2023 මැයි 14 වන ඉරිදා

රටම කැළඹූ කළුතර දැරියගේ මරණය

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 402

මචං පොඩි සෙටිං එකක් තියෙනවා... කෙල්ලකුත් ඉන්නවා... අපිට පොඩි චූන් එකක් ගන්න පුළුවන්. මොකද කියන්නේ සෙට් වෙමුද?

කළුතර ලැගුම්හලක පස්වැනි මහලින් බිමට වැටී අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වන ප්‍රධාන සැකකරුගේ පාපොච්ඡාරණය තුළ මේ කතාව කියා තිබේ.

ඔහු පවසන්නේ මේ චූන් ගන්නා කතාව ඔහුගේ මිතුරකු විසින් දුරකතනයෙන් කී බවය. ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නට මත්තෙන් මේ බව ප්‍රකාශ කළා යැයි කියන තරුණයා, ඔහුගේ පෙම්වතිය හා තවත් හිතවතකු ඇතුළු තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ප්‍රධාන සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර තිබුණේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලක් මතින් පැන හෝ වැටීම නිසා මියගොස් ඇත්තේ කළුතර ජනප්‍රිය බාලිකා පාසලක 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ටිහාරා නිර්මාණි නැමැති 16 හැවිරිදි සිසුවියකි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානමින් සිටි දැරියකි. ඇය කළුතර නාගොඩ රෝහල ආසන්නයේ පදිංචිකාරියක් වූ අතර පවුලේ මව, පියා සහ වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක්ද වෙති.

කළුතර නගරයේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබූ ඇයට පාසලේ මිතුරු මිතුරියන්ට වඩා ළෙංගතු මිතුරියක ගමේ අසල්වැසි නිවෙසක සිටියාය. ටිහාරාට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමහල් ඈ පබාරා මාවින්දි නැමැත්තියකි. පාසල් අධ්‍යාපනය අතරමග අතහැර දැමූ ඇය තරමක් සංකර තරුණියක නිසා ටිහාරාගේ මව්පියන් ඇය පබාරා ඇසුරු කරනවාට කැමැත්තක් දැක්වූයේ නැත. ඒ හේතුවෙන් ටිහාරාගේ මව අවස්ථා කිහිපයකදීම දියණියට අවවාද කොට තිබිණ. එහෙත් දැරිය එම ඇසුර නැවැත්වූ බවක් පෙනෙන්නට නොවීය.

පසුගිය 6 වැනිදා වෙසක් පුර පසළොස්වක පෝයට පසු දිනයයි. තැන තැන පැවැත්වූ වෙසක් දන්සල් අතර මියගිය ටිහාරා නිර්මාණිගේ නිවෙස ආසන්නයේ පැවැති බත් දන්සලකි. ටිහාරා එහි ගොස් උදව් කරමින් සිට තිබුණේ මිතුරිය පබාරා සමඟිනි. 
පබාරාගේ පෙම්වතා වූයේ ඉෂාන් තිනුර ද සිල්වා ය. ඔහු දුරකථන ඇමතුමක් දෙමින් ''මචං පොඩි සෙටිං එකක් තියෙනවා.. කෙල්ලකුත් ඉන්නවා.. අපිට පොඩි චූන් එකක් ගන්න පුළුවන්..'' යැයි කියා තිබුණේ ගයාන් ධනුෂ්ක සහබන්දු නැමැති මිත්‍රයාටය. ඔහු ඒ වන විටත් අසනීප තත්ත්වයක් නිසා ප්‍රතිකාර ගැනීමට පෞද්ගලික රෝහලක් වෙත ගොස් සිට ඇතැයි කියති.

ඒ පසුගිය 6 වැනිදා උදේ වරුවේ මොහොතකි. තවත් හෝරාවක් දෙකක් ඇතුළත ගයාන් පැමිණි මෝටර් රථයට ඉෂාන් මගදී ගොඩවිය. පසුව දෙදෙනාම නාගොඩ රෝහල දෙසට ගොස් ඇතැයි කියති. අනතුරුව ඉෂාන් විසින් සිය පෙම්වතියට දුරකතන ඇමතුමක් ලබා දී තිබිණි. ඒ අනුව පබාරා නැමැත්තිය මෝටර් රථය අසලට පැමිණ තිබුණේ ටිහාරා සමඟිනි. දෙදෙනාම මොහොතකට මෝටර් රථයට නැගී ටික දුරක් ගොස් ඇතැයි කියති. එහිදී මෝටර් රථයේ තිබූ මත්පැන් බෝතලයක් දැක ''මරු මරු.. අපිට අද හොඳ චූන් එකක් ගන්න පුළුවන්'' යැයි පබාරා නැමැත්තිය කී බවද පැවසේ. කෙසේ නමුත් සුළු මොහොතකින් රියෙන් බැසගත් තරුණියන් දෙන්නා ''අපි ගෙදරට කියලා එන්නම්. හවස සෙට් වෙමු..'' කියා සමුගත් බව කියැවෙන්නේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ගයාන් නැමැත්තාගේ ප්‍රකාශයක් අනුවය. එසේ මිතුරියන් දෙන්නා සමුගෙන තිබුණේ පස්වරු 3 ට පමණ බවද පවසා තිබේ. ඉන් පසුව පබාරාගේ මිතුරියක හමුවී ඇති බවත් තවත් පැය තුනකට පමණ පසුව පබාරාගේ පෙම්වතා ලබාදුන් දුරකතන ඇමතුමකට පසුව මිතුරියන් දෙදෙනා නැවත පැමිණ මෝටර් රථයට නැගුණු බවත් කියති. අනතුරුව මෝටර් රථය පදවා තිබුණේ කළුතර නගරයේ පිහිටි ලැගුම්හලක් වෙතය. මෝටර් රථය පදවාගෙන ගිය ගයාන් නැමැත්තා මිතුරා හා තරුණියන් දෙදෙනා හෝටලයට ඇතුළු වන අවස්ථාවේ තරුණයන් දෙන්නා මුඛ ආවරණ පැළඳ සිට ඇත. ඒ මොහොතේ ජාතික හැඳුනුම්පත් 4ක් ලැගුම්හල භාරයේ තබා ඔවුන් විසින් කාමර දෙකක් වෙන් කරවාගෙන තිබුණි. ඒ අනුව සිව්දෙනා ලැගුම්හලේ ඉහළම මාලය තුළ පිහිටි කාමර දෙකක් බලා ගොස් ඇතැයි පැවසේ.

ඉහළ මාලයේ කුඩා කාමරයෙන් ඈත පෙනෙන්නේ මහ මුහුදය. ගොඩනැගිල්ල පාමුල ඇත්තේ මුහුදුබඩ දුම්රිය මාර්ගයයි. එහි ගිය මොහොතේ පටන් සිව්දෙනාම මත්පැන් තොලගා තිබුණේ කටගැස්මවල රස බලමිනි. ටික වෙලාවකට පසුව ටිහාරා ගයාන් සමඟ කාමරයේ සිටියදී පබාරා සිය පෙම්වතා සමඟින් එතැනින් පිටව ගොස් තිබුණි.

එහිදී ගයාන් හා ටිහාරා විනෝද වෙමින් සිටින අතරතුර ටිහාරා නිරුවතින් නර්තනයේ යෙදුණු බවත් ඒ අවස්ථාවේ ගයාන් තුවායක් ඇඳගෙන ඇඳේ සිටි බවත්, ඒ මොහොතේ ටිහාරාගේ ජංගම දුරකතනයට පැමිණි ඇමතුමක් සමඟ කලබලයට පත්වූ ටිහාරා කාමරයේ ඒ මේ අත ඇවිද යන අතරතුර ප්‍රතිචාර දක්වමින් ''කැත වැඩ කරන්න එපා යකෝ.. තෝ මාව කෑවා'' යනුවෙන් ඇමතුම දුන් කෙනාට බැණ වැදී ඇති බවත් කියති. මේ බව හෙළි කර ඇත්තේ සිද්ධියේ ප්‍රධාන සැකකරු විසින් සිදු කළ පාපොච්ඡාරණයකදීය.

''කලබල වෙලා හිටපු ටිහාරා ජනේලය ළඟ තිබුණු පුටුවට නැග්ගා. එකපාරටම ජනේලය හැර දමා එතැනින් බිමට පැන්නා. මම ඇඳේ ඉඳගෙන හිටි නිසා නවත්වා ගන්න වෙලාවක් තිබුණෙ නෑ. මම සිද්ධිය යාළුවට කෝල් කරලා කිව්වා. එතකොට ඒ දෙන්නා හිටියේ හෝටලයෙන් පිටට ගිහින්. එයාල කාමරයට යනවා කීවාට අපිට නොකියා එළියට ගිහිල්ලා. එයාලට ඉක්මනට එන්න කියලා මම ටිහාරා ගැන නොබලාම එතැනින් ගියා. ටිහාරාට කෝල් කළේ කවුද දන්නේ නෑ. කෝල් එක නිකම් බ්ලැක්මේල් කරන්න දීපු එකක් වගේ..'' යනුවෙන් සැකකරු වැඩිදුරටත් පොලිසිය හමුවේ කියා ඇති බව වාර්තා වේ.

පසුව ටෙහාරාගේ මිතුරිය පබාරා හා පෙම්වතිය පැමිණ රේල් පාරේ නිරුවතින් වැටී සිටි ටිහාරා එතැනින් මඳ දුරක් ඇදගෙන ගොස් අත්හැර දමා පලා ගොස් තිබුණි. පසුව ඒ පිළිබඳව හෝටලයේ කළමනාකරු දැනගෙන 1990 ගිලන් රථයක් කැඳවා ඇත. ඔවුන් සිරුර දැක ඇය මියගොස් ඇති බව පවසා ගොස් තිබුණු අතර පසුව සිද්ධිය පොලිසියට දන්වා තිබුණි. ඒ අනුව කළුතර මූලස්ථාන පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ විමර්ශන අරඹා සිද්ධියට සැකකාර පලා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ දින දෙකකට පසුවය. ඒ ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ සැඟවී සිටියදී උපාය දූතයකු යොදවා කළ මෙහෙයුමක් අතරතුරදීය.

ප්‍රධාන සැකකරු ගයාන් ධනුෂ්ක සහබන්දු (29) නැමැත්තා ප්‍රධාන පෙළේ ලීසිං සමාගමක සීසර්වරයකු වශයෙන් කටයුතු කරන්නෙකි. විවාහ වී දරුවන් දෙදෙනකු සිටින ඔහු නීත්‍යානුකූල විවාහයෙන් වෙන් නොවී තවත් කාන්තාවක සමඟ කළුතර ප්‍රදේශයේ ජීවත් වන බව වාර්තා වේ. ඒ අතර මෙවැනි තරුණියන් ඇසුරු කරන බව කියැවේ.

පාපොච්ඡාරණයේ කියන පරිදි මියගිය ටිහාරාට අවසන් වරට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ කවුද? ඒ බව තවම තහවුරු වී නැත. ටිහාරාගේ දුරකථනය ඇගේ මිතුරිය පබාරා හා පෙම්වතා විසින් ගඟට විසි කළ බව හෙළි කර තිබෙන බැවින් පොලිසිය සැක කරන්නේ ටිහාරා බ්ලැක්මේල් කර යම් වාසියක් ලබාගැනීමේ අරමුණෙන් පබාරා හා පෙම්වතා එක්ව ඇමතුම ලබා දෙන්නට ඇති බවට සැක කරන බවය. මේ අතර ටිහාරාට ලැගුම්හල වෙත යාමට ජාතික හැඳුනුම්පතක් ලබාදුන් තරුණියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය.

ටිහාරාගේ මරණය පිළිබඳව නොයෙක් කතා අසන්නට ලැබෙන අතර ප්‍රදේශයේ හිමිනමක විසින් සමාජ මාධ්‍යයට එක්කර තිබුණේ සැකකාර මෝටර් රථය නාගොඩ ප්‍රදේශයේ ඉකුත් 6 වැනිදා නවතා තිබූ බවට සාක්ෂි සමඟිනි. එහි වැඩිදුරටත් දක්වා තිබුණේ සැකකාර මෝටර් රථයේ සිටි අය විසින් හිමිනමට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවය.

මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ මියගිය තරුණිය එදින දූෂණය කිරීමකට ලක්ව නැති බවය. ප්‍රධාන සැකකරුගේ ප්‍රකාශ හා සෙසු සැකකරුවන්ගේ ඇතැම් ප්‍රකාශ අතර යම් පරස්පර බවක් දකින්නට ලැබෙන බවට පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ නිසා පොලිසියේ මූලික අරමුණ වන්නේ ටිහාරා නිර්මාණිගේ මරණය මිනීමැරුමක්ද සියදිවි නසාගැනීමක්ද යන්න තහවුරු කර ගැනීමය.

තරුණිය හෝටල් කාමරයෙන් පැන්න බව කීවද එය තහවුරු කිරීමට සාක්ෂියක් නොමැත. ඒ පිළිබඳ මරණය පිළිබඳ ඇත්තේ තවමත් සැකයකි. සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් කළුතර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා ඇතුළු පිරිසක් සිදු කරති.

පබාරයි කොල්ලයි තව කෙනකුයි මගේ දරුවා බැඳපු කෙනකුට පූජා කරලා

අබිරහස් ලෙස මරණයට පත්වූ ටිහාරා දැරියගේ මව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යයි. එහි පැමිණෙන දරු දැරියන්ද මවක මෙන් බලාගන්නා ඇය පවසන්නේ සිය දියණිය වරදක් නොකළ බවය.

''මගේ දරුවා වැරදි නෑ. මගේ දුවට ප්‍රේම සම්බන්ධයක් තිබුණෙ නෑ. මමත් මෙතන ආයතනයක් පවත්වාගෙන යන අම්මා කෙනෙක්. ඒ දරුවන්ටත් මම අම්මා කෙනෙක්. එහෙම අම්මාට තමයි මේ අසාධාරණය වුණේ. මගේ දුවට එදා රූ පන්තියකුත් තිබුණා. එහෙම තියෙද්දි පබාරා ඇවිත් දුව එක්ක ගියේ. මම කියලා තිබුණේ පබාරා ආශ්‍රය කරන්න එපා කියලා. නමුත් මගේ දුවගේ ඉල්ලීම නිසා පව් කියලා කීවේ. ඉක්මනට ගිහින් එනවා කියලයි ගියේ. පබාරාට මම කලින් කියලා තිබුණා දුවත් එක්ක යන්න එන්න එපා. එයාට ඉගෙන ගන්න තියෙනවා කියලා. එදා පබාරා කීවා අදට විතරයි ඇන්ටි මම අදින් පස්සෙ එන්නෙ නෑ කියලා. පබාරා මගේ දරුවා එක්ක ගිහින් තියෙන්නෙ එයාගේ කොල්ලා බලන්න. දරුවා එන්න පරක්කු නිසා මම කෝල් කළා. එතකොට කීවේ අපි දන්සලේ ඉන්නවා කියලයි. ඊටපස්සෙ ෆෝන් එක වැඩ කළෙත් නෑ. ඒ නිසා මම කියන්නේ එතන ලොකු සැලසුමක් තිබිලා තියෙනවා. පබාරායි කොල්ලයි තව කෙනකුයි තමා සේරම කරලා තියෙන්නේ. මගේ දරුවා බැඳපු මිනිහකුට පූජා කරන්න ගිහින් තියෙන්නේ. මේ අයට නිසි දඬුවම දෙන්න ඕනෑ.''

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර