2023 අප්‍රේල් 23 වන ඉරිදා

නැවත සිසුන් අතට එන ’’හතේ අපේ පොත’’

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 199

නව යොවුන් පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සකස් කර 2019 දී පාසල්වලට බෙදා දුන් හතේ අපේ පොත විශාල ආන්දෝලනයක් ඇති කරමින් භික්ෂූන් වහන්සේගෙන් එල්ල වූ විරෝධතා නිසා හමස් පෙට්ටියට ගියේය. එවකට සිටි අධ්‍යාපන ඇමැතිගේ නියෝගය මත පාසල්වලට බෙදා දුන් පොත් ලක්ෂයක් නැවත ආපසු කැඳවීමට බලධාරින්ට සිදුවිය. පොත සඳහා වැය කළ රුපියල් මිලියන ගණනක මුදල අපතේ ගියේය. පසුගිය අප්‍රේල් මුලදී යළිත් මේ පොත ගැන කතාබහක් ඇති වී තිබේ. ඒ “හතේ අපේ පොත” නැවත සිසුන් අතට පත් කළ යුතු බවත්, ලිංගික දැනුම හා ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධ පොත් සකස් කරන ලෙසත්, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබීම නිසයි.

පාර්ලිමේන්තු සංසදය තීරණය කර තිබෙන්නේ සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ළමයින් සම්බන්ධ විවිධ ආයතනවල නියේජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් විසින් මෙය කළ යුතු බවයි. එම කමිටුව මාස තුනක් ඇතුළත අදාළ කාර්යය අවසන් කළ යුතු යැයිද ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

විවාහයෙන් පසුව රට පුරා පවුල් සෞඛ්‍ය නිලධාරි කාර්යාල මගින් කාන්තාවන් දැනුවත් කිරීම සිදුවන අතර එහිදී ඔවුන්ගේ බාල දරුවන් අනාගත ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කර ගැනීම පිළිබඳව අවබෝධය ලබා දිය යුතු බවටත් මෙහිදී යෝජනා කර ඇත. 

ලිංගික අධ්‍යාපනය මුලින්ම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වන්නේ 1955 දී යි. එසේ තම දරුවන්ට එම අධ්‍යාපනය ලබාදීමට පුරෝගාමී වුණු රට ස්වීඩනයයි. දරුවන්ගේ වයසට ගැලපෙන ලෙස ලිංගිකත්වය, ලිංගික අවශ්‍යතා, විෂම ලිංගිකයන් සහ ප්‍රජනනය වැනි කරුණු යුරෝපය ඇතුළු බොහෝ රටවල පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ එම විෂයය හැඳින්වෙන්නේ Relationship and Sex Education - RSE යනුවෙනි.  

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා සඳහන් කර සිටින්නේ නව යොවුන් වියේ පසුවන දරුවන්ට කායික හා මානසික වෙනස්වීම් පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නැති බවත් ඒ නිසාම ඔවුන් විවිධ අවදානම්වලට මුහුණපාන බවත්ය. වර්තමානයේ වයස අවුරුදු 13 - 19 අතර ළාබාල ගැබ් ගැනීම් ඉහළ ගොස් ඇති අතර ඊට සමගාමීව ගබ්සා කිරීම් ද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය අංශයේ දත්තවලින් පෙනේ. ඒ නිසාම මාතෘ මරණ වැඩි වීම, ගර්භිණීභාවයට පත්වන දැරියන්ගේ අධ්‍යාපනය බිඳවැටීම, ඇතැම්විට ළාබාල දැරියන් ගණිකා වෘත්තියට පෙළඹීම වැනි සිද්ධි ද අපට නිතර අසන්නට ලැබේ. 

පසුගිය වසර කිහිපය තුළ පාසල් වියේ දරුවන් අතර ස්මාට් ෆෝන් භාවිතය විශාල වශයෙන් ඉහළ ගිය අතර මේ නිසා ඔවුන් වැඩිපුර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල ගත කරන කාලය ඉහළ ගියේය. අපට මාධ්‍ය වාර්තාවලින් අහන්න ලැබෙන්නේ මුණුපොතින් හඳුනාගත් තරුණයන් සමඟ පැන ගොස් අතරමං වන පාසල් වයසේ දැරියන් ගැනය. නැත්නම් මුහුණුපොතේ පෙම්වතා, ගෙදර දෙමාපියන් නැති වෙලාවේ නිවසටම පැමිණ පෙම්වතියට අතවර කර පැන යන අවස්ථා ගැනය. මෙසේ දැරියන් සිල්ලර භාණ්ඩ වී කරදරවලට පහසුවෙන් ගොදුරු වන්නේ ඔවුන්ට ලිංගික දැනුමක් නැතිකම නිසා බව පෙනේ. 

පවුල් සෞඛ්‍ය කාර්යාංශය කළ පර්යේෂණයකදී ලැබුණු ප්‍රතිඵල අනුව අවුරුදු 14 වනවිට දරුවන්ගෙන් 10% ක් කවදා හෝ ලිංගික අපයෝජනයකට ලක් වී  තිබේ. 2017 වර්ෂයේදී කළ සමීක්ෂණයකින් ශ්‍රී ලංකාවේ පාසල් යන නව යොවුන් වියේ පිරිමි ළමුන්ගෙන් 9% ක් පමණත්, ගැහැනු ළමුන්ගෙන් 1% ක් පමණත් ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බව හෙළිව තිබේ. මේ වනවිට මේ දත්ත තවත් ඉහළ ගොස් ඇති බව පැහැදිලිය. නමුත්, නව යොවුන් වියේ දරුවන් වැඩි දෙනෙක් උපත් පාලන ක්‍රම පිළිබඳ අවබෝධයක් නැති බවත් 25% ක් පමණ දෙනෙක් පළමු ලිංගික සංසර්ගයේදී වුවද ගැබ් ගත හැකි බව නොදන්නා බවත් තවත් සමීක්ෂණයකින් හෙළි වී ඇති කරුණකි.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේදී පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනයද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට උපදෙස් දී තිබුණේ 2017 දීය. පාසල් දරුවන්ට පාසල තුළදී මෙන්ම ඉන් පිටතදී ද සිදුවන ලිංගික අපයෝජන වළක්වා ගැනීම සඳහා වන ක්‍රමවේදයක අවශ්‍යතාව පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවීම මත මෙලෙස උපදෙස් දී ඇත. ඒ සඳහා දරුවන් දැනුවත් කිරීමේ විකල්ප ක්‍රමවේද මෙන්ම පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමේදී අනුගමනය කළ යුතු සූක්ෂම පිළිවෙත් පිළිබඳවද රාජ්‍ය ගිණුම් කාරක සභාව අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා ද පවත්වා තිබේ. 

ලිංගික අධ්‍යාපනය කියන්නේ ශ්‍රී ලංකාවේ සෑහෙන්න ප්‍රශ්නකාරී වී ඇති මාතෘකාවකි.   බොහෝ දෙනා හිතන්නේ කුඩා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමෙන් කුඩා දරුවෝ අනවශ්‍ය විදියට ලිංගිකත්වයට යොමුවිය හැකි බවයි. එහෙම නැතිනම් අපේ “සංස්කෘතියට” හානිවන බවයි. කුඩා දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දියුණු ක්‍රමවේද තියෙන සංවර්ධිත රටවල එවැනි සෘණාත්මක දැක්මක් නැත.  

ලිංගික අධ්‍යාපනය දීම යනු ලිංගික ක්‍රියාකාරකම්වලට දරුවන් පොළඹවන්නක් නොවන බවත්, බාල වයසේ සිටම ලිංගික අධ්‍යාපනය ලබාදීමෙන් බොහෝ අතවර වළක්වා ගත හැකි බවත් ඒ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කරන විද්වතුන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම ගුරුවරු ඇතුළු පිරිස් පවසති.   

මේ ගැන අප සමඟ අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සාලිය කුලරත්න: 

''පාසල් දරුවන්ට කිසියම් වයස් සීමාවකින් පසුව තමයි මේ අධ්‍යාපනය ලබාදිය යුතු වන්නේ. දැනට අවුරුදු 20-30 කට පෙර නම් ඉතින් පාසල් දරුවන්ට ලිංගික කරුණු ගැන කියා දීමට අවශ්‍යතාවක් සමාජයේ තිබුණේ නැහැ. නමුත් මේ වනවිට ලංකාවෙත් විකෘති ලිංගික හැසිරීම් සහිත පුද්ගලයන් වැඩි වී තිබෙනවා. ඉහළ රුකියා කරන ඉගෙනගත් අය පවා මෙසේ අසංස්කෘතික විකෘති චර්යාවල නියැලෙන බව පේනවා. පාසල් දරුවන් මේ අයගේ පහසු ගොදුරක් වන්න ඇති ඉඩකඩ වැඩියි. මම හිතන්නේ එවැනි අධ්‍යාපනයක් ලාබා දිය යුත්තේ 8 ශ්‍රේණියේ සිට ඉහළ දරුවන්ට විය යුතු බවයි. නමුත් මේ කුඩා දරුවන්ට බරපතළ ලිංගික කරුණු වෙනුවට යම්කිසි මූලික දැනුමක් තමයි විෂය මාලා සම්පාදකයන් ලබා දිය යුත්තේ. පරිණත වූ ලිංගික කරුණු මේ දරුවන්ට දරාගත නොහැකියි. 5-6 ශ්‍රේණිවල දරුවන්ට නම් මේවා කියා දීම තේරුමක් නෑ. ඉන් යහපතට වඩා ළමුන්ට අයහපතක් සිදුවෙනවා. කළ යුත්තේ ඒ වයස්වල දරුවන් අනාරක්ෂිත තැන්වලට නොයවා දෙමාපියන් විසින් ආරක්ෂා කර ගැනීමයි.''

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය පවසන්නේ ලිංගික දැනුම දෙන විදිහ වෙනස් විය යුතු බවයි. ‘‘අපිට කියන්න බැහැ අවුරුදු 18-19 වෙනකම් ඉන්න ඕනෑ කියලා. එහෙම එකක් නැහැ. කුඩා වයසේ සිට කියන්න පුළුවන්.'' ඇය පවසා සිටී.

දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් හා ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ අවදානම අඩු වෙනවා සේම, දරුවන්ට අනිසි ලිංගික බලපෑම් හා අපයෝජනවලට ලක්වීමද අවම කරගත හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
මේ ගැන භික්ෂූන් වහන්සේ තවමත් දරන්නේ වෙනස් මතයකි. ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි අප සමඟ පැවසුවේ ලංකාවේ ලිංගික අධ්‍යපනය ලබා දෙන බවට පවසන කියන කතාවේ අරමුණ ලිංගිකත්වය පිළිබඳ ළමුන්ට දැනුමක් ලබාදීම බවත් එය ගැන නිතර කියන විට හිතේ ඈත කොණක තිබෙන ලිංගික සිතුවිලි මතුපිටට ඒමට පටන් ගන්නා බවත්ය. 

''එතැනදි කරදරයක් නොවන විදිහට වැඩේ කරන හැටි තමයි කියල දෙන්නේ. අපේ සංස්කෘතියේ හැටියට විවාහයට පෙර ගත කරන්නේ බ්‍රහ්මචාරී ජීවිතයක්. පාසල් ළමුන් ඉන්නේ බ්‍රහ්මචාරි කාලයේ. විවාහ වූ පසුව ඒක අලුතින් උගන්වන්න අවශ්‍ය දෙයක් නොවේ. මේක ස්වභාවික ජීවිතයට අදාළ දේවල් අනවශ්‍ය විදිහට හුවා දැක්වීමක්. මේ අධ්‍යාපන වැඩෙන් ලිංගික අපචාර වැඩිවන බව අපගේ හැඟීමයි. මේක ඊනියා බටහිර සංකල්ප අනුව කරන දෙයක්. හිත කය හික්මවා ගත්තොත් මේවා අවශ්‍ය නෑ.''

I කුසුම්සිරි විජයවර්ධන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00