මුද්‍රිත මාධ්‍යකරණය උදෙසා පිරිනැමෙන ලොව ඉහළ ම ත්‍යාගයක් ලෙස සැලකෙන පුලිට්සර් ත්‍යාගයේ (The Pulitzer Prize) උණුසුම් පුවත් කාණ්ඩයේ (Breaking News) දෙවැනි ස්ථානය සමව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු වන එරංග ජයවර්ධන සමත් වී තිබේ.
ඔහු Associated Press (AP) ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් පුවත් ආවරණයේ යෙදී සිටී.
පුලිට්සර් ත්‍යාගය යනු කුමක් ද?
මුද්‍රිත මාධ්‍යකරණය, සාහිත්‍යය සහ සංගීත සංයෝජන වෙනුවෙන් පිරිනැමෙන ලොව වඩා ත් ගෞරවණීය ත්‍යාගයක් ලෙස සැලකෙන පුලිට්සර් ත්‍යාගය ආරම්භ වූයේ, 1917 වසරේදී ය. ඒ,ඇමෙරිකාවේ ගෞරවණීය පුවත්පත් ප්‍රකාශකයකු සහ මාධ්‍යවේදියකු වූ ජෝසෆ් පුලිට්සර්ගේ ප්‍රතිපාදනවලිනි. එමගින්, කාණ්ඩ 21ක් යටතේ මුද්‍රිත මාධ්‍යකරණය, සාහිත්‍යය සහ සංගීත සංයෝජන ක්ෂේත්රවල විශිෂ්ටයින් සඳහා වාර්ෂිකව ත්‍යාග පිරිනමයි. අදාළ එක් ත්‍යාගයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 15,000කි.
''ත්‍යාගය ලැබුණේ මට නොවෙයි''
''2023 වසරේ පුලිට්සර් ත්‍යාගය ශ්‍රී ලංකාවේ එරංග ජයවර්ධනට හිමි වී ඇති'' බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ වී තිබේ. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය එරංග ජයවර්ධනගෙන් විමසීමක් කළේ ය. ''ඇත්තටම ඒ තෑග්ග මට ලැබුණෙ නෑ. මම ඒ ත්‍යාගයේ දෙවැනි ස්ථානය විදිහට සලකන්න පුළුවන් නිර්දේශිත නාම අතර අවසන් කිහිප දෙනා අතර කෙනෙක්,'' එරංග ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.
එරංග ජයවර්ධන ගෞරවයට පාත්‍ර වූ උණුසුම් පුවත් කාණ්ඩයේ ත්‍යාග ලාභියා ලෙස නම් කර ඇත්තේ, ඔහු සේවය කරන ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේම ඡායාරූප කාර්ය මණ්ඩලය ඉදිරිපත් කළ ඡායාරූප ගොන්නකි. ඒවා යුක්රේන යුද්ධයේ පළමු සතියේදී සිදුවූ පහරදීම් හේතුවෙන් ජනතාව පීඩාවට පත්වූ ආකාරය දැක්වෙන ඡායාරූප වේ.
දෙවැනි ස්ථානය (FINALISTS) සඳහා ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ එරංග ජයවර්ධන සහ ඉන්දියාවේ රෆීක් මක්බූල් නම්කර ඇත.
පළමු ස්ථානය හිමි නොවුව ද, පුලිට්සර් ත්‍යාගයේ දෙවැනි ජයග්‍රාහකයා වීම පිළිබඳව සතුටට පත් වන බව ඔහු පැවසීය.
මේ පිළිබඳව අපි එරංග ජයවර්ධනගෙන් අදහස් විමසීමු.
''මේ ත්‍යාගයට ඉල්ලුම් කළේ මම නෙවෙයි. ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය තමයි අපේ ඡායාරූප ඒ සඳහා යොමු කළේ. ඒ හරහා තමයි මට මේ අවස්ථාව හිමි වුණේ. අපි පැකේජ් එකක් ඉදිරිපත් කළා. ඒ පැකේජ් එකේ ඡායාරූප මගේ සහ රෆීක්ගේ,'' එරංග ජයවර්ධන පැහැදිලි කළේය.
අරගලය වාර්තාකරණය
පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඉදිරිපත් කර තිබුණේ, එරංග ජයවර්ධන විසින් ඡායාරූපගත කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු අර්බුදකාරී සිද්ධි සහිත ඡායාරූප කිහිපයකි.
ඒ අතර, අරගලකරුවන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම්, රජයේ ගොඩනැගිලි විරෝධතාකරුවන් අත්පත් කර ගැනීම් සහ විශේෂයෙන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීම වැනි අවස්ථාවලදී ගත් ඡායාරූප විය.
එරංග ජයවර්ධන යනු ඡායාරූපකරණය වෙනුවෙන් කැපවුණු පරම්පරාගත පවුලක එක් පුරුකකි. ''මගේ සීයා වින්සන්ට් ජයවර්ධන. එයා ඡායාරූප ශිල්පියෙක්. ඡායාරූප මුද්‍රණ ශිල්පියෙක්. ලේක්හවුස් එකේත් වැඩකළා. මගේ තාත්තා තිලකරත්න ජයවර්ධනත් ඡායාරූප ශිල්පියෙක් විදිහට වැඩ කළා. එයා කොළඹ නගර සභාවේ නගරාධිපතිගේ නිල ඡායාරූප ශිල්පියා විදිහට අවුරුදු 30ක් විතර වැඩකළා. ඒ නිසා ඡායාරූපකරණය කියන දේ මට ගෙදරින්ම අභාසයක් ලැබුණා.
කොළඹ, නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු පුවත්පත් ඡායාරූපකරණයට පිවිස ඇත්තේ, පාසල් වියේදීමය. ''මම මුලින්ම පත්තරයකට සම්බන්ධ වුණේ, සාමාන්‍ය පෙළ විභාගය ලියලා ප්‍රතිඵල එනකම් බලා සිටිය කාලයේ. මුලින්ම වැඩකළේ, උපාලි පුවත්පත් සමාගමේ නවලිය පත්තරේට,'' එරංග පැවසීය.
පසුව ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඡායාරූපකරණය පිළිබඳව හදාරා උපාලි පුවත්පත් සමාගමට සම්බන්ධ වී වසර ගණනක් සේවය කර තිබේ.
''මේ වෙලාවේ එක දෙයක් මතක් කළ යුතුමයි. මට වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙක් විදිහට ගොඩනැගෙන්න ලොකු ශක්තියක් වුණේ, උපාලි පුවත්පත් සමාගමේ විධායක අධ්යක්ෂ නිමල් වෙල්ගම මහතායි. ඔහු මට නවීන කැමරා සහ උපකරණ ගෙනත් දුන්නා. ඒවායින් මම ගොඩක් දේ ඉගෙන ගත්තා.''
ඔහු ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයට සම්බන්ධ වී ඇත්තේ, 2002 වසරේදීය. එම ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් ආවරණය කිරීමේ වගකීම ඔහු මත පැවරී තිබේ.
BBC News ඇසුරිනි