2023 අප්‍රේල් 23 වන ඉරිදා

ගල් කුඩුවලින් චිත්‍ර අඳින සචිනි

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 45

සචිනි දෙව්මිනි සුපුන්සරා, ඇහැලියගොඩ ජීවත්වන තරුණියකි. චිත්‍ර කලාවට කුඩා කළ සිටම ඇළුම් කළ සචිනි හරි අපූරුවට චිත්‍ර නිර්මාණ කොට එය ව්‍යාපාරයක් ලෙසින් පවත්වාගෙන යන සාර්ථක ව්‍යාපාරිකාවකි. ඇයගේ චිත්‍රවල සුවිශේෂීකමක් ඇත. ඇයගේ චිත්‍ර නිර්මාණය පතල්වලින් ඉවතලන කුඩා ගල් කැට උපයෝගී ගරගනිමින් සිදු කිරීම එම විශේෂත්වයයි. විවිධ වර්ණයෙන් යුත්, විවිධ හැඩයෙන් යුත් ගල්කැට උපයෝගී කර ගනිමින් සචිනි හරි අපූරු චිත්‍ර නිර්මාණ කරන්නීය.

''මගේ ගම බුත්තල. දැන් පදිංචිවෙලා ඉන්නේ ඇහැලියගොඩයි. මම මේ චිත්‍ර නිර්මාණය කරන්නේ පතල්වලින් ලැබෙන විශාල වටිනාකමින් යුත් ගල්වලින් නොව අඩු වටිනාකම්වලින් යුතු ගල්වලිනුයි. මේ චිත්‍රවලට ලබාගන්න ගල්වලින් ආභරණ හදන්න බැහැ. ඒ නිසා පතල්වලින් ඉවත් කරන ගල් ගෙනත් ඒවාවලින් තමයි මම මේ චිත්‍ර නිර්මාණය කරන්නේ. ඒ ගල් මුලින්ම කුඩාවට කඩනවා. ඒවා පින්තූරයේ අලවනවා. ඒක හරිම සියුම්ව, පරිස්සමින් කළයුතු දෙයක්.'' යැයි සචිනි දෙව්මිනි දේශයට අදහස් දක්වමින් පැවසීය.

සචිනි දෙව්මිනි අවුරුදු විසිපහක් වයසැති තරුණියකි. මෙවැනි අපූරු චිත්‍ර නිර්මාණකරණය සචිනිට පෙර ආරම්භ කරන ලද්දේ ඇගේ පියාය. ඔහු නමින් සමන් අජිත් ය. ඒ අනුව මෙහි සැබෑ නිර්මාණකරුවා වන්නේද ඔහුයි. පතල්වලින් ඉවතලන මෙවැනි ගල් එකල බොහෝ පිරිසක් නිවෙස්වල අත්තිවාරමට එකතු කළහ. ඇතැමුන් එවැනි ගල් නැවත පතල්වලටම දමා වැසූහ. නමුත් මෙවැනි විවිධ වර්ණයෙන් යුත් ගල්වලින් යම් ප්‍රයෝජනයක් ගත හැකි යැයි සිතූ සමන් එවැනි ගල්කැට කිහිපයක් නිවෙසට ගෙනැවිත් ''මේවායින් කුමක් කරන්නද'' යැයි කල්පනා කළේය. ඔහුට චිත්‍ර ඇඳීමේ හැකියාව තිබුණි. ඒ නිසාම ඔහු පතලින් ගෙනා ගල්කැට කුඩාවට කුඩු කොට එයින් චිත්‍රයක් නිර්මාණය කරන්නට පන් ගත්තේය. එය ලංකා සිතියමකි. ඉතා පරිස්සමට කළ ඒ නිර්මාණයේ හරි අපූර්වත්වයක් ඔහු දැක්කේය. ඔහු සතුටු වුණා පමණක් නොව බොහෝ දෙනකුගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ඔහුට ලැබුණි. එතැන් සිට සමන් පතල්වලින් ඉවත දැමූ ගල්වලට වටිනාකමක් එකතු කළේය. ඒ වටිනාකමින් නිර්මාණය කළ චිත්‍රවලට හොඳ වෙළෙඳපොළක්ද නිර්මාණය විය. සමන් විසින් මුල්ම වතාවට නිර්මාණය කරන ලද ලංකා සිතියම රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෙක් මිලදී ගත්තේය. ඒ රුපියල් පන්සීයකටය.

''මම ඉපදෙන්නටත් කලින් ඉඳන්ම තමයි තාත්තා මේ චිත්‍ර ව්‍යාපාරය පටන් ගත්තේ. මම පුංචි කාලේ ඉඳන්ම දැක්කේ තාත්තා කරන මේ නිර්මාණයි. පතල්වලින් ගෙනාපු පාට පාට ගල්කැට මම දැක්කා. ඒ නිසාම පුංචි කාලේ ඉඳන්ම මටත් චිත්‍ර අඳින්න හැකියාව ලැබුණා. මට තාම මතකයි තාත්තා චිත්‍රවලට ගල් අල්ලද්දී මාත් මා ඇඳපු චිත්‍රයක තාත්තා දෙන ගල්කැට ඇලෙව්වා. මුලදී සමහර ඒවා පිළිවෙළට ඇලවෙන්නෙත් නැහැ. හැබැයි මගේ ඒ වයසේ දරුවෙක්ට වඩා මම ඒවා ඒ කාලේදී කළා කියල තාත්තයි අම්මයි කිව්වා. කොහොම හරි ටිකින් ටික මමත් ඒ චිත්‍ර කලාවට ඇළුම් කළා. මම ඉගෙන ගත්තේ බුත්තල දුටුගැමුණු විදුහලේ. ඉස්කෝලේ දහය වසර වෙද්දී මට තනියම චිත්‍රයක් ගල්වලින් නිර්මාණය කරන්නට පුළුවන් වුණා. එතැන් සිට මම මේ කලාව කරනවා. අද වෙද්දී මම තනියම මේ නිර්මාණකරණයේ යෙදිලා ඉන්නවා'' යැයි සචිනි දෙව්මිනි වැඩිදුරටත් දේශයට පැවසීය.

සචිනි වැඩිපුරම ඇළුම් කරන්නේ මිනිස් චරිතවල රූප ගල්කැටවලින් චිත්‍රයට නැගීමටය. අද වනවිට ලංකාවේ පමණක් නොව විදෙස් රටවල බොහෝ ප්‍රසිද්ධ ජනප්‍රිය චරිත චිත්‍රයට නගා ඇත. එපමණක් නොව ඇතැම්හු තමන්ගේ හෝ තම හිතවතකුගේ ඡායාරෑපයක් සචිනිට බාර දී ගල්කැටවලින් චිත්‍රයක් නිර්මාණය කර ගනිති. එලෙස ඡායාරෑපයක් සචිනිට ලබාදීමෙන් පසුව පළමුව සචිනි එහි පිටපතක් ඇඳ එය කුඩා ගල්කැටවලින් සියුම්ව පුරවා ගනී. රෑපයේ කුඩා ඉරි සචිනි අඳින්නේ ගල් කුඩුවලිනි. සාමාන්‍යයෙන් එක චිත්‍රයක් නිර්මාණය කර ගැනීමට අඩුම තරමින් සචිනිට දින තුනක් පමණ ගතවේ. ඉල්ලුමේ හැටියට චිත්‍රවල ප්‍රමාණයද එකිනෙකට වෙනස් වේ. ඕනෑම ප්‍රමාණයේ චිත්‍රයක් නිර්මාණය කිරීමට සචිනිට හැකියාව ඇත.

''මගේ චිත්‍රවලට ලංකාවේ විතරක් නෙවෙයි පිටරටවලින් ඉල්ලුමක් තිබෙනවා. අපේ චිත්‍ර ඉන්දියාව, ජපානය, චීනය, ඇමෙරිකාව වගේ රටවල්වලටත් අරගෙන ගිහින් තිබෙනවා. අපේ වැඩපලක් බුත්තල තිබුණා. දැන් මම මේ හැමදේම කරන්නේ ගෙදර ඉඳගෙනයි. මම තනියම කරන නිසා ගෙදර ඉඳන් කරන්න ලේසියි. ඉස්සරට වඩා දැන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. ලංකාවේ අපේ චිත්‍රවලට ලොකු ඉල්ලුමක් රත්නපුර, කොළඹ, නුවර වැනි පැතිවලින් තිබෙනවා. මගේ අම්මාගෙන්, තාත්තාගෙන්, මල්ලිගෙන් වගේම මගේ සැමියාගෙනුත් ලොකු සහයෝගයක් මට මේ ව්‍යාපාරයට ලැබෙනවා. ඒක මට ලොකු හයියක්. සීගිරිය, දළදා මාළිගාව වැනි පූජනීය ස්ථානවල ඡායාරෑපවලටත් විශාල ඉල්ලුමක් තිබෙනවා. මේක ඉතා පරිස්සමින්, සියුම්ව කළයුතු කලාවක්. ඒ වෙනුවෙන් ඉතා සාධාරණ මුදලක් තමයි අය කරන්නේ. මේ හැම ඡායාරෑපයකම කිහිප වතාවක් ඉහළට ගල් අල්ලන්න ඕනේ. මේ එක චිත්‍රයක් අඳින්න මට ලොකු කාලයක් ගත කරන්න ඕනේ. හැබැයි මේ හැම චිත්‍රයක්ම මම කරන්නේ හරිම ආසාවෙන්. අපේ වැඩපොළ අපෙන් නැතිවුණාට පස්සේ තාත්තා ගොඩක් දුක් වුණා. එයා මානසිකව දුර්වල වුණා. හැබැයි කොහොම හරි තාත්තා කරපු ව්‍යාපාරය මම  ආයෙත් පටන් ගන්නව කියල හිතල තමයි මේ චිත්‍ර කලාව ආයෙත් පටන් ගත්තේ. දැන් ඒක ගොඩක් දියුණුවෙලා තිබෙනවා. ඒ නිසා මේ වෙනුවෙන් මට උදව් කරන මගේ තාත්තාටත්, මගේ අම්මාටත්, මගේ මල්ලිට වගේම මගේ සැමියාටත් ගොඩාක් ස්තූති කරනවා. කවදාහරි දවසක මේ ව්‍යාපාරය හරහා හොඳ ව්‍යාපාරිකාවක් වෙන්නත් අපේ මේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට ගෙනයන්නත් බලාපොරොත්තු වෙනවා. පුංචි කාලේ ව්‍යාපාරිකාවක් වෙන්න හීන දැකපු මගේ ඒ හීනය අද හැබෑ වෙලා.''

I දිශානි ජයමාලි කරුණාරත්න