2023 අප්‍රේල් 23 වන ඉරිදා

අලුත් විගණන කොමිසම අලුත් පාරක යයිද?

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 26

අභිනවයෙන් පත් කළ විගණන කොමිසමේ සාමාජිකයෝ පසුගිය 9 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී දිවුරුම් දුන්හ. විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න නිල බලයෙන් එහි සභාපතිවරයා වශයෙන් පත්ව සිටි අතර සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසිලි ගොඩකන්ද, ඥානානන්ද රාජා තේවඥානන්, ඒ.එම්. ධර්මජිත් නයනකාන්ත යන අයයි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පත්වූ විගණන සේවා කොමිසමට විශාල බලතල රුසක් පැවරී ඇති අතර ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි යන්න බොහෝ දෙනකුගේ බලාපොරොත්තුවයි. මෙයට පෙර ජාතික විගණන කොමිසමක් පත්කර තිබුණද විගණන සේවයක් ස්ථාපිත කර නොතිබීම නිසා එය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. මේ වනවිට විගණන සේවයක් ඇතිකර ඇති අතර එහි සේවය කරන්නවුන් විගණන සේවා කොමිසම යටතට පත්කර ඇති නිසා ඔවුන්ගේ ස්වාධිනත්වය ආරක්ෂා වී තිබේ. මෙතෙක් කලක් විගණන නිලධාරින් රාජ්‍ය සේවා කොමිසමට අයත්ව තිබුණු නිසා ඔවුන් සහ සෙසු රාජ්‍ය සේවකයන් අතර වෙනසක් තිබුණේ නැත. දැන් එම තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවාත් හැර විගණන සේවා කොමිසමට මූල්‍යමය ස්වාධීනත්වයද හිමි වී තිබේ. එනිසා එයට වෙනදාට වඩා ස්වාධීනව කාර්යක්ෂම ලෙස සේවය කිරීමේ වාතාවරණය සැලසී තිබේ.

එහෙත් මෙම පරිසරයෙන් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට නම් විගණන කොමිසමේ සාමාජිකයන් මෙන්ම විගණන නිලධාරින්ද නව ආකල්පවලින් යුතුව රාජකාරි කළ යුතුව ඇත. එසේ නොමැතිව ඔවුන් පැරණි ගමන් මගට අවතීර්ණ වන්නේ නම් රාජ්‍ය සේවයේ වංචා දූෂණ සහ අකාර්යක්ෂමතාව තුරන් කිරීම තවදුරටත් සිහිනයක් පමණක් වෙනවා ඇත. විගණන කොමිසමේ කාර්යභාරය හා එය කුමන ආකාර වෙනසකට භාජනය විය යුතුද යන්න පිළිබඳ එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ පැවැත්වූ සාකච්ඡා මෙලෙස සංක්ෂිප්තයෙන් දක්වමු.

විගණන කොමිසමේ කාර්යභාරය සහ එයට තිබිය යුතු ස්වාධීනත්වය පිළිබඳ නම සඳහන් කිරීමට අකැමැති ජ්‍යෙෂ්ඨතම විශ්‍රාමික විගණකාධිපතිවරයෙක් මෙලෙස කරුණු පැහැදිලි කළේය.

''ජාතික විගණන කොමිසම පිහිටුවීමෙන් බලාපොරොත්තු වන විශේෂ කාර්යභාරයක් තිබෙනවා. එය ක්ෂේත්‍ර තුනකින් සමන්විතයි. කාර්යබද්ධ ස්වාධීනත්වය, මූල්‍ය ස්වාධීනත්වය හා පරිපාලන ස්වාධීනත්වය මෙම විශේෂ කාර්යවලට අඩංගු වෙනවා. විගණන කොමිසමක් මගින් වඩාත් ස්වාධීනව කටයුතු කිරීමට විගණකාධිපතිට අවශ්‍ය පරිසරය සැකසෙනවා. ප්‍රමාද වී ස්ථාපිත කළද ස්වාධීන විගණනයක් සඳහා මෙය අත්‍යවශ්‍ය අංගයක්. කෙසේ වුවද විගණන කොමිෂන් සභාව විගණන බලධරයා නොවෙයි. විගණන බලධරයා වන විගණකාධිපතිට අවශ්‍ය සහාය ලබා දීමයි විගණන කොමිසමෙන් සිදුවන්නේ.

විගණන කොමිසමට ඇති කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තියේ දැක්වෙනවා. ඒ අනුව විගණකාධිපතිට රාජ්‍ය විගණනයට අවශ්‍ය පසුබිම හා ස්වාධීනත්වය සපයා තිබෙනවා. අලුත් ජාතික විගණන පනත අනුව 2018 පැවැති තත්ත්වයට වඩා විගණන කාර්යභාරය පුළුල් කර තිබෙනවා. විගණන අධිභාර අයකර ගැනීමේ ශක්තිය වර්ධනය කර තිබෙන බව පැවසිය යුතුයි. විගණන අධිභාර පිළිබඳ විගණකාධිපතිගේ නිර්දේශ අනුව කටයුතු කිරීමට කොමිසමට බලය හිමි වී තිබෙනවා. විගණකාධිපතිවරයාම විගණන කොමිසමේ සභාපතිවරයා වූ විට මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වඩාත් පහසු වෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන්ට අධිභාර අයකර ගැනීමට නියෝග නිකුත් කිරීමට අවකාශ ලැබී තිබෙනවා.

මුදල් රෙගුලාසි අංක 134 අනුව අධිභාර මුදල් අයකර ගැනීමේ කටයුතු අමාත්‍යංශවලට පැවරී තිබෙනවා. අමාත්‍යංශ ලේකම්වරු ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරින් වශයෙන් මේ සඳහා බැඳී සිටිනවා. අධිභාර අයකර ගැනීම සඳහා ජාතික විගණන කොමිසමේ තීරණ අත්‍යවශ්‍ය වෙනවා. නැගෙනහිර ආසියාතික රටවල් වන ජපානය, චීනය, පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව ආදී රටවල විගණන කොමිෂන් සභාවලට විගණනය කිරීමේ බලතල තිබෙනවා. විගණන නිලධාරින් පත් කිරීම සහ පරිපාලන බලතල එම රටවල කොමිෂන්වලට තිබෙනවා. එහෙත් අපේ රටේ විගණන කොමිසමට විගණනය කිරීමේ බලතල නොමැතියි. අපේ විගණන කටයුතු කරන්නේ විගණකාධිපති විසින්. කොමිසම කරනුයේ විගණකාධිපතිට අවශ්‍ය සහාය ලබා දීමයි. මෙහි විගණකාධිපති තනතුර පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල ආකෘතිය මතයි පිහිටා ඇත්තේ. කොමිසමෙන් කරනුයේ විගණකාධිපතිට අවශ්‍ය ස්වාධීනත්වය ලබා දී දේශපාලන බලපෑම් අවම කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17, 19 හා 21 වැනි සංශෝධන අනුව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ අරමුණ වන්නේ දේශපාලන බලපෑම්වලින් ආයතන බේරා ගැනීමයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මූල්‍ය ප්‍රතිපාදන සේවක පරිපාලන පිළිබඳ ගැටලු ඇති වී තිබුණා. එහෙත් 21 සංශෝධනය අනුව එම ගැටලු විසඳී තිබෙනවා. මුලින් රාජ්‍ය සේවා කොමිසම යටතට විගණන සේවා නිලධාරින් පත්ව තිබුණද අද වනවිට ඒ තත්ත්වය වෙනස් වෙලා. එසේම භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට සිදුවීමද ප්‍රශ්නකාරී වුණා. මොකද විගණකාධිපති යටතේ මහා භාණ්ඩාගාරයේ විගණන කටයුතු සිදුවීමේදී අඩුපාඩු පෙන්වා දීමට සිදුවීම නිසා එය වක්‍රාකාර ලෙස විගණන දෙපාර්තමේන්තුවට මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට බලපෑවා. ව්‍යවස්ථාවේ 152 අනුව භාණ්ඩාගාරය පාලනය වන්නේ මුදල් ඇමැති යටතේයි. එහිදී අවශ්‍ය නම් මුදල් ඇමැතිට පුළුවන් විගණකාධිපතිට මුදල් දීම නවත්වන්න. මෙම තත්ත්වය මත මැතිවරණ කොමිසමට සිදු වූ දේ විගණන කොමිසමට වෙයිද යන සැකය ඇතිවී තිබුණා.

කෙසේ වුවද අලුතින් පත්වූ විගණන කොමිසමට පවතින දුෂ්කරතා අභිබවා ගොස් ක්‍රියා කිරීමට ශක්තියක් ඇතිවේ යැයි අපේක්ෂා කරනවා.''
විගණකාධිපති ඩබ්ලිව්.පී. චූලා වික්‍රමරත්න

''විගණන කොමිසමේ ප්‍රථම රැස්වීම (18) දින විගණකාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළා. විගණන කොමිසමේ සභාපති වශයෙන් නිල බලයෙන් විගණකාධිපති පත් වී තිබෙනවා. මෙහි සෙසු සාමාජිකයන් වශයෙන් හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරුන් දෙදෙනෙක්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියට ඉහළ විශ්‍රාමික නිලධාරියකුගෙන් සමන්විතයි.

18දා රැස්වීමේදී ලේකම් කෙනෙක් පත් කළ අතර අනතුරුව ගත යුතු ක්‍රියා පිළිවෙළ ගැන ඇතැම් තීරණවලට එළැඹුණා. විගණන කොමිසම සඳහා තවම ස්ථානයක් නිර්ණය කර නැහැ. ඒ සඳහා කාර්යාලයක් ස්ථාපිත කළ යුතු වෙනවා. එසේම නිලධාරින් පත් කළ යුතු වෙනවා. මෙය විගණකාධිපති කාර්යාලයෙන් වෙන්ව ක්‍රියාත්මක විය යුතුයි. නව විගණන පනත අනුව ස්ථාපිත ශ්‍රී ලංකා විගණන සේවය සඳහා විගණන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා විගණන සේවයේ නිලධාරින් සහ විගණන පරීක්ෂක සේවයේ නිලධාරින්ගෙන් සමන්විත වෙනවා.''

විගණකාධිපතිවරයා පවසන්නේ මුලින්ම ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය තැනිය යුතු බවයි. එයට බඳවා ගැනීම්, උසස්වීම් ක්‍රියා පටිපාටිය හා පරිපාලන ක්‍රියාවලියෙන් සමන්විත විය යුතුයි.

''රාජ්‍ය විගණන සේවා ව්‍යවස්ථාව තැනිය යුතු වෙනවා. එය තැනීමෙන් පසුයි ඉදිරි කටයුතු සිදුවන්නේ. රාජ්‍ය විගණන සේවයට ඇතුළත් වීමට අකැමැති නිලධාරින්ට සේවයෙන් විශ්‍රාම යා හැකියි. නිලධාරින් සම්බන්ධයෙන් මෙතෙක් රාජ්‍ය සේවා කොමිසමට තිබුණු බලතල විගණන සේවා කොමිසමට ලැබෙනවා. එවිට නිලධාරින් පිළිබඳ යම් ස්වාධීනත්වයක් ඇතිවෙනවා. ඔවුන්ට විගණන රාජකාරිවලදී නිදහස් ලෙස තීරණ ගත හැකිවන අතර බලපෑම්වලින් තොරව ඒවා ක්‍රියාත්මක කළ හැකියි. එම ව්‍යවස්ථාව අනුමත වූවාට පසුවයි ඉදිරි කටයුතු ක්‍රියාත්මක වන්නේ.

විගණන සේවා පනත අනුව අධිභාර පැනවීමේදී දැනට ඒ පිළිබඳ බලය ලැබී ඇත්තේ අමාත්‍යංශවල ප්‍රධාන ගණන් ගන්නා නිලධාරින්ටයි. එනම් අමාත්‍යංශ ලේකම්වරුන්ටයි. මේ තත්ත්වය වෙනස් වී එම බලය විගණකාධිපතිට ලැබිය යුතුය යන්න පිළිබඳ 18දා පැවැති කොමිසමේ රුස්වීමේදී සාකච්ඡාවට භාජනය වුණා. එහිදී අවධාරණය වූයේ අධිභාර පැනවීමේ සහ එය ක්‍රියාත්මක කිරීමේ බලය විගණකාධිපතිට හිමිවිය යුතු බවටයි. එයට හේතුව මෙතෙක් කලක් පැවැති ක්‍රමය අනුව එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමයි. අධිභාර පැනවුවද ඒවා අයකර ගැනීමේ බලය නොලැබේ නම් ඉන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මෙම බලතල විගණන කොමිසමට කොමිසමට ලැබෙන පරිදි විගණන පනත සංශෝධනය විය යුතු වෙනවා. එසේ නොවුණහොත් එය තවත් සුදු අලියෙක් බවට පත්වීම වළක්වන්න බැහැ. කොමිසමේ මෙම යෝජනා කථානායකවරයාට ඉදිරිපත් කර පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.''

අප්‍රේල් 21 දින ද විගණන කොමිසම යළි රුස්වීමට නියමිත අතර එහිදී තවත් සුවිශේෂ කරුණු පිළිබඳ තීරණ ගැනීමට අපේක්ෂා කරන බවද විගණකාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති ප්‍රසන්න ඇළපාත පවසන්නේ අලුතින් පත්වූ විගණන සේවා කොමිසමෙන් විගණන ක්ෂේත්‍රයේ යම් නව නැම්මක් ඇතිවිය යුතු බවය. එසේ නොවී පෙර තත්ත්වයට පත්වුවහොත් එයින් බලාපොරොත්තු වන වෙනස සිදු නොවනු ඇතැයි ඔහු කියයි.

''විගණන සේවා කොමිසමේ කාර්යභාරය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ගමන් කරනවා. සේවකයන් පත් කිරීම, උසස් කිරීම් සහ විනය බලධරයා වන්නේ කොමිසමයි. එසේම මූල්‍ය ස්වාධීනත්වය මෙන්ම විගණනය විසින් හඳුනාගනු ලැබූ වංචා, දූෂණ සහ නොසැලකිල්ල පිළිබඳ අධිභාර ක්‍රියාවලිය, රාජ්‍ය විගණනයට අදාළ ප්‍රමිතියක් ඇති කිරීම තුළින් ගුණාත්මකභාවයක් ඇති කිරීම ප්‍රධානයි. වර්ෂ 2016 සිට 2020 දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් විගණන සේවා කොමිසම නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නැහැ කොමිසම පත්වූ පසු අද දක්වාම වෙනසක් දක්නට ලැබුණේ නැහැ.

එසේ වුවද දැනට පත්වී ඇති විගණන කොමිසම ඉදිරියේදී තම කාර්යභාරය හඳුනාගෙන වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාවි කියලා අප බලාපොරොත්තු වෙනවා. තවම රාජ්‍ය අංශයේ වංචාව හා දූෂණය ඉවත් කිරීම නිවැරදිව සිද්ධ වී ඇති බවක් පෙනෙන්නට නැහැ. දැන්වත් එය නිවැරදිව සිදුවිය යුතුයි. මෙයට කලින් බොහෝ විට විගණන කටයුතු හා අධිභාර පැනවීම ආදිය ගැන නිතරම නීතිපතිගෙන් මත විමසීම් සිදු කළා. 

එහෙත් එලෙස නීතිපතිගෙන් ලබාගත් මතයන් නිවැරදිද යන්න ප්‍රශ්නකාරී වුණා. විගණන පනතේ විධිවිධාන ක්‍රියාත්මක වීමට නීතිපති මතය ඇතැම්විට බාධා වූ බව දැනගන්නට ලැබුණා. ඒ මතය පිහිටා කටයුතු කිරීම අවශ්‍ය නොවන බව අපේ අදහසයි. මතයක් විමසිය යුත්තේ යමක් ක්‍රියාත්මක කරන විට නීතියේ යම් ව්‍යාකූලභාවයක් තිබේ නම් එය විසඳා ගැනීම සඳහායි. එසේ නැතිව ඊට පෙර මත විමසීම අවශ්‍ය නැහැ.

කොමිෂන් සභා පත්කිරීමේ මූලික අරමුණ ඒවායේ ක්‍රියාකාරිත්වය විධායකයෙන් ස්වාධීන කිරීමටයි. එහෙත් විධායකයේ බලපෑම නිසා පසුගිය සමයේ රාජ්‍ය විගණන සේවය පිහිටුවීමට අපොහොසත් වුණා. අද පත්වූ විගණන කොමිසමට නීතියේ වෙනස්වීමක් සිදුව නැහැ. තවමත් බලපවත්වන්නේ මුල් ව්‍යවස්ථාවයි. ඒ නිසා යළිත් පරණ තත්ත්වයට ඇදවැටේ යැයි සැකයක් පවතිනවා. කොමිසමට අලුතින් පත්වූ අය අලුතින් සිතන්න ඕනෑ. ඒ අය කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු වෙනවා. ස්වාධීනත්වයට බලපෑම් ඇති කළහොත් නීතියෙන් දඬුවම් දිය හැකියි. එහෙත් එය ඉටුවී තිබේද යන්න ගැටලුවක්. කොමිසමට කාර්යබද්ධ ස්වාධීනත්වයක් තිබිය යුතුයි. මහජනතාවට ස්වාධීනව කටයුතු කිරීම අවශ්‍යයි. පසුගිය කොමිසම ජනතාවට තබා වෘත්තීය සමිතිවලට පවා සාකච්ඡාවක් ලබා දුන්නේ නැහැ.

රාජ්‍ය විගණන සේවයට විධායකයට යට නොවී පැවරී ඇති බලතල අනුව කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය ලැබේ යැයි අප අපේක්ෂා කරනවා. අධිභාර ගැන විගණකාධිපතිට තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පාර්ලිමේන්තුවට හා රහස්‍යභාවයට බලපෑම් ඇතිවෙන බවට නීතිපති දුන් මතය ඒ අයුරුම ක්‍රියාත්මක වුවහොත් සියලු කටයුතු අඩපණ වනවා ඇති. පැරුණි කොමිසමේ අඩුපාඩු නිදොස් කර ක්‍රියාත්මක කළ යුතු යැයි අපි අපේක්ෂා කරනවා.

විගණන ප්‍රමිති සකස් කිරීම පසුගිය කොමිසම කළේ නැහැ. අපි එයට අභියෝග කර අධිකරණයේ නඩු පැවරුවා. කොමිසම ප්‍රමිති සකස් කිරීම හා රාජ්‍ය ව්‍යවසායන් තුළ සිය සුවිශේෂ කාර්යභාරය ඉටු කළා නම් එහෙම කළ යුතු වන්නේ නැහැ. විගණන පනතින් පෙන්වා දී ඇති කාර්යභාරය හඳුනාගෙන මුලින් කී කරුණු හතරට සමාන්තරතාවයක් ඇතිවිය යුතුයි.''

I යසවර්ධන රුද්රිගූ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00