
සංවර්ධනය වෙමින් සිටින රටවල් අතර ඉදිරියෙන්ම සිටි ශ‍්‍රී ලංකාව අද වනවිට බරපතළ අර්බුද ගණනාවකින් අත්මිදීම සඳහා ප‍්‍රයත්න දරන රටක් දක්වා පරිවර්තනය වී ඇති අතර සෞභාග්‍යය කරා ශ‍්‍රී ලංකාව මෙහෙයවීමට පැවති රජයන් අසමත් වී ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්තාව සඳහන් කරයි. නිදහසින් පසු ගතවූ කාලය තුළ සංවර්ධනය අරමුණු කරගෙන සෑහෙන ක‍්‍රියාමාර්ග ගනු ලැබූ නමුත් ශක්තිමත් සහ ස්ථාවර ජාතික ප‍්‍රතිපත්ති රාමුවක් නොමැතිකම හේතුවෙන් රට අඩාල වී ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස සාර්ව ආර්ථික ක‍්‍රියාකාරීත්වය දුර්වල වීම, සනිටුහන් වී ඇති බව පෙන්වා දෙයි.
දීර්ඝ කාලයක සිට බලපවත්වන ආර්ථික හා සමාජයීය ගැටලු නිරාකරණය කරගැනීම සඳහා රජයේ කැපවීම අත්‍යවශ්‍ය වන අතර, දේශපාලන වැඩපිළිවෙළ හා එය අනුකූල වන බවට සහතික විය හැකි බව මහ බැංකු වාර්තාව දක්වයි. දීර්ඝ කාලයක සිට ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රමාද වූ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවට නැංවීම සඳහා ශ‍්‍රී ලංකාවේ අධිෂ්ඨානය සහ කැපවීම, ආර්ථිකයේ දිශානතිය හැඩගැස්වීමේ ප‍්‍රධාන සාධකයක් වනු ඇති බව සඳහන් කරන අතර මූල්‍ය අරමුදලේ උපාය මාර්ග හැර අනෙක් විකල්පයක් දක්වන්නට මහ බැංකුවේ විශේෂඥයන්ද අසමත්ව සිටීම විශේෂ ලක්ෂණයකි.
• සංකෝචනය වූ ආර්ථිකයේ බලපෑම
2022 වසරේදී ශ‍්‍රී ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ ඇති වූ දරුණුතම අර්බුදයට මුහුණ පා තිබේ. එනම් ආර්ථිකය සියයට 7.8 කින් සංකෝචනය වූ බව මහ බැංකු වාර්තාව නිල වශයෙන් පිළිගෙන ඇත. දේශීය හා විදේශීය වශයෙන් මුහුණ දෙන්නට සිදු වූ පෙර නොවූ විරෑ අභියෝග අභියෝග හමුවේ ඇතිකරන ලද බලපෑම් හේතුකොටගෙන, එහි පීඩාව සාමාන්‍ය ජනතාවට සහ කර්මාන්ත හා ව්‍යාපාරවලට විශාල වශයෙන් දැරීමට සිදු වූ බව මහ බැංකු වාර්තාව දක්වයි.
අර්බුදකාරී තත්ත්වයෙන් ගැලවීම සඳහා ව්‍යුහාත්මක වෙනස්කම් කළ යුතු බව නිර්දේශ කරන මහ බැංකුව පසුගිය දශක හත හමාරකට වඩා වැඩි කාලයක් ආර්ථිකයේ මුල් බැස ගත් ගැටලු විසඳීම සඳහා අත්‍යවශ්‍ය වන ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමට රජය, මහ බැංකුව සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සහාය ලබා නොදුනහොත් යළිත් සංකීර්ණතා ඇති විය හැකි බවට අනතුරු අඟවයි. මහ බැංකුවට වගකීමක් ඇති බව පිළිගෙන තිබීම විශේෂය. මෙහිදී අනෙකුත් පාර්ශ්වයන් යනුවෙන් දක්වන්නේ කවුද යන්න පැහැදිලි කරගත යුතුව ඇත. විපක්ෂය, විපක්ෂ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට අවහිර කරන පාර්ශ්ව බව පෙනේ.
අනතුර තවමත් පහව නැත. තාවකාලිකව ලැබුණ ලිහිල්භාවය මහජනතාවට සහන ලැබෙන සේ බෙදාහරිමින් සිටින නමුත් ඇත්ත වශයෙන්ම එය සංවර්ධනයේ ප‍්‍රතිලාභයක් නොවේ. මහ බැංකු වාර්තාවද එය අඟවන අතර ඉක්මනින් කාලෝචිත ලෙස ක‍්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරයි.
නිදහසින් පසු ඉතිහාසයේ වඩාත් අසීරු කාල පරිච්ඡේදය සඳහා 2022 වසරේදී මුහුණ දී ඇති අතර පැවැති දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මහජන නොසන්සුන්වීම් සහ දේශපාලන කැළඹීම් ඇති වූ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව දක්වයි. ආර්ථිකය පවතින ස්වභාවය වටහා නොගෙන කරන ලද බදු අඩු කිරීම් සහ කාබනික කෘෂිකර්මාන්තය වෙත යොමුවීමට ගනු ලැබූ ක‍්‍රියාමාර්ග ආදායම හා නිෂ්පාදනය ඉදිරියේ ප‍්‍රශ්න ඇතිකරන ලද බව පෙන්වා දෙන මහ බැංකු වාර්තාව ආර්ථිකය වේගය අඩුවීම, රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාව, රාජ්‍ය ණය තිරසාර නොවන මට්ටම් කරා පැමිණීම සහ උද්ධමනය හා ඔස්සේ ව්‍යාපාර මෙන්ම සාමාන්‍ය ජනතාවද එක සේ දැඩි පීඩාවට පත් වූ බව සඳහන් කරයි.
• පාඩමක් ඉගෙන ගන්නේ නැති රටක්
ඉතිහාසය පුරා ආර්ථික අර්බුද නැවත නැවතත් අත්විඳ ඇති නමුත් රටක් වශයෙන් තවමත් පාඩම් අවබෝධ කර ගැනීමට අපොහොසත්වීම මහ බැංකු වාර්තාව දක්වන කරුණකි. ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම, නිසි සැලැස්මක් රහිතව ක‍්‍රියාත්මකවීම, ජනප‍්‍රියත්වය තකා කරන සුබසාධන වැඩසටහන්, ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රමාදවීම්, විශේෂඥ අදහස් නොසලකා හැරීම් සහ ස්ථාපිත ආර්ථික මුලධර්ම නොසලකා හැරීම් ගැන මහ බැංකුව සිය වාර්තාවේ දීර්ඝ වශයෙන් පෙන්වා දෙයි. මෙම පාඩම් ඉගෙන ගත යුතු පොදු ජනතාව නොවේ. අවුරුද්දක් පාසා මහ බැංකු වාර්තාව මුද්‍රණය කර ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තුවට පිළිගන්වන අතර එහි සඳහන් කරුණු අවධානයට ගැනෙන්නේ නැත.
මහ බැංකු වාර්තාව සඳහන් කරන කරුණු ආර්ථිකය ගැන ගැඹුරු දැනුමක් ඇති පාර්ශවයකට හැර අවබෝධ කරගත නොහැක. 2022 වාර්ෂික වාර්තාව තවත් සංකීර්ණ එකකි. එය ලියැවී ඇති භාෂා විලාශය අනුව සිංහල පරිචයක් ඇති විද්වතකුට පවා එහි ඉතා සූක්ෂම ලෙස අනියමින් දක්වන කරුණු වැටහෙන්නේ නැත. වාර්තාව එළි දැක්වීමෙන් පසු පරිශීලකයන්ට අර්ථ බාධා ඇති කරන්නේ නම් අතීතයේ ඉගෙනගත් පාඩම් වලින් දැනගෙන අලුත් ප‍්‍රතිසංස්කරණවලට අවතීර්ණවීම සඳහා මහ බැංකු වාර්තාව ලබාදෙන පිටිවහල කුමක්ද?
ශ‍්‍රී ලංකාව පරිවර්තන යුගයකට ඇතුළුවීමට උත්සාහ කරන්නේ මෙකී පසුබිම තුළ වඩාත් අනෙක් රටවල ඉලක්ක එල්ල වූ පරිසරයක බව සඳහන් කළ යුතුය. මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව ඇතුළු ආයතන, ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, යුරෝපා ප‍්‍රජාව ඇතුළු රටවල් ශ‍්‍රී ලංකාව අනුගමනය කරන පිළිවෙළ ගැන අවධානයක පසුවේ. මහජනතාවටත්, නිලධාරීන්ටත් මග පෙන්වන සරල සැකැස්මක් මාර්ග සිතියමක් මහ බැංකුව ප‍්‍රකාශයට පත්කළ යුතුව ඇත. ආර්ථිකය ගැන කරන සංකීර්ණ අනුශාසනාවලින් පමණක් ගැලවිය නොහැක. මුදල් මුද්‍රණය කළ අතර උද්ධමනයට හේතු වූ බව කියයි. මහ බැංකුව එම තීරණ ගෙන තිබේ. විනිමය හිඟය හා බැංකු පද්ධතිය ගැන කතාකරයි. මහ බැංකුවට එම අංශ ගැන වගකීමක් ඇත. ආණ්ඩු වරින්වර ගත් තීරණවල අහිතකර ප‍්‍රතිඵල අප ඉදිරියේ ඇති අතර මහ බැංකුවද එහි පාර්ශ්වයකි.
• මූල්‍ය අරමුදලේ යෝජනා ඒ ආකාරයටම
ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ හඳුන්වා දී ඇති මිණුම් දඬු සහ මුලින්ම අනුගමනය කරන්නට යන බව පෙනේ. මිල සූත‍්‍රයක් අනුව ඉන්ධන මිල තීරණය කළ යුතු අතර අර්ධ වාර්ෂික මිල සූත‍්‍රයක් අනුව විදුලිය මිල තීරණය කළ යුතු බව දක්වයි. ආණ්ඩුවට දරාගැනීමට නොහැකි අතර ඒවායේ පිරිවැය අවසාන පාරිභෝගිකයාගෙන් ආවරණය විය යුතු බව දැක්වේ.
මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල සහායද සමඟ, ස්වෛරීත්ව ණය සහ ගෙවුම් තුලන අර්බුදවලින් ගැලවී යම් හිතකර මාවතකට යොමුවීමට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය අවකාශය ලැබෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. මෙහිදී මහ බැංකුව දක්වන අනිවාර්ය අංග අතර රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය නැවත ඇති කිරීම සහ මූල්‍ය විනය ශක්තිමත් කිරීම අරමුණු කරගත්, සමාජ ආරක්ෂණ ජාලය දක්වයි. රජය සතු ව්‍යවසායයන් වෙත සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ මගින් ආදායම් රුස් කිරීම ඔස්සේ මෙහෙයවන ඉහළ අහිලාෂයකින් යුත් රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාවයක් අපේක්ෂා කරයි. රජයේ ණය තිරසාරභාවය නැවත ඇතිකර ගැනීම අරමුණු කරගත් විදේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සහ විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවය හමුවේ, මිල ස්ථායීතාව ඇති කිරීමට සහ ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැංවීම සඳහා බහුවිධ උපායමාර්ග යෝජනා කරයි. යහපාලනය ඇති කිරීම සහ වංචා හා දූෂණ මැඩපැවැත්වීම සඳහා මූලික වන ප‍්‍රතිසංස්කරණද යොජනා කර තිබේ.
මෙම කරුණු සියල්ල මූල්‍ය අරමුදල පනවන කරුණු අතර තිබේ. මහ බැංකු පණත් වෙනස් කිරීම, බැංකු පද්ධතිය නැවතත් ප‍්‍රාග්ධනීකරණය සහනාධාර වැඩ සටහන් ප‍්‍රතිසංවිධානය ඇතුළු මෙහි සඳහන් අංශවලින් පමණක් රටට අවශ්‍ය විනිමය උත්පාදනය කරගත හැකිද?
• කාර්මික හා කෘෂිකාර්මික අංශයේ පිරිහීම
2022 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව සලකා බලන වසරේදී කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශවලද විශාල පසුබෑමක් සිදුවී තිබේ. තේ නිෂ්පාදනය සියයට 16කින් සහ රබර් නිෂ්පාදනය සියයට 7.8කින් අඩු වී ඇති අතර පොල් නිපැයුම පමණක් සියයට 8.7කින් වැඩි වී තිබේ. වී නිෂ්පාදනයේ අඩුවීම සියයට 34.1කි. ධාන්‍ය නිෂ්පාදනයේ පහත වැටීම සියයයට 43.1කි. සමස්ත වශයෙන් කෘෂි අංශයේ පිරිහීම සියයට 19.4ක් බව දැක්වේ. පොහොර හා කෘෂි රසායන සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයෙහි තරම මෙයින් පෙන්වයි. කාබනික ගොවිතැන එක ක්ෂේත‍්‍රයක් පමණක් වන අතර ආහාර සුරක්ෂිතතාවය ගැන සලකා බැලීමේදී රටට අවශ්‍ය පමණ ආහාර නිපදවන සැලැස්මක් ක‍්‍රියාත්මක විය යුතුය.
කාර්මික අංශයේද ඇගළුම් නිපැයීම සියයට පහකින් වැඩිවී ඇති අතර අනෙක් සෑම අංශයක්ම පිරිහී තිබේ. රෙදි නිෂ්පාදනය සියයට 21කින්, කඩදාසි නිෂ්පාදනය සියයට 41කින් ඛනිජ තෙල් හා වෙනත් නිෂ්පාදන පිරිපහදුව සියයට 57කින් ලෝහ නිෂ්පාදනය සියයට 47 කින් සහ විදුලිය උපකරණ නිපැයුම සියයට 20කින් 2021 වසරට වඩා 2022 අවුරුද්දේදී අඩු වී තිබේ. විනිමය හිඟය ඉදිරියේ අමුද්‍රව්‍ය ආනයනයට තිබුණ බාධා කාර්මික අංශයේ නිෂ්පාදන අඩුවීමට ප‍්‍රධාන හේතුවකි.
සේවා අංශයේද නිවාස හා දේපොල, රක්ෂණ, සෞඛ්‍ය, ගුවන් සේවා, පරිගණක හා මෘදුකාංග සේවා, තොග හා සිල්ලර වෙළඳාම පමණක් නොව සන්නිවේදනය, මාධ්‍ය වැනි අංශ පවා කලින් වසරට වඩා පහත වැටී ඇත. ආර්ථිකය යළි නැගී සිටින ගමන අරඹා ඇති බව මහ බැංකුව කියයි. නිෂ්පාදන හා සේවා අංශයට දැරිය හැකි වර්ධනයක් කරා ගමන් කළ හැකි ද යන්න ප‍්‍රධාන ප‍්‍රශ්නයකි.
නිෂ්පාදනය නංවන සැලැස්මක් රටට අවශ්‍ය කර තිබේ. ඒ සඳහා ආයෝජන අවශ්‍යය. දේශීය හා විදේශීය ආයෝජනවලින් තොරව නිෂ්පාදනය, රැකියා සැපයුම හා රටට අවශ්‍ය බදු ආදායම උපයා ගැනීමට මගක් නැත. ඉදිරි සංවර්ධන සැලැසුම් වලට ඒවා ඇතුළත් කිරීම රජයේ ප‍්‍රතිපත්ති සම්පාදනයන්ගේ වගකීමකි. දූෂණය නැවැත්වීම හා යහපාලනය හුදු සටන්පාඨයක් පමණකි. එයින් ඉතිරි කරනගන්නා මුදලින් පාන් රාත්තල රුපියල් තුනයි පනහකට දෙන බව ප‍්‍රකාශ කළ ආණ්ඩුවක් තිබුණ බව අමතක කරන මහ බැංකු වාර්තාව අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙද ප‍්‍රකාශ කිරීම ප‍්‍රශ්න කළ යුතුය. රටට අවශ්‍ය අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන ක‍්‍රියාවලියකි. ඉන්ධන හා විදුලිය වැඩිම පිරිවැයකට අලෙවි කළ පසු අපනයන තරගකාරීත්වයට මුහුණ දිය හැක්කේ කෙසේද? අඩුම තරමින් සංචාරක ව්‍යාපාරය හෝ කරගෙන යා නොහැකි වනු ඇත. ශ‍්‍රී ලංකාව ණය නොගෙවන ලැබෙන විනිමය ප‍්‍රමාණයෙන් ජීවත්වන අතර ඉදිරියේ දී ණය ගෙවන්නට සිදුවේ. ඉදිරි කාලය තුළ ආනයන සීමා ලිහිල් කරන්නටද සිදුවනු ඇත. මෙම අවකාශය තුළ අවශ්‍යම විදේශ විනිමය සොයා ගැනීමට රටට ඇති හැකියාව වර්ධනය කරන්නේ කෙසේද? මූල්‍ය අරමුදල මහ බැංකුවට ඒ ගැන කරුණු දක්වා නැත.
I සාරා කන්දෙගොඩ