2023 මැයි 21 වන ඉරිදා

අයි. එම්. එෆ්. ටීම් එකක් ලංකාවට ඇවිත් මොනවද කරන්නේ?

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 96

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිතය. ඒ අනුව පළමු ණය වාරිකයෙන් පසු ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති සාර්ථක අසාර්ථකභාවය පිළිබඳව විමර්ශනයක් සිදුවනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට කොන්දේසි මාලාවක් පනවා තිබිණි. ඒවා නම් ණය සහ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය සඳහා රජයේ ආදායම ඉහළ නංවා ගැනීමයි. (මේ සඳහා බදු ප්‍රතිසංස්කරණය කළ යුතු වන අතර පුද්ගල ආදායම් බදු, වෙනත් ආයතනික බදු සහ එකතු කළ අගය මත වන බදු වැඩි කළ යුතුය. 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක ප්‍රාථමික අතිරික්තයක් ඇතිකර ගැනීම කළ යුතු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍ය හැර සෙසු සියලු අංශ සඳහා බදු පැනවිය යුතු බවයි.

ඉන්ධන සහ විදුලිය සඳහා පිරිවැය ආවරණය වන මුදලක් ලබාගෙන රාජ්‍ය ව්‍යවසාය මගින් ඇතිකර ඇති පීඩනය අවම කිරීම, (රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම) මිල ස්ථාවරත්වය සහ මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, විදේශ සංචිත ඉහළ නංවා රටේ මූල්‍ය ස්ථාවරත්වය යළි සැකසීම, අර්බුදය මගින් දුගී ජනතාව වෙත පනවා ඇති බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කිරීම (වෙළෙඳපොළ මිල වෙනස් නොකර දිළිඳු ජනතාවට මූල්‍ය ආධාරයක් ලබා දීම) සහ දූෂණය අවම කිරීම සඳහා තිරසර ආර්ථික සංවර්ධනයක් සහ ප්‍රවර්ධනයක් ඇති කිරීම යන කරුණු ප්‍රතිසංස්කරණ වැඩසටහනට අයත් වේ. මෙම කොන්දේසිවලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාව ඉටු කර තිබේ.

ශ්‍රී ලංකාවට අනුමත කර ඇති ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකයට අදාළ පසු විපරම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා පසුගිය මැයි මස 11දා ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මාධ්‍යහමුවක් පවත්වමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.  

එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පෙන්වා දුන්නේ 2023 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3% කින් හැකිලෙනු ඇති අතර එය 2024 වසරේ 1.5% වර්ධනයක් කරා ළඟා විය හැකි බවට අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙමින් රටේ ස්ථාවරයක් ගොඩනංවා තිරසර වර්ධනයක් වෙත යොමුකරවීම සඳහා සහය වන බවද, ඒ සඳහා සියලු ශ්‍රී ලංකිකයන් එකමුතු විය යුතු බවද ඔහු සඳහන් කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ශ්‍රී ලංකා රජය සද්භාවයෙන් යුතුව කටයුතු කරන අතර එම සාකච්ඡා ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝබරයේ සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු අගැයීමට පෙර අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිත කණ්ඩායමේ නායක පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය සඳහා අය කරන පොලිය පාවෙන පොලී අනුපාතිකයක් වන අතර එය ගෝලීය පොලී අනුපාත අනුව තීරණය වන බවමය. 2037 වසරේ ණය පියවා අවසන් කරන විට ඒ සඳහා අය කරනු ලබන පොලී අනුපාතයේ සාමාන්‍යය 5% ක් පමණ වනු ඇතැයි සඳහන් කළ බෲවර් මහතා ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි අතර එයින් ජනතාව දැඩි පීඩාවකට පත් වූ බවද එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ සහායට පැමිණි අතර එම අර්බුදයෙන් ගැලවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරින් සමඟ සාකච්ඡා කොට  ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහාය ලබා දුන් බවද ප්‍රකාශ කළේය. මෙම පිරිස විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක්ද හමු වූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ඔවුන් විසින් පනවා ඇති කොන්දේසි අතර  සාමාන්‍ය ජනතාවට පීඩාකාරී ලෙස බලපාන ඇතැම් කොන්දේසි පවතින බව පෙන්වා දුන් බවයි. 36% බද්ද සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එම බද්ද වෙනස් කිරීම සඳහා විකල්ප යෝජනා ඇති බව තමන් පෙන්වා දුන් විට ඒ සම්බන්ධයෙන් ලිඛිතව සාකච්ඡා කිරීමට එම කණ්ඩායම එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

ආර්ථික විද්‍යාඥයන්ට අනුව 2023 ආර්ථික හැකිලීම සිදුවන්නේ 2022 වසරට සාපේක්ෂවය. 2022 දී 2021 ට සාපේක්ෂව මෙරට ආර්ථිකය 9% කින් හැකිලෙන බවට පුරෝකථනය කළද එය 7.6% ක මට්ටමින් තබාගන්නට හැකි විය. 2023ට සාපේක්ෂව 2024 දී එය 1.5% කින් වර්ධනය වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය 2018 වසරේ තිබූ මට්ටමට ළඟා වීමට අවම වශයෙන් 2028 වසරවත් වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සර්වාට් ජහාන් මහත්මිය සඳහන් කළේ ලාභ නොලබන රාජ්‍ය ආයතන නිසා රජයේ වියදම් ඉහළ යන බවත් පිරිවැය ආවරණය වන පරිදි විදුලිය හා ඉන්ධන මිල සැකසුම් ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වන වසර 4 පුරාම ක්‍රියාවට නැංවිය යුතු බවත්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන්ගේ අපේක්ෂාව ශ්‍රී ලංකාවට ණය පහසුකම් සලසන වැඩසටහන අවසන් වන තෙක් ඔවුන් විසින් නම් කරන ලද ආයතන පාඩු නොලබන ආයතන බවට පත්විය යුතු බවටය. ඒ අනුව ඔවුන්ගේ අවධානය යොමුව ඇති ආයතන වන්නේ විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව සහ ජල සම්පාදන මණ්ඩලය වැනි ආයතනය. මෙම ආයතන සඳහා මිල සූත්‍රයක් වැනි ක්‍රමවේදයක් අවශ්‍ය බව ඔවුන් පෙන්වා දී තිබේ. 2022 ජනවාරි සිට අගෝස්තු දක්වා ඛනිජ තෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 615 කි. විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සමාගමද අති විශාල ලෙස පාඩු ලබන ආයතන වේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2022 දී බිලියන 169ක අලාභයක් ලබා ඇතැයි වාර්තා වේ. සෑම වසරකම අති විශාල ලෙස පාඩු ලබන ආයතන තවදුරටත් පවත්වාගෙන යාම රටක ආර්ථිකයට විශාල පහරකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒවා පාඩු නොලබන තත්ත්වයට පත් කළ යුතු බවට ප්‍රකාශ කර ඇත්තේ එහෙයිනි.

මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියටද සාධනීය ප්‍රතිචාර ලැබෙමින් පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන් සතුටු වනවාදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කළේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර් කාලය වන විට අවසන් කළ හැකිවනු බවටය. එමෙන්ම ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය ඒකාබද්ධව පිහිටුවා ගත් ණය කමිටුව සඳහා චීනය නිරීක්ෂණ මට්ටමින් සහභාගී වීම ධනාත්මක තත්ත්වයක් බවද ඔවුහු පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකා රජයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මූල්‍ය ස්ථාවරත්වය සහතික විය යුතු බවද සඳහන් කළ ශ්‍රී නිවාසන් මහතා දැනට ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉතා හොඳින් ක්‍රියාවට නංවා ඇතැයිද සඳහන් කළේය. 

ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සිදු කිරීමට සූදානම් වන පසුවිපරම පිළිබඳව අප අදහස් විමසා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති හා ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතාගෙනි. මහාචාර්යවරයා දේශයට අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළේය.

''ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබා දෙන්නේ වාරික වශයෙන්. එසේ කොටස් වශයෙන් ණය ලබා දීමේදී ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දී ඇති වැඩසටහන අනුව කටයුතු කරන ආකාරය පිළිබඳව හා පළමු ණය වාරිකය සාර්ථක ලෙස භාවිත කර තිබේද යන්න පිළිබඳව විමසා බැලීමක් සිදුවෙනවා. ශ්‍රී ලංකාව ණය ලබා ගැනීමේදී සපුරාගත යුතු කෙටිකාලීන සහ මධ්‍යකාලීන ඉලක්ක කිහිපයක් තිබෙනවා. ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීම, පෞද්ගලික අංශය ප්‍රවර්ධනය කොට ආර්ථික වර්ධනය නගා සිටුවීම, ව්‍යාපාර පරිසරය වර්ධනය කිරීම, රාජ්‍ය ව්‍යවසායකයන් හැකි පමණ අවම කිරීම, විදේශ විනිමය වත්කම් වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කිරීම, අයවැය පරතරය අවම කර ගැනීම වැනි කටයුතු පිළිබඳව ඔවුන් නිර්දේශ ලබා දී තිබෙනවා. ඔවුන් මෙම විමර්ශනය මගින් සිදු කරන්නේ ශ්‍රී ලංකාව කෙටිකාලීන වශයෙන් සිදු කරන බවට ලබා දුන් සැලැස්ම කොතරම් දුරකට සාක්ෂාත් කරගෙන තිබේදැයි යන්න පිළිබඳවයි. මෙය ඉතා වැදගත්. ශ්‍රී ලංකාව මින් ඉහත 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගෙන තිබෙනවා. ඒ කිසිම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කළ වැඩසටහන සම්පූර්ණ කළේ නැහැ. බොහෝ විට අතරමගදී ඉන් ඉවත් වුණා. මේ අවස්ථාවේ එවැන්නක් සිදුවනු ඇතැයි සිතිය නොහැකියි. මේ සම්බන්ධයෙන් නිරන්තර සාකච්ඡා පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දී ඇති පොරොන්දු මොනවාදැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විශේෂ අනුමැතියක් ලබාගෙන තිබෙනවා. 

ඛනිජ තෙල් සහ විදුලිය වැනි අංශවල පිරිවැය අනුව ගැලපුම් සිදු කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි බලපෑමක් කළා. එය ඉටුකර තිබේද, රටේ ආදායම වැඩිකර ගැනීම සඳහා බදු වැඩි කිරීමට ඔවුන් යෝජනා කළ උපක්‍රම අනුගමනය කර තිබේද, විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට කැඳවීම සඳහා ඔවුන්ගේ විශ්වාසය තහවුරු කර තිබේද, ඇතැම් ප්‍රතිපත්තිමය තීන්දු වන විනිමය අනුපාත පාවෙන තත්ත්වයක පවතින්නේද, නැතිනම් ඉල්ලුම හා සැපයුම යන බලවේග අනුව තීරණය කිරීමට ඉඩ දී තිබේද, එසේ නොමැති නම් බලහත්කාරයෙන් එය පාලනය කර තිබේද, එමෙන්ම අනාගත ආර්ථික වර්ධනය වැනි කරුණු පිළිබඳවත් ඔවුන් සමාලෝචනයක යෙදෙනවා. ඇත්තටම මෙයින් සිදුවන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රගති සමාලෝචනයක්.

♦ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 07:18
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02