2023 මැයි 07 වන ඉරිදා

ලංකාවට නැවතත් සුනාමියක්?

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 52

මේ වනවිට ලෝකය පුරා භූ-කම්පන නිතිපතා වාර්තා වෙයි. අපටද මීට පෙර කිසිදා අසා නොතිබූ පරිදි භූ කම්පන ගැන අසන්නට ලැබී තිබේ. පසුගිය මාස 04ක කාලය තුළ භූ කම්පන 8ක් පමණ ගැන විස්තර වාර්තා විය. මේ අසාමාන්‍ය කම්පන මගින් අනතුරු අඟවන්නේ ඉදිරියේදී සිදුවිය හැකි මහා කම්පනයක් ගැනද? මේ කම්පන හේතුවෙන් ඉදිරියේදී අපට සුනාමි අනතුරකට මුහුණදීමට සිදුවේද?

දේශය පාඨක ඔබ වෙනුවෙන් අපි මේ ගැන පේරාදෙණිය සරසවියේ භූවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න වෙතින් විමසුවෙමු.

මේ වනවිටත් ලෝකය පුරා දිනකට භූකම්පන දස-දහසක් පමණ වාර්තා වන බව ඒ මහතා පෙන්වා දෙයි. නමුත් ඒ කම්පන බොහෝමයක් රිච්ටර් මාපකයේ ප්‍රබලතාව 5.0ට අඩු, ඒ නිසාම අනතුරුදායක බව අඩු ඒවාය. නමුත් මේ භූ කම්පන ගැන දත්ත නිතිපතා රුස් කෙරෙන බවත්, ඒ මතින් ඉදිරියේ ප්‍රබල භූ කම්පනයක් සිදුවිය හැකි ස්ථාන ගැන පුරෝකතනය කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

''කාලයක් තිස්සේ මිනිස් වර්ගයා බිහිවූ කාලයේ සිට භූ කම්පන ඇතිවෙනවා. මේ කම්පන ගැන ඇති පරණ වාර්තා මෙන්ම මෑතකාලීන වාර්තා මිලියන ගණනක් අමෙරිකා භූ විද්‍යා ආයතනය (USGS) මගින් එකතු කරන ලද දත්ත ගබඩාවක පවතිනවා. ඔවුන් ඒ දත්ත ඇසුරෙන් සජීව ලෙස ක්‍රියාත්මකව භූ කම්පන ගැන පෙන්වන සිතියමක් පවා නිර්මාණය කර තියෙනවා. මේ සිතියම බැලූවිට අපට ලෝකයේ භූ කම්පන බහුලව සිදුවන කලාප රේඛා හඳුනාගන්න පුළුවනි. අපි භූ තල මායිම් කියලා හඳුන්වා දී ඇත්තේ මේ කියන භූ කම්පන සිදුවන මායිම් බව දැන් හඳුනාගන තියෙනවා.

ලංකාව මෙතෙක් කලක් පැවතුණේ ඉන්දු-ඕස්ට්‍රේලියානු තලය කියා හඳුන්වන භූතලයේ මඳක් මැදට ආසන්න ස්ථානයකයි. මේ නිසා උතුරෙන් හිමාල වැටිය ආශ්‍රිත මායිමත් දකුණේ ඕස්ට්‍රේලියාවට එපිට පැසිපික් ආසන්න මායිමත් වැඩිදුර භූ කම්පනවලට ලක්වුණාම අපට රටා තදින් දැනුණේ නෑ. මේ නිසා ලංකාවට භූ කම්පන සිදු නොවන හැටියටයි අපි මෙතෙක් උපකල්පනය කළේ. නමුත් ලංකාව තුළත් අවටත් දැන් මේ කම්පන දකින්න පුළුවනි.

ලංකාවේ පසුගිය කාලයේ කම්පන සිදුවූ රටාව සිතියම් ගතකර අධ්‍යයනය කළාම අපට භූ කම්පන සිදුවිය හැකි ස්ථාන රටාවක් දැකිය හැකියි. ඉන් පළමුවැන්න ගැන අපි වසර ගණනාවක සිට පෙන්වා දුන්නා. ඒ අපේ මධ්‍ය කඳුකරය ආශ්‍රිතව මේ කලාපයේ ඇති කෘත්‍රිම ජලාශ ආසන්නව මේ කම්පන ඇතිවීමට ඇති භූ විද්‍යාත්මක බලපෑම් ඇතිව තිබෙනවා.

ඒ වගේම පසුගිය කාලයේ අපට බිබිල, කිරින්ද, බුත්තල, වැල්ලවාය වගේ පළාත්වලත් භූ කම්පන ඉහළ යාමක් දක්නට ලැබුණා. මෙයට හේතුව ලෙස දැන් විද්‍යාත්මකව පිළිගත හැකි පැහැදිලි කිරීම වන්නේ ලංකාව මධ්‍යයෙන් වැටී ඇති ඉපැරුණි ගොවිඩ්වානාලන්තයේ පැවැති බවට සැලකෙන දැනට අක්‍රියව ඇති ''මළ භූ තල'' මායිමේ ක්‍රියාකාරීත්වය නැවත ඇරුඹීමයි.

ඒ හැර පසුගිය කාලයේ සිදුවූ වෙනස් ආකාර භූ චලන ගැන ලෝකයේ විද්‍යාඥයින් දැන් අවධානයට යොමුකර තියෙනවා. ඒ භූ කම්පන සිතියම් ගත කළාම අපට පෙනී යනවා. ලංකාවට පහළින් කිලෝමීටර 1000ක් වගේ දුරක නව පැලුම් තලයක් ඇතිවෙමින් තිබෙන බව. මේ නිසා දැන් විද්‍යාඥයින් සලකන්නේ තනි ඉන්දු - ඕස්ට්‍රේලියා තලය දෙකඩ වෙමින් ඇති බවයි. එය ඉන්දු - තලය සහ ඕස්ට්‍රේලියා තලය ලෙස දෙකඩ වෙමින් තිබෙනවා. අපට දැන් මෑතක සිට දැනෙන්නේ ඒ තල මායිමේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන භූ චලනයි. මේ නව භූතල තැටි දෙක සැලකූ විට අපි දැන් ඉන්නේ ඉන්දු තලයේ එක් කෙළවරකට ආසන්නවයි. අන්න ඒ නිසා ඒ ස්ථානයේ හටගන්නා භූ විද්‍යාත්මක විපර්යාස හේතුවෙන් ප්‍රතිඵල වෙන භූ කම්පන අපට තදින් දැනීමට හැකියි.

ඒ වගේම ලංකාවට බටහිර මුහුදු කලාපය ආශ්‍රිතවත් කාලයකට පෙර සිට අසාමාන්‍ය භූකම්පා හටගෙන තිබුණා. 1600 ගණන්වල පෘතුගීසි සමයේ සිදුවූ විනාශකාරී කම්පනය එවැන්නක්. මේ ගැන නියම පැහැදිලි කිරීමක් තිබුණේ නෑ. මෑතකාලයේ මා කළ අධ්‍යයන මගින් ලංකාව ඉන්දියාවෙන් වෙන්වීමේදී ඉතා ඈත කාලයකදී ඇතිවූ පැළුම් තල නැවත ක්‍රියාත්මක වෙමින් ඇති බව තහවුරු කරගන්නට හැකිවුණා. ලංකාව තවමත් ඉන්දියාවෙන් ඉවත් කරමින් මේ පැලුම්, ක්‍රියාත්මක අතර අපට භූ කම්පන රුගෙන ආ හැකි තවත් ආසන්නම ස්ථානයක් ලෙස මේ වෙන්වීම් තල මායිම්වල ක්‍රියාකාරීත්වය දැක්විය හැකියි.

ඉතින් ඉදිරියේදී ඇතිවිය හැකි ආසන්නතම මහා භූ කම්පනයක් ගැන අපට අනාවැකි කීමට තරම් මේ කම්පන මෙතෙක් ප්‍රබලව සිදුව නෑ. ඒ නිසාම ඉදිරියේදී එසේ සිදු නොවනු ඇතැයි කීමට නොහැකියි. දැනට අපේ ලංකාවට දරුණු සුනාමි අනතුරක් ගෙන එන්නට තරම් ප්‍රබල කම්පනයක් මේ ආසන්න මුහුදේ ඇතිවිය නොහැකියි.

අපට තදබල සුනාමි අනතුරක් ගෙන එන්නට නම් ඒ සඳහා නොගැඹුරු මුහුදේ කිලෝමීටර 10කට ආසන්න දුරකදී ඉතා ප්‍රබල කම්පනයක් සිදුවිය යුතුයි. හරියට 2004 දී සිදුවූ කම්පනය වගේ ප්‍රබල එකක්. ඒ අනුව බලන කල අපට සුනාමි අනතුරක් එන්නේ ඒ පැත්තේ සුමාත්‍රා, බණ්ඩාඇඩේ වගේ මුහුදක සිදුවිය හැකි දරුණු කම්පනයකින් තමා. අපට ආසන්නම ඇති භූතල වෙන්වීම් නිසා හටගන්නා කම්පන ඉතා ගැඹුරේ හටගන්නා නිසා ප්‍රබල සුනාමි රුල්ලක් ඇති කරන්නට තරම් භයානක සහ තදබල බවට පත්විය නොහැකියි.

නමුත් සූදානම් සරීරේ කියන්නා වගේ අපේ ප්‍රධාන නගර ආශ්‍රිතව ඇති කාලයකට පෙර හැදූ මහල් නිවාස, තට්ටු ගොඩනැගිලි ආදිය අදාළ ආයතන සමඟ එක්ව වර්ගීකරණයකට ලක්කර භූ කම්පන අනතුරුවලට මුහුණදීමට තරම් සවි ශක්තිය සහිතදැයි සොයා වර්ගීකරණය කළ යුතු යැයි මා යෝජනා කරනවා. එසේ වර්ගීකරණය කර ඒවා සුදුසු පරිදි නවීකරණයට ලක්කිරීමෙන් අපට අනාගතයේ සිදුවිය හැකි අනතුරු වෙතොත් එයින් සිදුවන හානිය අවම කරගත හැකිවේවි.

I සුගත් පී. කුලතුංගආරච්චි