2023 මැයි 21 වන ඉරිදා

පැරිසියේ පාන් හදා කප් ගැසූ ලංකාවෙ තර්සාන්

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 159

අපේ රටේ තරුණයකුට හිටි ගමන් සෞදි රාජ්‍යයෙන් ලියුමක් ලැබෙන්නේය. ඒ ලියුම් කඩදහිය දිගහැර බැලූ විට එහි කියා ඇත්තේ එකල රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් ඇතුළු ලෝක බලවතුන් උදෙසා සෞදි රජු විසින් සෞදි රජ මාලිගයේ රාජකීය භෝජන සංග්‍රහයක් සූදානම් කර ඇති බවත් ඒ සඳහා ඔහුගේ දායකත්වය අවශ්‍ය බවත්ය. රුසියානු ජනපති ඇතුළු රාජකීයයන්ගේ භෝජනයකට සෞදි රටේ කෑම පිළියෙළ කිරීමට වරම් ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වන්නේ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු වන දිමුතු කුමාරසිංහය. එසේම ඔහු විදෙස් සූපවේදී තරග රැසකින්ම රන් පදක්කම් පහක් ඇතුළු සම්මානලාභී සූපවේදියෙක් වන්නේය. ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ දිදුලන පබිලිස් සිල්වා, දිමුතු කුමාරසිංහ වැනි ප්‍රවීණයන් අතර මෙරට තරුණයෙක් මෑතකදී රටේ නම රාජකීය මට්ටමටම ඔසවා තැබුවේය. මේ කතාව අපට ඇසෙන්නේ ප්‍රංශයේ පැරිසියෙනි. ප්‍රංශයේ අගනුවර පැරිසියයි.

ප්‍රංශය පුරා බේකරි 32 ක් පිහිටා ඇති අතර ඒවායින් බැගෙත් පාන් ලක්ෂ 100 ක් පමණ වසරකට අලෙවි වෙයි. බැගෙත් කියන්නේ ප්‍රංශයේ සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන පාන් වර්ගයකි. එසේම ප්‍රංශ ජාතිකයන්ගේ ප්‍රියතම පාන් වර්ගයයි. එය වයින් සහ චීස් සමඟ ආහාරයට ගැනීමට ඔවුහු කැමැත්තක් දක්වති. තුනී පිටි ගුලියකින් නිෂ්පාදනය කරන මෙම පාන් වර්ගය දිග සහ මතුපිට ඇති ක්‍රිස්පි ස්වරූපයෙන් සමන්විතය. බැගෙත් පාන් වර්ගය කලකට ඉහතදී යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් කළේය.

බැගෙත් පාන් නිෂ්පාදනය කරන හොඳම බේකරිකරුවා තේරීම සෑම වසරකම සිදුකරන්නකි. 30 වැනි වරටත් පැවැත්වූ “Grand prix de la Baguette de Traditional Francaise de la Ville de Paris” නම් තරගයට තරගකරුවෝ 175 ක් තරග කළහ. 15 දෙනකුගෙන් සමන්විත ජූරි මණ්ඩලයකින් මෙම තරගකරුවන් තෝරාගනු ලැබූ අතර පිටි කිලෝග්‍රූමයකට ලුණු ග්‍රූම් 18 ක් අඩංගු ග්‍රූම් 250ත් 300ත් අතර බරුති බෑගෙත් දෙකක් සෑම තරගකරුවකුම ඉදිරිපත් කළ යුතු බව තරගයේ මූලික කොන්දේසියක් විය. 

ප්‍රංශයේ සුප්‍රසිද්ධ බේකරි නිෂ්පාදකයන් අතරින් මෙවර තරගයට ඉදිරිපත් වී සිටි අතර එහි මුල්තැනට පත්වන්නට වරම් ලැබූවේ ලංකාවේ අපේ කොල්ලෙකි. ශ්‍රී ලාංකිකයකු වන ඔහු නමින් 37 හැවිරිදි තර්සාන් සෙල්වරාජාය. තර්සාන් සෙල්වරාජා ප්‍රංශයට යන්නේ සංක්‍රමණිකයකු ලෙස මෙයට වසර 10 කට පමණ පෙරය. තරගයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහු පැවසූයේ “මම ප්‍රංශයට ආවේ පාන් හදන්න ඉගෙන ගන්න. මට ගොඩක් සතුටුයි මේ වගේ ලොකු ජයග්‍රහණයක් ලැබීම ගැන. මම පාන් හදන්නේ හොඳම පිටි හොයාගෙන හොඳම වට්ටෝරුවකට අනුවයි. මගේ පාන් රස වෙන්න හේතුවක් තියෙනවා. ඒ මම පාන් හදන්නේ ආදරයෙන්. සතුටෙන්. සිනාවෙන්.” යැයි හෙතෙම කීය. තර්සාන් මේ කියන ආදරයෙන් පාන් හදන බක්කරේලා අද අපේ රටේ සොයාගැනීම කළුනික සොයාගන්නවා වැනිය. එය ඒ තරමට විවාදයට ගත යුතු කාරණයකි. තම නිෂ්පාදනය අවංකව සද්චේතනාවෙන් සිදු කරන කිසිවකුට සාර්ථකත්වය මිස අසාර්ථකත්වය ලැබෙන්නේ නැත. මේ එයට මනා නිදසුනකි.

පාන් ගෙඩියේ තිබිය යුතු නියමිත බර ප්‍රමාණය නොමැතිවීම හේතුවෙන් තරගකරුවන් රැසකට තරගයෙන් ඉවත් වීමට සිදුවූ අතර අවසාන තරගය සඳහා 126 දෙනෙක් තරග කළහ. ඒ අතරට සෑම බේකරිකරුවකුම සෙන්ටිමීටර 55ත් 70ත් අතර විය යුතු ග්‍රූම් 250 සිට 300 දක්වා බරුති සහ පිටි කිලෝග්‍රූමයකට ලුණු ග්‍රූම් 18 ක් අඩංගු බෑගට් දෙකක් ඉදිරිපත් කළ යුතුව ඇත. විනිශ්චයකරුවන් කාණ්ඩ පහක් සඳහා ලකුණු ලබා දෙන අතර වසරේ රසවත්ම සහ හොඳම බැගට් පාන් ගෙඩියට හිමි මුල් තැන හිමිකර ගැනීමට අපේ රටේ සෙල්වරාජාද තේරී පත් වූයේය. ඒ තම නිෂ්පාදනය බාල ප්‍රමිතියට හදා නොව මනා ප්‍රමිතියකින් හැදීමෙනි.

උත්සාහය සහ අධිෂ්ඨානය ඕනෑම ගමනක අවසානය සාර්ථක කරවන බවට සෙල්වරාජා හොඳම නිදසුනකි. එය වොෂින්ටන් පෝස්ට් ඉංග්‍රීසි සඟරාවට නටාලි බී කොම්පන් ලියූ ලිපියක මෙසේ සඳහන් වන්නේ සෙල්වරාජාගේ වචනයෙනි. 

“පැරිසියේ නැගෙනහිර ප්‍රදේශයේ මගේ බේකරිය 2017 ආරම්භ කළා. එයින් වසරකට පසු එනම් 2018 දී මම මේ බැගෙත් තරගාවලියට ඉදිරිපත් වී තරගයේ සිව්වැනි ස්ථානය දිනාගත්තා. එයින් වසර පහකට පසු එනම් 2023 දී මම තරගයේ පළමුවැන්නා වුණා. මට මෙම සම්මානය ලබාදීම ගැන ශ්‍රී අම්මා භගවාන් දෙවියන්ට ස්තූති කරනවා. තරගයෙන් පසු මාගේ බේකරිය වෙනදාට වඩා කාර්යබහුල වෙලා තියෙනවා. බැගෙත් පාන් මිලදී ගැනීමට මිනිසුන් බේකරිය ඉදිරිපිට පෝලිම් ගැසී සිටිනවා.” 

මෙම ජයග්‍රහණය සමඟ ඔහුට යූරෝ 4000 ක මුදල් ත්‍යාගයක් හිමි වූයේය. එසේම වසරක කාලයක් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ එලිසි ජනපති මැදුරට බෑගෙත් පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුවද ඔහුට හිමිවීම සුවිශේෂී කරුණකි.
වාර්ෂිකව පැරිසිය විසින් සංවිධානය කරනු ලබන පැරිස් නුවර හොඳම පාන් නිෂ්පාදකයා තේරීමේ මෙම තරගයෙන් 2010 වසරේදී තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට වරම් ලබා ඇත්තේ සයිබ්‍රොන් නම් ජපන් ජාතික පාන් බේකරි හිමියෙකි. ඔහුටත් එදා ප්‍රංශ ජනපති මැදුරට පාන් සැපයීමේ අවස්ථාව හිමිවිය. අද එය ලාංකික තරුණයකුට හිමි වූ සුවිශේෂී වරමකි. එසේම එය ලංකාව වැනි රටකට ඉමහත් ආඩම්බරයකි.

ක්‍රි.ව 1789 දී ප්‍රංශයේ පාන් මිල ඉහළ දැමීම හේතුවෙන් රටවැසියෝ රජමැදුර වට කරමින් විරෝධතා පැවැත්වූහ. එකල රට පාලනය කළේ 16 වැනි ලුවී රජු වන අතර විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වූයේ පාන් මිල අඩු කරන ලෙසය. එයට පිළිතුරු දුන් ලුවී රජුගේ අගබිසව වූ මාරි ඇන්ටොනොයිට් රටවැසියන්ට කීවේ පාන් නැත්නම් කේක් කාපල්ලා කියාය. මාරාවේශ වූ කැරුලිකරුවන්ගේ විරෝධය හමුවේ නිර්දන පාන්තික දරිද්‍රතාව වටහා ගැනීමට නොහැකි වූ රජ බිසවට සිය අවසන් ගමන් යන්නට සිදුවූයේ එම ප්‍රකාශයෙනි. ජනතාවට කේක් කන්න කියූවාට අදටත් ප්‍රංශ ජනපති මැදුරට පාන් මිලදී ගනී. රටවැසියන්ගේ පමණක් නොව ප්‍රංශ ජනපතිගේත් ප්‍රියතම ආහාරයක් ලෙස පාන් එරට ප්‍රචලිතය.

I සසංක චලන ගිම්හාන
ඡායාරූප අන්තර්ජාලයෙනි