2023 මැයි 21 වන ඉරිදා

ජාතික උරුමයක් වන ලංකාවේ පළමු ගීතය

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 191

අපේ ජීවිතවලට බලපෑම් කළ සිංහල ගීත කිහිපයක් අතීතය පිරික්සන විට හමුවේ. සුනිල් සාන්තයන්ගේ 'ලංකා ලංකා පෙම්බර ලංකා', අමරදේවයන්ගේ 'මේ සිංහල අපගෙ රටයි' මෙන්ම 'දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා' ගීතය ද ඒ අතර වේ. දන්නෝ බුදුන්ගේ ගීතයට මේ වනවිට වයස අවුරුදු 120කි. එය ලංකාවේ ජනප්‍රිය පැරණිම ගීතය ලෙසද සැලකේ. වැඩිදෙනෙක් නොදන්නවා වුවත් එය නූර්ති නාට්‍ය ගීතයකි. මේ ගීතය බොහෝ බෞද්ධ උත්සවවලදී මෙන්ම මංගල උත්සවවලදීද වෙසක්, පොසොන් උත්සවවලදීද නිතර වාදනය වනු දැකියි හැකිය. ඓතිහාසික පසුබිමක් සහිත ගීතය, ජාතික උරුමයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය  බන්දුල ගුණවර්ධන පසුගියදා පැවසීය. මෙම ගීතය ජාතික උරුමයක් බවට පත්කළ යුතුද යන්න සලකා බැලීමට අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් කමිටුවක් පත්කර තිබුණි. එම කමිටුවේ සභාපති ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක කටයුතු කළ අතර සාමාජිකයන් ලෙස බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ භාග්‍යා කටුදෙණිය, සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා, හෙළ හවුලේ සභාපති ශ්‍රීනාත් ගනේවත්ත, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර වාකිෂ්ට, සංගීතඥ ලයනල් ගුණතිලක, විශ්‍රාමලත් අමාත්‍යංශ ලේකම් කාන්ති ගුණතුංග කටයුතු කළහ.

නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන් 1903 වසරේ ‘සිරිසඟබෝ’ නාට්‍යයට රචනා කළ ගීත රාශිය අතරින් එක් ගීතයක් වන මෙහි තනු නිර්මාණය කර ඇත්තේ  විශ්වනාත් ලව්ජිය.  මෙම ගීතය ජාත්‍යන්තරවත් විශාල ඇගැයීමකට ලක්වූ සංස්කෘතිකමය වටිනාකමින් යුත් ගීතයක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේය. පළාත් සභා, පළාත් පාලන, ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මේ ගීතය ගායක ගායිකාවන් කිහිපදෙනකුම ගායනා කර ඇති අතර එය මුල්වරට ගායනා කළේ කවුදැයි සඳහනක් නැත. මෙය රචනා කළ නීතිඥ ජෝන්ද සිල්වා 1900 ආසන්න කාලයේ ජනප්‍රියව සිටියේ සිංහල ෂෙක්ස්පියර් නැත්නම් සිංහල කාලිදාස ලෙසිනි. ඔහු සැමරීමට ජෝන් ද සිල්වා සමරු රඟහල කලාභවන අසල ඉදිකර තිබුණත්, පසුගියදා එය කඩා නවීන රංග ශාලාවක් එතැන ඉදිකර තිබේ.

මේ නාට්‍යකරුවා ගැන මාර්ටින් වික්‍රමසිංහ මෙසේ සඳහන් කර සිටී: ''නාටක බලන්නවුන් තුළ සංවේගය දනවන අනුචිත අවස්ථා තම නාටකයන්ගෙන් බැහැර කිරීමට ඔහු පරෙස්සම් වූයේය. නාටකයක් සඳහා ඔහු තෝරාගත් කතා වස්තූන්ගෙන් සමහරක් මනුෂ්‍ය ජීවිතයෙහි සරු අරුත් හා ඇතැම්විට මිනිස් සිතෙහි ගුප්ත දහම්ද හෙළිකරන පුවත්වලින් තොර නොවීය. (සිංහල නාටකය හා සඳකිඳුරුව)

ජෝන් ද සිල්වාගේ නාට්‍යයක් නොබැලූ නාට්‍ය රසිකයෙක් ඒ කාලයේ සිටියේ නැති අතර ඔහුගේ නාට්‍යවල ගීත නිතර ඇසෙන්නට විය. ඔහු දේශීය නාට්‍යවලට ඉන්දියානු ආභාෂය ලබාදුන් බව පසුකාලීන විචාරකයන් කිව්වත් යටත් විජිත යුගයේ ජනතාව තුළ දේශාභිමානය වර්ධනය කිරීමට මේ නාට්‍ය ඉවහල් වූ බව නොරහසකි. දේශීයත්වයක්‌ ඇතිව ශ්‍රී ලාංකික ඓතිහාසික කතා පසුබිම් කොට ගනිමින් ජෝන් ද සිල්වා නූර්ති නිර්මාණය කළේය. රාමායනය, ශ්‍රී වික්‍රම, සිරිසඟබෝ, වෙස්‌සන්තර, රත්නාවලී, සකුන්තලා ආදී වශයෙන් නූර්ති 42ක්‌ පමණ ඔහු නිර්මාණය කර තිබේ. මේවායේ පිටපතද රචනා කළේ ජෝන් ද සිල්වා විසින්මයි. ඒවායේ ඉතා මධුර ගීත අඩංගුව තිබුණි.  

දන්නෝ බුදුන්ගේ, අඹ දඹ නාරං කෙසෙල් දෙල්, සිරි සංඝබෝධි මාලිගාවේදී, සුවඳ පත්ම ඕලු ආදී ගීත අදටත් අතිශය ජනප්‍රියය. ජෝන්ද සිල්වාගේ නාට්‍ය සංගීතය ගැන මහාචාර්ය විමල් දිසානායක මෙසේ සඳහන් කර සිටී: ''ජෝන්ද සිල්වාගේ නාට්‍ය බෙහෙවින් ජනප්‍රියවීමට තුඩුදුන් තවත් වැදගත් හේතුවක් නම් ඒවායේ ඇතුළත් කර්ණ රසායන සංගීතයයි. නාට්‍යයක් නිෂ්පාදනය කිරීමේදී ඔහු සංගීතය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය. ඒ ඒ  අවස්ථාවන්ට උචිත මනෝභාවයන් දැක්වෙන සංගීතය යොදා ගැනීමට ඔහු සමත් විය. මෙහිලා විශ්වනාත් ලෞජි වැනි සංගීත අධ්‍යක්ෂවරුන්ගෙන් ඔහුට ලැබුණේ නොමඳ රුකුලකි. ජෝන් ද සිල්වා ගීත රචනයෙහි ශූරයෙක් විය. ඒ ඒ රාග තාලයන්ට අනුකූල වන පරිදි ඔහු ඉතා දක්ෂ ලෙස සිය ගීත ප්‍රබන්ධ කළේය. මෙම ගීත අද පවා රසිකයන් අතර ජනප්‍රියව පවතී.

මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීණ සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි බීබීසී සිංහල සේවයට පවසා ඇත්තේ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ඉතා වටිනා ක්‍රියාවක් බවයි.

''ඔය ගීතය කවදාවත් නොමැරෙන ගීතයක්. ඉතින් මේ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කරපු එක, දැනට නෘත්‍ය ගී ගායනා කරපු සහ ඒවා දැනට උගන්වන කලාකරුවෙක් ලෙස මට හරිම සතුටක් දැනෙනවා.'' ඔහු පැවසුවේය.

ගීතයේ අද දක්නට ලැබෙන පැරණිම ගායනය ඇත්තේ ගුවන් විදුලි සංස්ථාවේ තැටි ගබඩාවේය. එය මුලින්ම ගායනා කරලා තියෙන්නේ එච්.ඩබ්ලිව්. රූපසිංහ හෙවත් රූපසිංහ මාස්ටර් විසිනි. මෙහි අද ගායනා වන්නේ වැරදි තනුවක් බවත් එය රූපසිංහ මාස්ටර් ගයන ඔරිජිනල් තනුවට වඩා වෙනස් බවත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ කියා සිටියේය. 2016 නිදහස් උත්සවයේදී මෙය ඔපෙරා ශෛලියට ගායනා කිරීම නිසා විශාල කතාබහක් රට තුළ අසන්නට ලැබුණි. බොහෝ දෙනෙක් එම ගායනයට විරුද්ධ වූහ.

කලකට පෙර ලෝරන්ස් නම් අයෙක් මේ ගීතය බටහිර උරුවට ගායනා කළේය. මේ ගීතයේ ඇති ස්වභාවය අනුව එය බටහිර සංගීතයට මෙන්ම හින්දුස්තානි සංගීතයට අනුවත් ගායනා කළ හැකිය. ටවර් හෝල් රඟහල පදනමට අනුව දන්නෝ බුදුන්ගේ  ගීතය වික්ටර් වික්‍රමගේ, නිශ්ශංක දිද්දෙණිය, නිමල් ජයසිංහ යන ශිල්පීන් පසුගිය කාලයේ ගායනා කර තිබේ. එමෙන්ම කලකට පෙර රුක්මනී දේවිද ආචාර්ය අමරදේව ද මෙම ගීතය ගායනා කර තිබේ.
සිරිසඟබෝ නාට්‍යයට අනුව සංඝතිස්ස, සඟබෝ, ගෝඨාභය යන රජ කුමරුන් තිදෙනා මහියංගනයේ සිට අනුරාධපුර අගනුවර බලා එනවිට මුලින්ම අගනුවර දකිමින් විස්මයට පත්වෙති. ඔවුන් දුටු පුරවැනුම ගීතයක් ලෙස ඉදිරිපත් වෙයි.

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ

රසිකයා තුළ අලංකාර චිත්ත රූප මැවෙන ලෙස අනුරාධපුරයේ බොදු පරිසරය වර්ණනාවට ලක්කර තිබේ. ඉන්පසුව නගරයේ සිත් නිවන පරිසරය ගැන විස්තර වේ.

මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝසේ

අනුරාධ නගරය දැන් පෙනෙනා සේ

ජෝන් ද සිල්වා අලංකාර පද පෙළක් භාවිතයෙන් රසිකයා තුළ දෘෂ්‍ය රූප මැවෙන සේ මේ ගීතය රචනා කිරීම නිසා එය අදත් අප මෝහනයට පත් කරවයි.

I කුසුම්සිරි විජයවර්ධන