එක් වසරක් තුළ මෙරටට අවශ්‍ය වියළි මිරිස් ප්‍රමාණය ටොන් 55,000ක් වුවත් වාර්ෂිකව මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 48,000ක් පමණක් බව හඳුනාගෙන තිබේ. එබැවින් වාර්ෂිකව වියළි මිරිස් මෙට්‍රික් ටොන් 48000ක් ආනයනය කිරීමට සිදුවීම හේතුවෙන් විශාල විදේශ විනිමයක් වියදම් කිරීමට සිදුව ඇත. එබැවින් මෙරට වියළි මිරිස් අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් මිරිස් ප්‍රමාණය රට තුළම වගා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ වෙබ් අඩවියේ දැක්වේ.
මිරිස් කුඩු සහ කෑලි මිරිස් ඇතුළුව ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල වියළි මිරිස් පරිභෝජනය කි.ග්රෑ. 2.10 -2.31 අතර වේ. මේ හා සමාන ප්‍රමාණයක අමුමිරිස් පාරිභෝජනය සිදු වේ. මිරිස් නැතිව කටට රහට කෑම උයන්න නම් හැකියාවක් නැත. ලංකාවේ කෑම ගැන යුරෝපය පුරා ප්‍රසිද්ධව ඇත්තේ ඉතා සැර ආහාර තියෙන රටක් වශයෙනි. ඇතැමුන් ලංකාව ශ්‍රී ලංකාව වෙනුවට චිලි (මිරිස්) ලංකාව යැයි හඳුන්වන තරමටම මිරිස් අධිකව භාවිත කරනු ලබයි. විවිධ ප්‍රමාණයන්ගෙන් මිරිස් මිරිස් යොදා ආහාර රසය අඩු වැඩි කරගැනීම ආපනශාලාවල පවා දැකගත හැකිය.
මේ රටේ වාර්ෂික අමු මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 70,000ක් යැයි ගණන් බලා ඇත. දැනට රටට අවශ්‍ය අමු මිරිස් ප්‍රමාණයම අපේ රටේ නිෂ්පාදනය කළත් වියළි මිරිස් වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුව ඇත. ඉතා සාරවත් පසක් සහිත අප රටේ මුහුදු මට්ටමේ සිට මීටර් 1600 පමණ උස් ප්‍රදේශ දක්වා මිරිස් වගා කළ හැකිය. මිරිස් වගාව සඳහා සුදුසු උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 21°-27°කි. ප්‍රධාන වශයෙන් මහ කන්නය සහ යල කන්නයේ මිරිස් වගා කෙරුණත් ප්‍රමාණවත් ජලය සහිත ප්‍රදේශවල සහ වාර්ෂික වර්ෂාපතනය මි.මී. 600 - 1000ත් පවතින ප්‍රදේශවල ඕනෑම කාලයක මිරිස් වගා කළ හැකිය. සාමාන්‍යයෙන් මිරිස් පැල සිටුවා දින 70-80 අතර කාලය තුළ පළමු අස්වැන්න බලාපොරොත්තු විය හැකිය.
ඒ අනුව මිරිස් වගාව පහසු හා ලාභදායි වගාවක් වුවත් ඉතා ඉක්මනින් විවිධ ලෙඩ රෝග මිරිස් වගාවට වැළඳීමේ අවදානමද පවති. ඊට අමතරව කෘමීන්ගෙන්ද නිතර හානි සිදුවීම හා මොණරුන් හා විවිධ පක්ෂීන්ගෙන්ද මිරිස් ගොවීහු විවිධ අභියෝගයන්ට මුහුණා පා සිටිති. මෙය මිරිස් නිෂ්පාදනය පහත වැටීමට ප්‍රධාන ලෙස බලපා ඇති සාධකයක් වශයෙන් හඳුනාගෙන ඇත. එමෙන් ම මිරිස් වගාවට සිදුවන තර්ජන හේතුවෙන් ගොවීන් ආනයනික දෙමුහුන් බීජ ලබාගැනීමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි හඳුනාගෙන තිබේ. ඊට විසඳුමක් වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව මිරිස් ප්‍රභේදයක් හඳුන්වා දී ඇත. එම ප්‍රභේදය වියළි මිරිස් නිෂ්පාදනයද පහසු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
වියළි මිරිස් නිෂ්පාදනය සඳහා රත් පැහැ වනතුරු මිරිස් කරල් ඉදීමට ඉඩ හැරිය යුතු වේ. රත් පැහැ වූ කරල් වියළි මිරිස් නිෂ්පාදනයට සුදුසුය. අනතුරුව පළිබෝධ නොයොදා ඒකාකාරී රත් පැහැයක් ලැබෙන තුරු මැනවින් වාතාශ්‍රය සහිත කාමරයක් තුළ දින 02 ගොඩ ගසා තැබීම සිදුකෙරේ. ඉන්පසු දින 4-5ක කාලයක් අව්වේ වේලා ගැනීම සිදුවේ. එලෙස වියළා ගත් පසු දිගු කාලයක් කල් තැබීමේ හැකියාව පවතින අතර දිගු කාලයක් කල් තබා ගන්නේ නම් වරින් වර අව්වේ දමා වියලා ගත යුතු වේ වේ.
අප රටේ වාර්ෂිකව වියළි මිරිස් සඳහා වගා හෙක්ටයාර 15000ක පමණ භූමියක් යොදාගනු ලබයි. මෙම වසරේ වගා කිරීමට සැලසුම් කර ඇති භුමි ප්‍රමාණය හෙක්ටයාර් 18,779ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දැක්වේ. ඉන් අපේක්ෂා කරන අස්වැන්න මෙට්‍රික් ටොන් 13,000කි. මෙම අපේක්ෂික ඉලක්කයට ළඟා වුවහොත් එය මුළු අවශ්‍යතාවයෙන් සියයට 25කි. 2025 වනවිට රටට අවශ්‍ය වියළි මිරිස් සම්පූර්ණ ප්‍රමාණයම නිෂ්පාදනය කිරීම රජයේ අපේක්ෂාවයි. ආනයනය කරනු ලබන මිරිස්වල විවිධ රසායනික ද්‍රව්‍ය ඇතැයිද සැකයක් පැන නැගී ඇති අතර ඇතැම් ඒවායේ ඇෆ්ලටොක්සීන් පවතින බවට තහවුරු වී ඇත. එබැවින් රට තුළම නිෂ්පාදනය කිරීම යෝග්‍යය.
මහඉලුප්පල්ලම කෘෂිකර්ම පර් යේෂණ මධ්‍යස්ථානය මගින් හඳුන්වා දී ඇති MICH-1 සහ MICH-2 යන නව දෙමුහුන් මිරිස් වර්ග දෙකේ සාර්ථකත්වය හේතුවෙන් මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. එම මිරිස් ප්‍රභේද දෙක හේතුවෙන් දැනට අප රටේ මිරිස් වගාවන්ට බලපා ඇති කොළ කරල් සංකීර්ණය වැනි රෝග රුසකට ද ප්‍රතිරෝධී වන බව තහවුරු වී ඇත. එමෙන් ම කන්න කිහිපයක් එකම මිරිස් ඇටයකින් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි නිසා අපේක්ෂිත මිරිස් අස්වනු ප්‍රමාණයට පහසුවෙන් ළඟා විය හැකි යැයි බලාපොරොත්තු වේ.
I සකීෆ් සාම්