පෙනී සිටින ජෙරම් ප්‍රනාන්දු නම් ක්‍රිස්තියානි ආගමික කඳවුරක් නියෝජනය කරන දේවගැතිවරයා මෙම ජරමරයේ නිර්මාතෘවරයා විය. කෙසේ වෙතත් මෙය ජෙරම් ප්‍රනාන්දුගේ පළමු මාධ්‍ය සංදර්ශන නොවූ අතර මීට පෙර ඔහු පෙළහර පාන්නට වූයේ ක්‍රිකට් ක්‍රීඩාව සමඟයි.

ක්‍රිකට් දෙබරයට ගල් ගසා පාඩම් ඉගෙන නොගත් ජෙරම් මෙවර අහම්බෙන් හෝ කැමැත්තෙන් තෝරාගත්තේ දැනුම් තේරුම් ඇති කිසිවෙක් තෝරා නොගන්නා මාතෘකාවකි. ඔහු ශ්‍රී ලංකාව තුළ බුදුදහම සම්බන්ධ කතා කරන්නට ගියේය. ගෞතම බුදුන් වහන්සේ පිළිබඳ ජෙරම්  සිදුකළේ ආන්දෝලනාත්මක ප්‍රකාශයකි.

බුදුන් වහන්සේ ආලෝකයක් සොයමින් සිටි බවත්, ඇත්ත වශයෙන්ම බුදුන් වහන්සේ සෙවූ ආලෝකය ජේසුස් වහන්සේ බවත් ජෙරම් ප්‍රනාන්දු කීය. මිරකල් ඩෝම් නම් ඔහුට අයත් සුඛෝපභෝගී දේශන ශාලාවේ පැවති දේශනාවකදී ඔහු මේ බව කියා සිටියේය. බුදුන් සෙවූ ආලෝකය ජේසුස් වහන්සේ වන නිසා සෑම බෞද්ධයකුටම ජේසුස් වහන්සේ අවශ්‍ය වන බව ජෙරම් සඳහන් කළේය. බෞද්ධ ඉගැන්වීම සම්බන්ධව තවත් විවිධකාර අදහස් ‍ඔහු මෙහිදී පළකර කර තිබුණි.

මේ සමඟ ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු පිළිබඳ විශාල සමාජ කතිකාවක් නිර්මාණය විය. සමාජ මාධ්‍ය ඔස්සේ ජෙරම්ගේ ප්‍රකාශය රටපුරා පැතිර යාමට ගතවූයේ ඉතා සුළු කාලයකි. බෞද්ධ භික්ෂූන් ඇතුළු බොහෝ පාර්ශ්ව මෙම ප්‍රකාශය හෙළා දකින්නට විය. ජනාධිපතිවරයා දක්වා පාර්ශ්ව රුසක් මේ කතිවාවේ පාර්ශ්වකරුවෝ වූහ. ඒ අනුව සති අග මෙම සංවාදයේ කොටස්කරුවන් වීමට අපිද තීරණය කළෙමු.

ජෙරම්ගේ ජරමරයේ වර්තමාන කතාව කියවා ගැනීමට මත්තෙන් ජෙරම් ප්‍රනාන්දු පිළිබඳ සැකෙවින් හෝ අවබෝධය ඔබ වෙත ලබාදීම වටිනු ඇතැයි අපට සිතෙයි. ජෙරම් ප්‍රනාන්දුගේ වෙබ් අඩවිය සහ තවත් මූලාශ්‍ර භාවිත කරමින් මෙම පුද්ගලයා පිළිබඳ අපි සොයා බැලුවෙමු. ඔහු බ්‍රිතාන්‍යයේ දේවධර්මය පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලබාඇති පුද්ගලයකි. ඔහු දිවැසිවරයකු ලෙස පෙනී සිටීමට පෙර ව්‍යාපාරිකයෙක් සහ ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කර තිබේ. මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ නම් දැරෑ ආයතන කිහිපයක විධායකයකු ලෙස ජෙරම් කටයුතු කර ඇති බවටද සාක්ෂි ඇත. ඔහු මීට ෙබාෙහා් කලකට ෙපර ෙප්යාවක් ප්‍රවර්ධනය කරන ෙවළඳ දැන්වීමක නිරෑපන ශිල්පියකු ෙලසද ෙපනීසිට තිෙබ්. 

විවාහකයකු වන ජෙරම්  ග්ෙලා්රියස් නම් කොළඹ පිහිටි දේවස්ථානයක අධිපතීත්වය දරයි. අනාගත වක්තෘවරයෙක් (Prophet) නොඑසේ නම් දිවැසිවරයෙක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ජෙරම් ප්‍රනාන්දුගේ අධ්‍යාත්මික ගුරුවරයා වන්නේ සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නමැති දේවගැතිවරයා බව කියැවේ. ඒ කෙසේ වෙතත් ජෙරම් ඇතුළු පිරිස ජාත්‍යන්තර ජාලයක් ලෙස ක්‍රියාත්මක වන අතර ලොවපුරා ජාතීන් 87ක් වෙත සේවය සලසන බව කියා සිටී. ඔවුන්ට අනුව ලොවපුරා තුන් කෝටි අසූ නව ලක්ෂයක පමණ පිරිසක් ජෙරම් ප්‍රමුඛ කණ්ඩායම අනුගමනය කරති.

ජෙරම් ප්‍රනාන්දු පිළිබඳ කතාව සමාජ කතිකාව නිර්මාණය වූවේ 2019 වසරෙන් පසුවය. ආරම්භයේදී මෙම පිරිස ''Born again'' නම් ආගමික කණ්ඩායමක් සමාජය හඳුනා ගත්තේය. කෙසේ වෙතත් Born again යනු ආගමික සංකල්පයක් මිස මෙම කඳවුරේ නාමය නොවන බව පසුව පැහැදිලි විය. ක්‍රිකට් තේරීම් සඳහා ජෙරම්ගේ බලපෑම් සිදුවන බවට මූලික අවස්ථාවේදී විශාල සැකයක් මතුවිය. කෙසේ වෙතත් කාලයත් සමඟ එය යටපත්ව ගියේය. පසුගිය වසරේ ජෙරම් නැවත කරළියේ මාතෘකාවක් බවට පත්වූයේ ක්‍රිකට් ලෝක කුසලාන අනාවැකි හේතුවෙනි. ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය පරීක්ෂණ පවා පැවත්වීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් ජෙරම් ප්‍රනාන්දු සිය ආගමික කණ්ඩායම සමඟ සමාජ දේශපාලන බලපෑම් ඇතිකිරීම එයින් නතර කර දැමුවේ නැත. මිරකල් ඩෝම් නම් අති නවීන පහසුකම් සහිත සම්මන්ත්‍රණ ශාලාවේ සිට දේව මෙහෙයන් පවත්වමින්, එම දේව මෙහෙයන් සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් විවිධාකාර ආන්දෝලනාත්මක තත්ත්වයන් නිර්මාණය කරමින් සිටියේය. ඔහු වටා විශාල ධනස්කන්ධයක් සංසරණය වන බව මේ සමඟම පෙනී ගියේය.

ආමන්ත විජේසූරිය නම් ජාතික රෑපවාහිනියේ හිටපු ක්‍රීඩා මාධ්‍යවේදියකු සෘජුවම ඔහුගේ මාධ්‍ය කටයුතු මෙහෙයවමින් සිටි අතර ජෙරම්ගේ විශ්මකර්ම ක්‍රියා ලොවට කියාපෑමේ රාජකාරිය ඔහු භාරගෙන සිටියේය. ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු ''මිරකල් ඩෝම්'' නමැති ශාලාවකදී සිය බැතිමතුන් ඉදිරියේ ඔහු විවිධ රෝගීන් සුවකරන බව පෙන්නුම් කරන වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේය. වකුගඩු රෝගීන්, ශ්‍රව්‍යාබාධිතයන්, ඇදුම හතිය ඇති දරුවන් ජෙරම් සුවකරන ආකාරය වීඩියෝ විශේෂ වැඩසටහනක් ලෙස ඉදිරිපත් කළේ ආමන්ත විජේසූරියයි.

ඕනෑම කෙනකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය ඇති බැවින් සමස්තයක් ලෙස මෙරට නීතිය සහ බහුතර පොදු මහජනතාව ජෙරම් මෙම ක්‍රියාවන් ප්‍රශ්න කරන්නට ගියේ නැත. මේවායේ සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමේ අවකාශය ඔහුගේ අනුගාමිකයන් වෙත ලබාදෙමින් අපි පසෙකට වී බලා සිටියෙමු. එහෙත් එම සියලු තත්ත්වයන් පසුගිය සතිය තුළ වෙනස් විය. ඊට හේතු වූයේ ජෙරම් බුදුන් වහන්සේ සහ අනිකුත් ආගම් පිළිබඳ සිය මතය කියාපෑමට දැරෑ උත්සාහයයි.

මෙවර ප්‍රනාන්දුට එරෙහිව නැගුණේ සුළුපටු විරෝධයක් නොවේ. ඉකුත් සතිය පුරා සිදුවූ සිදුවීම්, නිකුත් වූ ප්‍රකාශ ඊට කදිම නිදසුනක් විය. පසුගිය සතියේ බොදු බල සේනා සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු සංවිධාන කිහිපයක් ජෙරම් ප්‍රනාන්දු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළේය. මේ අතර මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටු භික්ෂූන් වහන්සේලා පිරිසක් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව පියවර ගැනීමේ වැදගත්කම නා හිමිවරුන් වෙත පැහැදිලි කර දී තිබුණි.

කතෝලික සභාවද මෙම ප්‍රකාශය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කළේය. ජෙරම් කිසිසේත්ම තමන්හට සම්බන්ධ නොමැති බව කතෝලික සභාව පැහැදිලි කළේය. තවද මාධ්‍ය වෙත අදහස් දැක්වූ ක්‍රිස්තියානි සහ කතෝලික පූජකවරුන් රුසක් සඳහන් කර සිටියේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙරට කිසිදු ක්‍රිස්තියානි සභාවක ලියාපදිංචි පූජකයකු නොවන බවකි.

ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශ හරහා බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ලවීම දෙගුණ තෙගුණ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මීට මැදිහත් විය. ඒ අනුව ජනපතිවරයා මේ හා සම්බන්ධව විශේෂ විමර්ශනයක් කරන ලෙස බලධාරීන්ට නියෝග කළේය. මෙම වටපිටාව තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව රටින් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝගයක්ද අධිකරණයෙන් ගත්තේය. පොලීසිය මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව විමර්ශන සිදුවන බව කියැවුණි.

මෙම නියෝගය ලැබෙන විට දේවගැතිවරයා පසුගිය ඉරිදා සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ දිවයිනෙන් පිටත්ව ගොස් හමාරය. එහෙත් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා තිබුණේ තමන් පෙර යොදාගත් කටයුත්තක් වෙනුවෙන් විදෙස් ගතවූ බවකි. එළඹෙන ඉරිදා දිවයිනට පැමි‍ණෙන බවත්, එලෙස පැමිණි පසු ජාතිය අමතන බවත් ඔහු වැඩිදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා සිටියේය.

මේ අතර දේවගැතිවරයා උපයාගත් දේපළ සහ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සූදානම් වන බවද දැන කියා ගැනීමට හැකි විය. ජෙරොම් ප්‍රනාන්දු ලංකාවට පැමිණීමත් සමඟම ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවා සඳහන් කර සිටියේය. මේ අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ අධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නමැති දේවගැතිවරයා එරට රජයේ විශේෂ තානාපතිවරයකු ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර මට්ටමේ රන් ජාවාරම් සහ මූල්‍ය විශුද්ධිකරණයේ යෙදෙන ආකාරය පිළිබඳ අල්ජසීරා රෑපවාහිනියේ ගවේෂණාත්මකව වාර්තාවක් බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය.

කෙසේ වෙතත් ජෙරම් ප්‍රනාන්දුගේ සමාජ මාධ්‍ය අවකාශයේ පසුගිය සතිය පුරාම ප්‍රචාරක කටයුතු සුපුරුදු පරිදි සිදුවන සිදුවන බව පෙනී ගියේය. ''වචනයේ ගැඹුරට යනු'' නමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී වැඩසටහනක් පවා සංවිධානය කිරීමට ඔවුන් කටයුතු කර තිබුණි. විවෘත අදහස් දැක්වීමේ හැකියාව පිළිබඳ තර්ක කරන්නෝ කිහිපදෙනකුද ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින බවද සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකිවිය. කෙසේ වෙතත් බහුතර මතය වූයේ මෙම ප්‍රකාශ හරහා ආගමික සංහිඳියාව බිඳී යන බවයි.

කවරෙක් වෙතත් ජෙරම්ගේ ජරමරය හේතුවෙන් රටේ කාලීන සමාජ දේශපාලන ආර්ථික ප්‍රශ්න රටක් යටපත්ව ගිය බව නම් පැහැදිලි විය. එසේම යටපත්ව පැවති ආගමික සහ ජාතිකවාදී කඳවුරුවල නැගීමද මේ සමඟම සිදුවිය. එසේම ජෙරම් ප්‍රනාන්දු හිතාමතා හෝ නොහිතා සිදුකර තිබුණේ, විශාල දෙබරයකට ගල් ගැසීමක් බව මනාව පැහැදිලි විය.

ආගමික නායකයන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම්

දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති, ඇල්ලේ ගුණවංශ හිමි

මෙම පුද්ගලයාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. ජාති, කුල, ආගම් භේද ඇතිකිරීමට ප්‍රකාශ හෝ වෙනත් ක්‍රියාවක් සිදුකිරීමට කිසිවකුටවත් ඉඩ නොතැබිය යුතුයි. ඩොලර් වලින් යැපෙන මේ අයට අපේ ජනතාව අතර භේදභින්න ඇති කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අපි ආගමික නායකයෝ හැමෝම එකතු වෙලා මේ සම්බන්ධව නඩුවක් ගොනු කරන්න සූදානම්. අපේ කරුණාව දයාව මෛත්‍රිය අවිහිංසාව නිවටකමක් විදියට සලකන්න එපා. මේක පැහැදිලිව කියන්න ඕනෑ ජෙරම් ප්‍රනාන්දු ඇතුළු පිරිසට.

අදාළ බලධාරින්ගේ නිහඬතාවය ප්‍රශ්නයක්
කාදිනල් හිමියන්ගේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා

ජෙරම් ප්‍රනාන්දු නමැත්තා සබඳතා පවත්වන හා ඔහුට අනුග්‍රහය දක්වන නොයෙකුත් විදේශිකයන් පිළිබඳවද ඔහුගේ ඇතැම් චර්යාවන් පිළිබඳවද විවිධ කරුණු කාරණා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අනාවරණය වෙමින් තිබිණි. ඒ පිළිබඳ මේ දක්වා නිසියාකාර සොයා බැලීමක් සිදුකිරීමට අදාළ බලධාරීන් අපොහොසත් වීම පුදුමයට කරුණකි. බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් සහෝදර සහෝදරියන්ට සිත් වේදනා ඇතිවන අයුරින් සහ ඔවුන්ගේ ආගමික විශ්වාසයනට අපහාස වන අයුරින්ද රටේ ආගමික එක්සත් බව හා සංහිඳියාව අනතුරට ලක්වන අයුරින් ජෙරම් ප්‍රනාන්දු නමැත්තා විසින් කරන ලද ප්‍රකාශය අපි හෙළාදකින අතර එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරමු.

ජෙරම් ලංකාවෙන් ගිහින්
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව

පාස්ටර් ජෙරම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. පැමිණිලි ලැබුණට පස්සේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ. ඒ අනුව තමා අධිකරණයෙන් අදාළ සාක්ෂි සටහන් කරගෙන පසුව තමා අධිකරණය නියෝග ලබාගන්නේ. පාස්ටර් ජෙරම් පිටත්වෙලා තියෙනවා පසුගිය ඉරිදා දිනයේදී. ඔහු විදේශ ගතවුණ බවට වාර්තා වෙලා තියෙනවා. නමුත් විදේශ ගමන් තහනම අපි ලබාගන්නේ ඊයේ දිනයේ. ඒ කියන්නේ සංචාරක ගමන් තහනමක් ලබාගත්තහම ඒ රටෙන් පිටවෙන්නත් බෑ. ඒ වගේම විදේශ රටකට ඇතුළු වෙන්නත් බෑ.

නියපොත්තෙන් කඩන්න තියෙනදේ පොරවෙන් කපන්න තියන්න හොඳ නෑ
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක

අමාත්‍යාංශය හැටියට මේ වනවිට පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නෑ. ශ්‍රී ලංකාව තුළ මොනතරම් ආගමික නිදහසක් ලබා නිදහසක් ලබාදීල තියෙනවද කියන්නේ, මෙවන් වූ ආගමික මධ්‍යස්ථාන ලියාපදිංචියක් පවා සිදුවෙන්නෙ නෑ. දැන් ඔවුන් විසින්ම ඒ නිදහස අහුරා ගන්නවද කියලා මට හිතෙනවා. ඉදිරියේදී අපි ක්‍රියාත්මක වෙනවා. සෑම ආගමික මධ්‍යස්ථානයක් වූ බුද්ධ ශාසන සහ ආගමික කටයුතු බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ ලියාපදිංචි විය යුතුමයි.

I චමිඳු නිසල් ද සිල්වා