මේ දිනවල ශීඝ්‍ර ලෙසින් වෙළෙඳපොළේ මාළු, එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. මැනිං වෙළෙඳපොළේ පවතින එළවළු මිලට සාපේක්ෂව සාමාන්‍ය වෙළෙඳපොළේ වෙළෙඳුන් එළවළු ඉතා අධික මිලකට අලෙවි කරන බව පාරිභෝගිකයෝ චෝදනා කරති.
''දැන් නම් කන්න තියා හිතන්නවත් බැහැ. රුපියල් දාහක් අරගෙන කඩේකට ගියාම එළවළු දෙක තුනක් පොඩි සිලි සිලි බෑග් එකකට දාගෙන තමයි ගෙදර එන්න වෙන්නෙ. ඒකත් ගෙදර ඇවිත් බලද්දි බාගෙට කුණුවෙලා. ඔය සුපිරි වෙළෙඳසලකින් තෝරලා අපිට ඕන ප්‍රමාණයකට එළවළු ගන්න පුළුවන් වුණාට ගොඩක් එළවළු වෙළෙඳසල්වල, පොළවල්වල එහෙම අපිට ඕන විදිහට එළවළුවක් ගන්න බැහැ. එළවළු ගොඩගහලා හරි ලස්සනට තිබුණට ඒ වෙළෙඳුන් එළවළු කිරද්දි එයාලගේ පැත්තෙන් ගොඩගහලා තියෙන එළවළුවලින් තමයි කිරල අපිට දෙන්නෙ. ඒවා අර තරම් ලස්සන නැහැ. සමහර ඒවා තැලිලා, බාගෙට කුණුවෙලා. ඔය වෙලාවට නිකමට හරි ''මේවා තැලිලනෙ'' කියලා කිව්වොත් ඔන්න ඉතින් රණ්ඩුවටයි ඒ වගේ වෙළෙඳුන් එන්නෙ. ග්‍රෑම් දෙසිය පනහකට අඩුවෙන් ඒ අයගෙන් එළවළු ගන්නත් බැහැ. ඒ නිසා කීයක් හරි වැඩියෙන් දීලා ඔය සුපිරි වෙළෙඳසලකින් අපිම තෝරල අපිට කැමැති ප්‍රමාණයකින් මිලදී ගත්තත් පාඩුවක් වෙන්නෙ නැහැ කියලයි මට නම් හිතෙන්නෙ. හැබැයි ඉතින් මේ දවස්වල එළවළු මිල පුදුම විදිහට ඉහළ ගිහින්. පතෝල ග්‍රෑම් පන්සීයක් රුපියල් දෙසීයකට ගන්න කාලයක් මේක.'' යැයි මහරගම මනීෂා පල්ලියගුරු මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.
බොහෝ පාරිභෝගිකයන්ගේ මතය වන්නේ සාමාන්‍ය වෙළෙඳසල්වල මිලට සාපේක්ෂව සුපිරි වෙළෙඳසල්වල මිල ඉහළ බවය. නමුත් සාමාන්‍ය වෙළෙඳසලේ මිලට සාපේක්ෂව සුපිරි වෙළෙඳසල්වල ඇතැම් එළවළු හා පළතුරුවල මිලෙහි සුළු අඩුවක් පවතී. පසුගිය දිනවලදී සාමාන්‍ය වෙළෙඳපොළේ කොමඩු කිලෝවක මිල රුපියල් 120/- ත් 150/- ත් අතර මිලකට අලෙවි වෙද්දී සුපිරි වෙළෙඳසලක එහි මිල සටහන් වූයේ කොමඩු කිලෝවක් රුපියල් 90/- ලෙසිනි. මීට අමතරව ඇතැම් සුපිරි වෙළෙඳසල් ඇතැම් දිනවලදී වට්ටම් ලබාදීමක් ද සිදු කරයි. බොහෝ පාරිභෝගිකයන් එවැනි සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගනු ලබන්නේ මේ වට්ටම් ලබාගැනීමේ අපේක්ෂාවෙනි. පවතින අධික මිල යටතේ එවැනි වට්ටමක් ලබා දීම පාරිභෝගිකයන්ට සහනයකි.
මේ දිනවල මැනිං වෙළෙඳපොළේද එළවළු තොග මිල ඉතා සීඝ්‍ර ලෙසින් ඉහළ ගොස් ඇත. ඒ හේතුවෙන් මැනිං වෙළෙඳපොළට පැමිණෙන වෙළෙඳුන් සහ පාරිභෝගිකයන්ගේ යම් අඩුවක් ඇතැයි මැනිං වෙළෙඳපොළ තොග වෙළෙන්දෝ පවසති. ඒ අනුව පසුගිය දිනවලට සාපේක්ෂව දෛනිකව මැනිං වෙළෙඳපොළේ එළවළු වෙළෙඳාමේ යම් අඩුවක් පවතී.
එළවළු මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව වන්නේ පසුගිය දිනවල පැවති අධික වර්ෂාවයි. විශේෂයෙන් උඩරට ප්‍රදේශවල පැවැති වර්ෂාව මේ තත්ත්වයට බලපෑවා. ඒ වගේම පසුගිය කාලයේදී ඉතා වැඩි අස්වැන්නක් කොටුවලින් ගැලවිලා කොළඹට ආවා. ඒ වැඩි අස්වැන්න නිසා තමයි පසුගිය කාලයේදී එළවළු මිල ඉතා අඩු වුණේ. ඒ ලැබුණු අස්වැන්නත් සමඟ උඩරට එළවළු නැවත වැවීමට යම් කාලයක් ගත වෙනවා. ඇතැම්විට මේ සඳහා මාස දෙක තුනක් අතර කාලයක් ගතවෙනවා. ඒ නිසා ඉතිරිවෙලා තියෙන එළවළු අස්වැන්නට ඉල්ලුම වැඩිවීමත් සමඟ එළවළු මිල වැඩිවීමක්ද සිදුවෙලා තියෙනවා. මේ දිනවල එළවළු මිල ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ යන්නට ඒකත් බලපෑවා. අද මැනිං වෙළෙඳපොළේ හොඳම ලීක්ස් කිලෝවක තොග මිල වන්නේ රුපියල් දෙසිය පනහත් දෙසිය අසූවත් අතර මිලක්. ඊට අමතරව කැරට් කිලෝවක් රුපියල් දෙසිය පනහත් දෙසිය හැටත් අතර මිලකටත් හොඳම ගෝවා කිලෝවක් රුපියල් දෙසිය අසූවක මිලකටත් අලෙවි වෙනවා. මාළුමිරිස් කිලෝවක් රුපියල් තුන්සිය පනහත් තුන්සිය අසූවත් අතර මිලකට අලෙවි වෙනවා. සාමාන්‍ය මිලකට ගත හැකි එළවළුවක් වන පතෝල මේ දිනවල රුපියල් දෙසියත් දෙසිය පනහත් අතර තොග මිලකට අලෙවි වෙනවා.'' යැයි පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරික මොහාන් හෙට්ටිගේ මහතා පැවසීය.
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු තොග මිල මෙලෙස පැවතියද සාමාන්‍ය එළවළු අලෙවිසල්වල මිලෙහි වෙනසක් පවතී. සාමාන්‍ය එළවළු වෙළෙන්දෝ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළෙන් එළවළු තොග වශයෙන් මිලදී ගෙන ඒවා ඉතා අධික මිලකට අලෙවි කරති. ප්‍රවාහන වියදම් ඇතුළු සාමාන්‍ය වියදම් හේතුවෙන් මැනිං වෙළෙඳපොළට සාපේක්ෂව සාධාරණ වැඩීමක් සිදුකර එළවළු අලෙවි කිරීමේ වරදක් නැත. එහෙත් ඇතැම් වෙළෙන්දෝ ඉතා අසාධාරණ ලෙසින් ඉහළ මිලකට වෙළෙඳාමේ නිරත වෙති. මෙයින් අසරණ වන්නේ පාරිභෝගිකයන්ය. පසුගිය කාලයේදී එළවළු මිලෙහි යම් අඩුවක් පැවතීම හේතුවෙන් ආපනශාලාවල අලෙවි වන බත් පාර්සලයේ එළවළුවල යම් වැඩිවීමක් පැවතියද මේ වනවිට එළවළු මිල වැඩිවීමත් සමඟ ආපනශාලා සහ හෝටල්වලින් ලබාගන්නා බත් පාර්සලේ මේ දිනවල දක්නට ලැබනේනේ අඩු එළවළු ප්රමාණයකි.
එමෙන්ම එළවළු මිල ඉහළ යාමත් සමඟ මාළු මිලද ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
''අද වෙනකොට මාළු මිල ඉතා ශීඝ්‍රයෙන් වැඩිවෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව වාරකන් තත්ත්වයයි. මේ හේතුවෙන් ධීවරයන්ට මුහුදු නොයන ලෙස අනතුරු ඇඟෙව්වා. ධීවරයන් රුගත් බෝට්ටු කිහිපයකට යම් යම් අනතුරුවලට මුහුණ දෙන්න සිදු වුණා. මේ තත්ත්වය සාමාන්‍යයෙන් හැම වසරකදීම මේ කාලවලට සිදුවන දෙයක්. බොහෝ විට මේ තත්ත්වය ලබන මාසේ මුල් සතිය වනවිට අඩුවක් සිදුවේවි. මේ දිනවල ධීවරයන්ට බෝට්ටුවලින් මුහුදු යාමට බැරි නිසා තමයි මාළු මිල වැඩිවීමක් සිදුවෙලා තියෙන්නෙ. ඒ නිසා ලබන මාසයේ මුල් සතිය වනවිට මාළු මිල ශීඝ්‍රයෙන් පහළ බහිනවා. අද වනවිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කෙළවල්ලා මාළු කිලෝවක් රුපියල් එක්දහස් හත්සීයයි. බලයා රුපියල් දාහයි. තලපත් කිලෝවක තොග මිල රුපියල් දෙදාහයි. තෝර මාළු දෙදාහයි. ලින්නෝ කිලෝවක් රුපියල් අටසීයයි. පසුගිය දිනවල අයිස්වල මිලත් ඉහළ ගියා. එයත් මත්ස්‍ය අලෙවියට බලපෑවා. ඉදිරි දින කිහිපයේදී මේ අයිස්වල මිලෙහි අඩුවක් වේවි යැයි අපි විශ්වාස කරනවා. එහෙම වුණොත් මාළු මිල ශීඝ්‍රයෙන් අඩුවේවි.'' යැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා දේශයට පැවසීය.
I දිශානි ජයමාලි කරුණාරත්න