2023 අප්‍රේල් 23 වන ඉරිදා

අලි අගලෙන් ගාණ කපන්නට ගොස් මඩේ එරුණු බලවත්තු

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 171

අප රට අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ වූ රටකි. මෙම ගැටුම නිසා ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යවක් මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මේ නිසා අහිමිවන මිනිස් ජීවිත ගැන සැලකූ විටත් අප දෙවැනි වන්නේ අසල්වැසි ඉන්දියාවට පමණි. මේ නිසා අලි වැට ඉදිකිරීම බොහෝ වනාන්තරබදව සිදුකර ඇත්තේ රුපියල් මිලියන සිය ගණනින් වැය කරමිනි. නමුත් බොහෝ විදුලි වැට නිසි නඩත්තුවකින් තොරවීම නිසා අබලන් වී ඇත. මේ නිසා අලි සුපුරුදු පරිදි ගම්වැදීම සිදුවේ. අලි ඇතුන් ගම්වැදීම වැළැක්වීමට සොයාගත් ආණ්ඩුවේ අලුත්ම විසඳුම අලි අගල් කපා අලි පැමිණීම වැළැක්වීමට කටයුතු කිරීමයි. අලි අගල්වලින් පස් හා වැලි ජාවාරමක් මහා පරිමාණයෙන් කිරීම දේශපාලන අනුහසින් පටන්ගත් අතර ඒ ගැන පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුවක් සලකා බැලූ ශ්‍රෙෂ්ඨාධිකරණය අලි අගල් කැපීම වහාම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට  නියෝගයක් නිකුත් කිරීම පරිසරවේදීන්ට සතුටුදායක ආරංචියකි. 

අලි අගල් බාර ඇමැතිවරයෙක් ද පසුගිය ආණ්ඩුවෙන් පත්කෙරිණි. අලි-මිනිස් ගැටුම් කළමනාකරණ පථය අයත් වෙන්නේ වනජීවී රුකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයටය. 

පසුගිය ආණ්ඩු කාලයේ අලි අගල් කැපීම විල්පත්තු ජාතික උද්‍යානයේ නැගෙනහිර මායිමෙන් ආරම්භ කෙරුණේ උත්සවාකාරයෙනි. මේ වන විට ලාහුගල ජාතික උද්‍යානයේ බටහිර මායිමේ සහ උඩවලවේ ජාතික උද්‍යානයේ දකුණු මායිමේද අගල් කැණීම් සිදුකර තිබේ. ලුණුගම්වෙහෙර, වස්ගොමුව සහ මාදුරුඔය ජාතික උද්‍යානවල මායිම් ද තඹුත්තේගම වනාන්තර අවටද අගල් කැණීම සඳහා තෝරාගෙන තිබේ. 

නමුත් අගල් කපා ටික කලකින් වැටහුණේ අලින්ට එය විශාල අභියෝගයක් නොවන බවය. අගල්වලින් පැන අලිඇතුන් කෑම සොයා යාම පටන් ගත්හ. ඒ සඳහා උදාහරණ පැල්වත්ත සීනි සමාගමට අයත් වගා ඉඩම් වටා කැපූ අගල්වලින් මෙන්ම  ලුණුගම්වෙහෙර ජාතික උද්‍යාන  මායිමේත්,  කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව කත්නෝරුව ප්‍රදේශයේත් අත්හදා බැලීම අසාර්ථක වූ බව පවසන්නේ හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයකුවන ආචාර්ය සුමිත් පිලපිටියයි. විද්වතුන් එසේ පැවසුවද අලි අගල් තවමත් විශාල මුදලක් නාස්ති කරමින් කපමින් එය ජාවාරමක් බවට පත් කරගෙන තිබේ. අම්පාර ප්‍රදේශයේ කසළ බැහැර කරන ස්ථානයක අලින් කසළ අනුභව කරන බවට ප්‍රචාරය වූ අතර වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය එම ප්‍රදේශය වටාත් අගල් ඉදිකිරීමට කටයුතු කළේය. අගල් කපා දින කිහිපයක් ඇතුළත අලි ඇතුන් නැවත කුණු කෑමට පැමිණ තිබුණි.   

ඒ අතර නිසි අවසරයකින් තොරව අලි අගල් කැපීම නිසා වනාන්තර පවා විනාශ වන  බවට පසුගිය කාලයේ අසන්නට ලැබුණි. මේ අතර ජාතික විගණන කාර්යාලයේ වාර්තාවකින් කියැවුණේ අලි අගලක්  කැපීම සඳහා  අදාළ නොවන ගොඩනැගිලි ඉදිකිරීමේ මිල ගණන්  පදනම් කරගෙන ඇස්තමේන්තු සකස් කිරීම නිසා  2021 දී නියමිත පිරිවැයට වඩා  රුපියල්  දෙකෝටි, අසූහතර ලක්ෂ, හැත්තෑ අට දහස්, හත්සිය තිස් හයක, මුදලක් වැඩිපුර ගෙවා ඇති බවයි. වන  සත්ත්ව සංරක්ෂණ අරමුදල සම්බන්ධයෙන් කරනු ලැබූ වාර්ෂික විගණන වාර්තාවේ ඒ බව සඳහන්ය. යෝජිත ලුණුගම්වෙහෙර, අලි රුඳවුම් මධ්‍යස්ථානය සඳහා මෙම අලි අගල කැපීමේ ව්‍යාපෘතිය ආරම්භ කොට තිබුණි.

මේ අතර අගල් කැපීමේ ව්‍යාපෘතිය යටතේ නිත්‍යානුකූල නොවන අයුරින් කිලෝමීටර්   55ක අගල් කපා වැලි සහ පස් ඇද ඇතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී පැවසීය.   

පසුගියදා නියෝගයක් නිකුත් කළ නඩුව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පවරා තිබුණේ   අලි අගල් කැපීමේ මුවාවෙන් විශාල පරිසර විනාශයක් සහ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන බවට චෝදනා කරමිනි. එහිදී පෙත්සම්කරුවන් විසින් නඩුව පැවරීමේදී සඳහන් කර තිබුණේ වනජීවී සහ වන සංරක්ෂණ කලාප ආශ්‍රිතව, වන සංරක්ෂණ ආඥා පනත සහ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට පටහැණිව සහ ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික පනතේ ඇති පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ප්‍රතිපාදනවලට පටහැණිව අලි අගල් කැපීමේ මුවාවෙන් විශාල අගල් කැපීමක් සහ පස් ජාවාරමක් සිදුවන බවයි. මෙහිදී පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට කියා සිටියේ මෙම පස් ලබාගැනීම සඳහා කිසිදු අවසරයක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීමේ කාර්යාංශයෙන් ලබාගෙන නොමැති බවයි.

පස් කැණීම් සිදුකරන පුද්ගලයන් රජයට හිමිවිය යුතු රාජ්‍ය භාග ගෙවා නොමැති බවටත්, එසේම පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රමවේදයට අදාල නීති රීති අනුගමනය කර නොමැති බවටත්, වනජීවී කලාපයක සිට සැතපුමක් ඇතුළත මෙවැනි ව්‍යාපෘතියක් සිදුකරන්නේනම් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ඇති පරිසර තක්සේරුවට අදාළ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවටත් පෙන්වා දී තිබිණි.

තවදුරටත් පෙන්වා දුන්නේ රජය මගින් පත්කළ විශේෂ කමිටුව මගිනුත් මෙම අලි අගල් කැපීම අලි-මිනිස් ගැටුම වළක්වා ගැනීම පිණිස සදහා වන පිළිගත හැකි ක්‍රමයක් නොවන බවට නිර්දේශ කර ඇති බවයි. එසේ ප්‍රතික්ෂේප කර තිබියදීත් දිගටම අගල් කපන්නේ එය දේශපාලනඥයන් ජාවාරමක් බවට පත්කරගෙන තිබූ හෙයින් බවට සැකයක් නැත. මෙහිදී  පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සමඟ නීතිඥ සවන්ති පොන්නම්පෙරුම සහ නීතිඥ සමාධි හංසනී යන අය පෙනී සිටියහ. වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය ඇතුළු කණ්ඩායමක් පෙනී සිටියහ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව ඉදිරියට ගෙන යාමට අවසර ලබාදුන් අතර සිදුවූ විශේෂම දෙය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් ලබාදෙමින්, මෙම නඩුව අසා නිමවන තුරු අලි අගල් කැපීම වහාම නතර කිරීමට පියවර ගැනීමයි. එම නියෝගය නිකුත් කරන ලද්දේ සියලුම වගඋත්තරකරුවන්ට එරෙහිවය.

ඒ අනුව පොලිස්පතිවරයාත්, වන ජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයාත් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මේ නියෝගවලට බැඳී කටයුතු කළ යුතු වන බව පෙන්වා දෙන ලද අතර තවදුරටත් විවාදය සඳහා නඩුව සැප්තැම්බර් මස 22 වැනි දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කරන ලදී.

මේ සිද්ධිවලින් අපට පේන්නේ අපේ රට කෙතරම් ජරාජීර්ණ වූ දූෂිත රටක් ද යන්නයි. අම්මා තාත්තා පවා උකස් කර සල්ලි හෙවීම දේශපාලනඥයන් ඇතුළු ජාවාරම්කරුවන්ට සුළු දෙයකි. අලි අගල්වලට මේ දිනවල වැට බැඳී ඇතත් ජාවාරමුන් එය යළිත් පටන් ගැනීමට කැස කවන බව නම් රහසක් නොවේ. සමහරවිට ලෝකයේ කිසිම රටක නොකළ අයුරින් අගල්වලට ඇමැති පට්ටමක් දෙන්නට ඇත්තේ ඒ මගින් ගාණක් හොයාගන්නට වන්නටත් පුළුවන. 

♦ කුසුම්සිරි විජයවර්ධන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00