2023 අප්‍රේල් 23 වන ඉරිදා

අපේ තේ වලින් ළදරු සබන්!

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 147

තේවලින් මොනවාද කරන්නේ කියලා ඇහුවොත් හැමෝම කියන්නේ බොනවා හැර වෙන මොනා කරන්නද? කියා යැයි විශ්වාසය. තේ අපනයනයෙන් ඉහළින්ම සිටින රට හැටියට ලංකාවේ අපිට තේ සමඟ සම්බන්ධය ඇත්තේ එපමණය. ලෝකයේ හොඳම තේ හදන අපේ රටේ කීයෙන් කී දෙනකු සැබෑ තේ කෝප්පයක් රස විඳ ඇතිදැයි සැක සහිතය. ඒ කෙසේ වෙතත් තේවලින් තවත් බොහෝ දෑ කළ හැකි බව දැනගත්තේ තලවකැලේ තේ පර්යේෂණායතනයට අප ගිය විටය. තේවල රසායන සංඝටක 750ක් පමණ ඇත්තේය. වොලටයර් නැතිනම් සුවඳකාරක සංඝටක 500ක් 600ක් පමණ ඇත්තේය. බොහෝ රටවල තේ පානයක් විදිහට වඩා එයින් වෙනත් නිෂ්පාදන සිදුකරනවා දැකිය හැකිය. ලංකාවේ ප්‍රධාන තේ පර්යේෂණායතනය විදිහට තේවලින් තව මොනවාද කළ හැකි කියා පර්යේෂණ සිදුකිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵල මේ වනවිට සාර අස්වැන්නක  නිමිති පළකර ඇත්තේය. එසේම කොරෝනා වෛරසය විනාශ කිරීමට හැකි රසායන සංඝටක තේවල අඩංගු බවටත් පර්යේෂණවලින් සොයාගෙන තිබේ.

විදෙස් රටවල මෙවැනි පර්යේෂණ අත්හදාබැලීම් ඔස්සේ යමින් තලවකැලේ තේ පර්යේෂණායතනය විසින් මේ වනවිට පර්යේෂණ රුසක් සිදුකර තිබේ. ඒ අනුව තේවලින් නිෂ්පාදන ගණනාවක අත්හදා බැලීම් සිදුකරමින් සිටියි. එම අත්හදාබැලීම්වලින් සාර්ථක වූ නිෂ්පාදනද මේ වනවිට ඇත්තේය. තේවලින් වයින් හදන්න පුළුවන් බවත්, තේවලින් ළදරු සබන් හදන්න පුළුවන් බවත්, තේවලින් සෝස් හදන්න පුළුවන් බවත් අපි දැනගත්තේ තලවකැලේ තේ පර්යේෂණායතනයට ගොඩවැදුණු විටදීය. එහෙයින් මේ විශේෂතාව සම්බන්ධයෙන් අපි සොයා බැලුවෙමු.

තලවකැලේ තේ පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය කීර්ති මොහොට්ටි මහතාගේ දැනුම්දීමෙන් අපට මෙම නිෂ්පාදන සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සම්බන්ධ වූයේ තලවකැලේ තේ පර්යේෂණායතනයේ තාක්ෂණික හුවමාරු අංශ ප්‍රධානී ආචාර්ය මහසෙන් රණතුංගය. 

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වයින් ඇත්තේ මිදිවලින් හදන වයින්ය. එහෙත් තේවලින් වයින් හදන්නට ගත් උත්සාහය සාර්ථක වී ඇති අතර තේවලින් වයින් නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට හැකිවී ඇත්තේ 2005 දීය. දැනට අපේ රටේ වයින් නිෂ්පාදනය නොවෙන තරම්ය. මෙරට අනෙක් වයින් හා සැසදීමේදී මෙහි ඇති විශේෂත්වය වනුයේ ලංකාවේ නිෂ්පාදනයක් වීමම නොවේය. ස්වභාවික තේවල ඇති ගුණාත්මක සෞඛ්‍යමය ප්‍රතිලාභත් තේවලට ආවේණික රස සහ සුවඳ තේ වයින්වලින් ලබාගැනීමට පාරිභෝගිකයාට හැකිවීමය. ලංකාවේ තේ වගාකරන කලාප කාණ්ඩ 7 කට වෙන් කර ඇති අතර එයින් තලවකැලේ ආශ්‍රිත දිඹුල බී.ඕ.පී (BOP) තේ වර්ගය මෙම වයින් නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇත්තේය.  යුරෝපය සහ එංගලන්තය ආදී රටවල අපේ රටේ මෙම දිඹුල බී.ඕ.පී තේ වර්ගයට වැඩි ඉල්ලුමක් ඇත්තේය. මෙම තේ වයින් රතු වයින් එකක් විදිහට සාදා ඇත්තේය. සාර්ථක 

පර්යේෂණයක් විදිහට මෙය නිෂ්පාදනය කිරීමෙන් පසු වෘත්තීයමය වයින් රස පරීක්ෂකවරුන්ගෙන්  රස පරික්ෂාවක් ද සිදුකර ඇත. රාජ්‍ය ආයතනයකින් සිදු කරන යම් නිෂ්පාදනයක් නිෂ්පාදනයෙන් පසු පාරිභෝගිකයා අතට පත් වීමට යම් කාර්ය පටිපාටියක් සපුරාලිය යුතුය. අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස තලවකැලේ තේ පර්යේෂණායතනය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටත්ව අභිලාෂ කැඳවමින් මෙම නිෂ්පාදනය දේශීය සහ විදේශීය වෙළෙඳපොළට හඳුන්වාදීමට අවශ්‍ය වාණිජමය කටයුතු සඳහා අදාළ ආයතන සමග එක් වී මේ වනවිට එම කටයුතු සිදුකරයි. 

ඒ වගේම අමු තේ දලුවලින් සෝස් නිෂ්පාදනයක් සිදු කිරීමට තලවකැලේ තේ පර්යේෂණායතනය සමත් වී ඇත. මේ සඳහාත් පේටන්ට් බලපත්‍රය ඉල්ලුම් කර ඇත්තේය. වෙළෙඳපොළේ ඇති බොහෝ සෝස් වර්ග රතු පාට වන අතර තේවලින් නිෂ්පාදනය කරන මෙම සෝස් වර්ගය කොළ පැහැ ගනී. එසේම ගම්මිරිස් ආදී අනෙක් කුළු බඩු වර්ග මුසු කර ඇත්තේය. මෙම සෝස් වර්ගයේ ඇති තවත් විශේෂත්වයක් වනුයේ අනෙක් සෝස් වර්ගවලට වඩා මෙහි අඩංගු සීනි ප්‍රමාණය අතිශය අඩු මට්ටමකින් නිෂ්පාදනය කිරීමය. අපේ රටේ සෝස් නිෂ්පාදකයන් සැලකීමේදී මහා පරිමාණ නිෂ්පාදකයන්ට වඩා සුළු පරිමාණයේ නව ව්‍යවසායකයෝ බොහොමයක් සිටිති. එහෙයින් සෝස් නිෂ්පාදනය කිරීමට හැකි නව ව්‍යවසායකයන්ට තලවකැලේ තේ පර්යේෂණායතය සමග සම්බන්ධ වී තාක්ෂණික හා දැනුම සහ උපදෙස් ලබාගැනීමට හැකි වන බවත් රණතුංග මහතා පැවසුවේය. සාමාන්‍ය සෝස්වල එහා ගිය තේ සෝස්වල පමණක් අඩංගු එයට ආවේණික විශේෂතා පිළිබඳ විශ්ලේෂණ වාර්තා මේ වනවිට කැඳවා ඇත. 

ලංකාවේ සබන් නිෂ්පාදනය බොහෝ ග්‍රාමීය කර්මාන්තයක් විදිහට සිදුකරන සුළු ව්‍යවසායකයෝ බොහොමයක් සිටිති.  තේවල ඇති සංඝටකවලින් සබන් නිෂ්පාදනයටත් තලවකැලේ තේ පර්යේෂණායතනය උත්සාහයක් ගෙන ඇත්තේ එනිසාමය. මෙය තේවලින් නිෂ්පාදිත ළදරු සබන් කැටයක් ලෙස හඳුනාගත හැකිය. තේවල අඩංගු සංඝටකයක් වන කැපචින් මෙම ළදරු සබන් නිෂ්පාදනය කිරීමට යොදාගෙන ඇත. සබන් නිෂ්පාදනයේ සාමාන්‍ය ක්‍රියාවලිය භාවිතයෙන් මෙම සබන් නිෂ්පාදනය සිදුකර ඇති අතර මෙහි විශේෂත්වය ඇත්තේ තේවලින් ළදරු සබන් නිෂ්පාදනය සිදුකර තිබීමයි.

තලවකැලේ තේ පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය කීර්ති මොහොට්ටි මහතාගේ උපදෙස් මත  ජෛව රසායන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය නෙළුම් පියසේන මහත්මිය සහ තාක්ෂණික හුවමාරු අංශ ප්‍රධානී ආචාර්ය මහසෙන් රණතුංග මහතා මෙම නවෝත්පාදන බිහිකරලීමේලා මෙහෙයුම් කටයුතු සිදුකරති. 

ලංකාව තේ අපනයනයෙන් විදේශ විනිමය උපයන්නේය. ලෝකයේ තේ අතර සිලෝන් තේ නාමය බබළන්නේය. එහෙයින් තොග ගණනින් අපනයනය කරන තේවලට අගය එකතු කර අපනයනය කළ හැකි නම් දැනට වඩා වැඩි වටිනාකමක් එම සිලෝන් තේවලට ලැබෙන්නේය. එය විදේශ විනිමය ලැබීමේදී වඩාත් ඵලදායී වනු ඇත.ඒ අර්ථයෙන් තලවකැලේ තේ පර්යේෂණායතනයේ උත්සාහය අගය නොකරම බැරිය. 

(විශේෂ ස්තුතිය - තේ පර්යේෂණායතනයේ හිටපු අධ්‍යක්ෂ  සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්.කේ හෙට්ටිආරච්චි මහතා)
(ඡායාරූප -  තේ පර්යේෂණායතනයේ නිල වෙබ් අඩවියෙනි)

♦ සසංක චලන ගිම්හාන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00