2023 මැයි 14 වන ඉරිදා

ජනපති සමාවේ ඉතිහාසය

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 307

ඉංග්‍රීසි ආණ්ඩු පාලන සමයේ ගාලු නගරයට සේන්දු වූ පංචතූර්ය නාද සහිත පූජා භාණ්ඩ පෙරහරක් සංවිධානය කිරීමේ වරදට බුලත්ගම ධම්මාලංකාර නාහිමියන් වරදකරු කරමින් එකල ආණ්ඩුව රුපියල් හැත්තෑවක දඩයක් නියම කළේය. 

බුලත්ගම හිමි අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් මහපාරේ සවුදම් නටමින් විරෝධතා කවි ගායනා කරමින් මහජන කෝලාහල ඇතිකිරීමේ වරදට බද්දේගම ගිරංචියාද පොලිසිය විසින් කුදලාගෙන යනු ලැබීය. එකල සියම් රජ වූ චූලාලංකාර රජ විසින් වික්ටෝරියා මහ රැජිණට මෙම සිදුවීම සැලකරනු ලැබීමෙන් බුලත්ගම හිමියන් එම වරදින් නිදහස් කර උන්වහන්සේට රාජ්‍ය සමාව ලබා දී ඇති බව ඉතිහාසයේ සඳහන්ය. බද්දේගම ගිරංචියා මුල් වී මේ කළ අරගලය බද්දේගම වාදයේ ආරම්භය බවද කියැවේ.

සෑම වසරකම නිදහස් දිනයට සහ වෙසක් පෝය දින සිරකරුවන්ට පොදු සමාව හිමිවෙයි. සිරකරුවන්ට සමාව පිරිනැමීම යන සම්ප්‍රදාය පැවත එන්නේ යටත් විජිත කාලයේ සිටය. එදා මෙය මහ රුජනගේ සමාවය. ඉන්පසු සෝල්බරි සහ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ අග්‍රාණ්ඩුකාරවරයාගේ සමාව වූ අතර 1978 ව්‍යවස්ථාව අනුව වර්තමානයේ මෙය කොයි කවුරුත් හඳුනන්නේ ජනාධිපති සමාව යන නමිනි. ජනාධිපතිවරයාට මෙවැනි සුවිශේෂී බලයක් හිමි වී තිබෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වැනි අනු වගන්තියට අනුවය. ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයක් මගින් ඕනෑම වරදකට වරදකරුවකු කර දඬුවම් විඳින ඕනෑම පුද්ගලයකු කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන බව ව්‍යවස්ථාවේ සඳහන් වෙයි. එම බලය යටතේ මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 988 කට ජනාධිපති පොදු සමාව හිමි විය. සුළු වැරැදිවලට සිර දඩුවම් විඳින්නන්ට, දඩ ගෙවා ගැනීමට නොහැකිව සිරදඬුවම් විඳිමින් යහපත් කල් ක්‍රියාවෙන් පසුවූවන් පිරිසකටද මෙම ජනාධිපති සමාව හිමි වී ඇත්තේය. එහෙයින් ජනාධිපති සමාව යනු සමාජ සාධාරණත්වය උදෙසා  ක්‍රියාත්මක කිරීමට ජනපතිට හිමි වී ඇති නෛතික බලයක් බව නීති විශාරදයෝ පවසති.

දෙවැනි ලෝක යුද්ධයේ ජර්මානු හමුදා‍වේ රහස් පණිවිඩ හුවමාරු ක්‍රමය හඳුනා ගැනීමට නොහැකිවීම අන් රටවලට මහත් ප්‍රශ්නයක් වී තිබුණි. ජර්මානු හමුදාවේ රහස් පණිවුඩ ක්‍රමය කෙසේ හෝ හඳුනාගැනීමට මහා බ්‍රිතාන්‍යයට අවශ්‍ය විය. ඒ සඳහා ඔවුන් 1939 දී හට් 8 නම් කණ්ඩායමක් පිහිටුවීය. එනිග්මා නම් ජර්මානු යන්ත්‍රයේ කේත ක්‍රමය හඳුනා ගැනීමට යෙදවූ මෙම කණ්ඩායමේ එක් සුවිශේෂී චරිතයක් වූයේ ඇලන් ටියුලින් නම් පරිගණක විද්‍යාඥවරයෙකි. නොබෝ දිනකින්ම ජර්මානු යන්ත්‍රය බිඳලීමට සමත් මූලික කේත ක්‍රමය හඳුනාගැනීමට ටියුලින් සමත් වූයේය. ඔහු නිර්මාණය කළ බොම්බේ නම් යන්ත්‍රය මගින් මිලියන 14ක ජීවිත බේරුණු අතර දෙවැනි ලෝක යුද්ධය වසර 2 කින් කෙටි වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි. එසේ අනුපමේය සේවයක් කළ ඔහු ලිංගික චෝදනාවකට වරදකරු කරමින් සිරගත කරනු ලැබූ අතර ඔහුට සමාව දෙන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් විසින් ජනතා අත්සන් 30000ක යෝජනාවක් ගෙන එනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවැනි එළිසබෙත් මහ රුජණ ඇලන් ටියුලින්ට කොන්දේසි විරහිත රාජකීය සමාව දෙනු ලැබීය. ඒ මහ රුජණගේ සමාවය.

මිනීමැරුම් චෝදනා 6 කට වරදකරු වූ හිතුමතේ ජීවිතේ යන ආරෑඪ නමින් හැඳින්වූ බී.ඩී. සුමතිපාල 1975 වසරේදී බෝගම්බර බන්ධනාගාරයේදී එල්ලා මැරීමට නියම වූ අවස්ථාවේදී අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලවගේ නියෝගයකින් ඔහුට නිදහස ලැබුණේය. ඒ කෙස් ගහේ වෙලාවකිනි.  අධිකරණයකින් වරදකරු වූවකු පෝරකයකට නියම කිරීමට සම්මත වේලාවක් ඇත්තේය. යමෙක් පෝරකයට නියම කරනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව විවෘතව තැබීම සම්ප්‍රදායක් වන්නේය. එයට හේතුව වන්නේ වැරුදිකරු එල්ලා මැරීමට පෙර කවුරුන් හෝ විශේෂිත වූ රාජ ආඥාවක් හෝ විශේෂ පණිවුඩයක් රුගෙන එන්නේ නම් ඔහුට අපහසුවකින් තොරව බන්ධනාගාරයට පැමිණීමට හැකිවීමටය. අග්‍රාණ්ඩුකාරවරයාගේ එවක සිටි ලේකම් ලියැවිල්ලක් රුගෙන විත් බන්ධනාගාර අධිකාරිවරයා අත තබන මොහොත වනවිට වේලාව පෙරවරු 8 පසුවී මිනිත්තු 2 ක් ගත වී ඇති අතර එම අවස්ථාවේදීත් සුමතිපාල හමුවේ අලුගෝසුවා ලීවරය ඇදගෙන සිටි ඇත්තේය. විලියම් ගොපල්ලව එවූ අග්‍රාණ්ඩුකාර සමාවට අදාළ ලියැවිල්ලට අනුව හිතුමතේ ජීවිතේට සමාව හිමිවිය. ගෙලට තොණ්ඩුව වැටුණු පසුවත් ජීවත් වීමේ වරම් ලැබූ එකම පුද්ගලයා ඔහු වන්නට පුළුවන.

එසේ නිදහස ලැබූවන් අතර සිටි ගෝනවල සුනිල් නමින් හැඳින්වුණු සුනිල් පෙරේරාය. ඔහු අපරාධයකට වරදකරු වී සිරගතව සිටිය දී ජනාධිපති සමාව යටතේ නිදහස් වූයේය. එලෙසම ඔහු මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විශ්චයකාරවරයකු ලෙස පත්වීමත් සමඟ එම සිද්ධිය සමාජයේ දැඩි විවේචනයට ලක්විය. 

එසේම සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව ඝාතනය කළ චෝදනාවට වරදකරු වී මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නමැති කාන්තාවට 2009 දී ජනාධිපති සමාව හිමිවිය. ඒ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේය. මරණ දඬුවම පෙනි පෙනී තමන්ගේ නිවෙසට පැමිණ නැවත පදිංචි වන්නට තරම් වරම් ලැබූ ඇය හිටපු කැබිනට් අමාත්‍යවරයකුගේ නීත්‍යනුකූල බිරිඳය.

එසේම ඌවතැන්නේ සුමන හිමි, ගලගොඩඅත්තේ ඥානසාර හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක, නැක්සලයිට් චෝදනාව යටතේ සිරගත කෙරුණු විජය කුමාරතුංග, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර, හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, වත්තල ප්‍රාදේශීය සභාපතිවරයකු, ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න, දුමින්ද සිල්වා ආදී විශාල පිරිසකට මේ වනවිට ඒ ඒ කාලවල හිටපු ජනපතිවරුන් විසින් ජනපති සමාව පිරිනමනු ලැබ ඇත. මේ ආකාරයට 1978 ව්‍යවස්ථාවේ පටන් ලිඛිතවම පැවත ආ ජනාධිපති සමාව අනාගත ජනාධිපතිවරුන් පවා සමාජ සාධාරණත්වය උදෙසා භාවිත කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

I සසංක චලන ගිම්හාන