2023 අප්‍රේල් 30 වන ඉරිදා

ජාතික ආණ්ඩුවක් ඕනෑද? එපාද?

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 61

මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්වී රට ගොඩනැගිය යුතු බව පසුගිය සතියේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේය. මේ අතර ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳ කථිකාව ද ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් විය. ඒ අනුව ජාතික ආණ්ඩු කථිකාව පිළිබඳ දේශපාලන පක්ෂ කිහිපයක මත විමසා බැලීමට අපි තීරණය කළෙමු.

අපේ කැමැත්ත සර්ව පාක්ෂික කුඩා කැබිනට් ආණ්ඩුවකට
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහ ලේකම් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

''සඳහන් කළ යුතු පළවෙනි කාරණාව, අමාත්‍ය ධූර වැඩිකර ගැනීමේ වැඩපිළිවෙළක් තමයි ජාතික ආණ්ඩු සංකල්පයෙන් අදහස් වෙන්නෙ. තවදුරටත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, ජාතික ආණ්ඩුවක් පිළිබඳ සඳහන් වෙලා තියෙනවා. ප්‍රධාන පක්ෂය තවත් පක්ෂ එක්ක ආණ්ඩුවක් හැදුවාම 40 කගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් පත් කරන්න පුළුවන්. තව නියෝජ්‍ය හෝ රාජ්‍ය අමාත්‍යවරු හතළිහක් පත් කරන්න පුළුවන්.

අපි ජාතික ආණ්ඩු කතාවට කිසි සම්බන්ධයක් නැහැ. ඇමැති ධූර ගන්නත් අපිට අවශ්‍යතාවයක් නෑ. අපි හැමවිටම කතා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳවයි. මෙතැනදී කතා කළ යුතුයි කුඩා කැබිනට් මණ්ඩලය ගැන. අපි පැහැදිලිව කිව්වෙත් ජාතික විධායක සභාවක් හදන්න කියලා. දැන් ඒ වගේ එකක් හදලා තියෙනවා, අපි ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒත් ඒක ජනාධිපතිවරයා ඉදිරියට අරගෙන යනවා පක්ෂ අතර එකමුතුව තියෙනවා කියලා පෙන්වන්න.
අදටත් අපේ පක්ෂය සහ නායකත්වය යෝජනා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. එයින් අදහස් කරන්නේ සියලු දේශපාලන පක්ෂ එකතුවෙලා යම්කිසි කාල රාමුවක් තුළ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවය. නමුත් මේ යෝජනාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් ක්‍රියාත්මක කළේ නෑ.''

ලේබල් එකක් ගහගෙන ඇමැති ධූර බෙදාගන්නයි යන්නේ
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජාතික සංවිධායක - සමගි ජන බලවේගය

''ජාතික ආණ්ඩු සංකල්පය සිහිපත් කරමින් ජනාධිපතිවරයා මේ ආරාධනා කරන්නේ එතුමාගෙ බලය තහවුරු කර ගන්න. මෙතැන රට හෝ ජාතිය ගොඩනැගීමේ අවශ්‍යතාවක් ඒ අයට නැහැ. ජාතික ආණ්ඩු ලේබලය අලවාගෙන, ඇමැති තනතුරු බෙදාගන්නවට වඩා අපි හැමෝටම රට වෙනුවෙන් කළ යුතු කැපකිරීමක් තියෙනවා.

ඒ සඳහා ජාතික වැඩපිළිවෙළක් යෝජනා කරන්න ඕනෑ. ඇත්තටම තවමත් දූෂණය සහ නාස්තිය වළක්වා ගැනීමේ වැඩසටහනක්වත් ආණ්ඩුව යෝජනා කරලා නෑ. රාජ්‍ය ආදායම වැඩිකර ගන්න කියලා මිනිසුන්ගෙන් බදු එකතු කරගෙන ආයෙත් පරණ විදිහටම රාජ්‍ය නඩත්තු කරනවා. ඒ නිසා දැන් අවශ්‍ය වෙන්නේ ජාතික වැඩපිළිවෙළක්.

අපි ජාතික ආණ්ඩුවක් කියන ලේබලයට එකඟ වෙන්නෙ නෑ. මේක බොරුවක්. මේ හරහා තමන් කරන වැරදි සියල්ලම සාමූහිකව කරන්න තමයි මේ අය හදන්නෙ. ජාතික ආණ්ඩු හදලා, ඇමැති මණ්ඩල ලොකු කරලා මහජනතාව පිට තවදුරටත් බර පටවන වැඩපිළිවෙළකට අපි එකඟ වෙන්නෙ නැහැ ඒ නිසා. ජනාධිපතිතුමා නිර්පාක්ෂිකව ඉඳගෙන පොදු වැඩපිළිවෙළක් යෝජනා කරනවා නම්, ඒ වැඩපිළිවෙළේ සාධනීය කරුණු සඳහා අපි එකඟතාවය පළ කරනවා.''

කවුරු හරි ඇවිල්ලා සහාය දෙනවා නම් අපෙන් බාධාවක් නෑ
පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මාධ්‍ය ප්‍රකාශක - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

''ජාතික ආණ්ඩු කියන සංකල්පය 2015 දක්වා මේ රට තුළ කතාබහට ලක් වුණේ, පවතින ආණ්ඩුවට බහුතරය හිමිවීම හෝ ජාතික ආපදාවක්, ජාතික අර්බුදයක් පැමිණි අවස්ථාවක දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ගැනීම වෙනුවෙන්. නමුත් 2015, 19 වැනි සංශෝධනයෙන් පස්සේ ජාතික ආණ්ඩු කියන සංකල්පය වෙනස් වුණා. කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව වැඩිකර ගන්න ඕනේ නම් ජාතික ආණ්ඩුවක් හදන්න ඕනෑ කියන සංකල්පක් ආවා. 

ඒ නිසා අද ජාතික ආණ්ඩු පිළිබඳ කතා කරන විට ජනතාවට මේ අදහස් දෙකම මතක් වෙනවා. මේ සූදානම් වෙන්නේ කැබිනට් මණ්ඩලය වැඩිකර ගන්නද? ඇත්තටම ප්‍රශ්නයක් විසඳන්නද? කොහොම නමුත් ජාතික ආණ්ඩුව කියන මේ කතිකාව අපි පක්ෂයක් විදිහට තේරුම් ගත්තෙ මෙන්න මෙහෙම. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඉතා විවෘතව සහ අවංකව මුළු පාර්ලිමේන්තුවටම ආරාධනා කළා ජනාධිපති ධූරය හැර ඕනෑම තනතුරක් බාරගෙන එකඟතාවයකට ඇවිල්ල මේ ප්‍රශ්නයට උත්තරයක් හොයමු කියලා. නමුත් ඒ වෙලාවේ ප්‍රති පක්ෂය උත්සාහ කළේ ප්‍රශ්න මැද්දෙන් තමන්ගෙම ආණ්ඩුවක් හදාගන්න. ගෝත්‍රික දේශපාලන ගමනක් යන්න.

ඒ අදහසම අනුගමනය කරමින් වර්තමාන ජනාධිපතිතුමා බලයට පත්වුණු මොහොතේ සිට සියලු දෙනාටම ආරාධනා කරමින් ඉන්නවා පොදු වැඩපිළිවෙළකට යන්න. අපි කියන්නේ ඒක හොඳයි. ඒකෙ නම ජාතික ආණ්ඩුව ද සර්වපාක්ෂික ද එහෙමත් නැත්නම් වෙන එකක්ද කියන එක අපි දන්නේ නෑ. හැමෝම ප්‍රශ්නයට උත්තරයක් හොයන්න එකඟවීම කියන එකට අපි එකඟයි. හැබැයි පොහොට්ටුවේ අපි මේ අදහස කියන්නේ පාර්ලිමේන්තු බහුතරය සම්බන්ධ ගැටලුවක් නිසා නෙවෙයි. අපිට ආණ්ඩුව හෙට වැටෙයි, කරගෙන යන්න බෑ කියල බයක් නෑ. කවුරු හරි ඇතුළට ඇවිල්ලා මේ වැඩපිළිවෙළට සහයෝගයක් ලබා දෙනවා නම්, ඊට අපෙන් බාධාවක් නැහැ.''

ඇමැති ධූර දන් දුන් අපට ජාතික ආණ්ඩුවක ඇමැතිකම් ගන්න ගායක් නෑ
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පක්ෂ නායක - පිවිතුරු හෙළ උරුමය

''ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවක් යෝජනා කරන්නේ විපක්ෂයෙන් ආණ්ඩුවට පනින්න බලන් ඉන්න රිළවුන්ට ඉනිමං බැඳීමක් විදිහටයි. ඇත්තටම රට ගොඩනැගීමට සර්ව පාක්ෂික වුවමනාවක් තිබෙනවා නම් ජනාධිපතිතුමා කළ යුත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට එතුමා ඉදිරිපත් කරන වැඩපිළිවෙළ සියලු පක්ෂ නායකයන් හමුවේ තැබීමයි. 

එවන් විටෙක එම වැඩපිළිවෙළ පිළිබඳ සංවාදයක් ඇති කරගෙන රටක් ගොඩනගන වැඩසටහන පිළිබඳ සර්ව පාක්ෂික එකඟතාවක් ඇතිකර ගන්න පුළුවන්. ඇත්තටම ආණ්ඩුවට එවැනි වැඩපිළිවෙළක් නෑ. අයි.එම්.එෆ්. ගිවිසුම තුළවත් අපේ ඩොලර් අර්බුදයට විසඳුම් කිසිවක් ඉදිරිපත් කරලා නෑ. ඒ නිසා මේ ජාතික ආණ්ඩු කතිකාව, හුදු ඇමැති තනතුරු බෙදාගැනීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමක් විදිහටයි අපි දකින්නෙ.

අපි එවැනි ආරාධනා පිළිගන්නේ නෑ. අපි පසුගිය ආණ්ඩුව ආර්ථික අර්බුදයකට රුගෙන යන විට ඇමැති ධූර අවදානමට තබා සටන් කළ ඇමැතිවරු. ඇමැති තනතුරු පූජාව කරපු අය විදිහට, අපිට ඇමැති ගායක් නෑ. වැඩපිළිවෙළක් නැති තනතුරු බෙදාගැනීමේ ව්‍යාපෘතියකට අපෙන් කිසිදු සහයෝගයක් හිමිවෙන්නෙත් නැහැ.''

I චමිඳු නිසල් ද සිල්වා