ආර්ථිකය වලපල්ලට යමින් තිබුණත් බංකොලොත් රටට තරමක හෝ විදේශ විනිමය නැතිනම් ඩොලර් ලැබෙමින් ඇත්තේ ඇඟලුම් ව්‍යාපාරය හේතුවෙනි. ලංකාවේ ආර්ථික උද්ධමනය හමුවේ ආයෝජකයන්ට මේ රටේ ව්‍යාපාර අත්හිටුවීම ලාභදායී වුවත් ඔවුන් ඊට ඉක්මන් වී නැත. එසේ මෙරට ව්‍යාපාර අත්නොහැර සිටින විදේශික ආයෝජකයන්ට මෙරට උද්ධච්ච දේශපාලකයන්ගේ නූගත් ගෝල බාලයන් මැර ප්‍රහාර එල්ල කිරීම පහත් ක්‍රියාවකි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ උගතුන්, බුද්ධිමතුන් රට හැර යාම පිළිබඳව ජනපතිවරයාගේ අවධානය යොමුව ඇති පසුබිමක මෙරට සිටින විදේශික ආයෝජකයන් මෙරට ව්‍යාපාර අත්හිටුවා යාමට පියවර ගැනීම බරපතළ ගැටලුවක නිමිත්තකි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ බඩල්ගම කටාන, හල්පෙ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන 'අල් ඔබෙයිදානි ඇපරල්' පෞද්ගලික ආයතනයේ හිමිකරුට පහරදීමේ සිදුවීම හරහා දැන් උද්ගතව ඇත්තේ එවැනි තත්ත්වයකි. ඕමාන් ජාතික ව්‍යාපාරිකයකු වන හල්ෆාන් අල් ඔබෙයිදානි මහතා ආයෝජකයකු වශයෙන් මෙරටට පැමිණ ඇඟලුම් කර්මාන්ත ආයතනයක් ආරම්භ කොට තිබුණේ මීට වසර දහයකට පමණ ඉහතදීය. එදා පටන් මෙරට තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා ලබාදෙමින් පවත්වාගෙන ගිය ආයතනයේ සේවක සේවිකාවෝ 350 ඉක්මවා සේවය කරති.
අක්කර දොළහක පමණ භූමියක් පුරා විහිදී ඇති කර්මාන්තශාලාව වටා ඉදිකළ තාප්පයකි. කර්මාන්තශාලාවට තරමක් දුරින් පිහිටා තිබුණේ ඕමාන් ජාතික ආයෝජකයාගේ නිල නිවෙසය. නිරතුරුවම එහි රුඳී සිට තිබුණේ ව්‍යාපාරිකයා සහ එක් ආරක්ෂක නිලධාරියකු පමණය. පසුගිය 30 වැනිදා රාත්‍රියේ අදාළ නිවෙසේදී මොවුන් දෙදෙනා නින්දත් නොනින්දත් අතර පසුවෙමින් සිටියදී පිරිසක් නිල නිවෙස ඉදිරිපිටට පැමිණ තිබුණි. පිටස්තර කිසිවකුට ඇතුළු වීමට හැකියාවක් නැති භූමියට ඔවුන් පැමිණ තිබුණේ තාප්පයෙන් පැනගෙනය. බලහත්කාරයෙන් පැමිණි පිරිස නිල නිවෙසේ ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයකට පහරදෙන අතරතුර නිවෙසේ දොර ජනෙල්වලටද පහර දී අලාභ හානි කරන්නට වූහ. කලබලය මැද නිවෙසින් එළියට ආ ආරක්ෂක නිලධාරියාට මෙන්ම ව්‍යාපාරිකයාට අමානුෂික ලෙස පහරදීමට මේ මැර පිරිස ක්‍රියා කළහ. පහර දීමෙන් පසුව එම පිරිස තාප්පයෙන් පැන ගොස් තිබුණි.
පහර කෑමෙන් පසු අසාධ්‍යව සිටි ව්‍යාපාරිකයා ජයවර්ධනපුර රෝහලට සහ ආරක්ෂක නිලධාරියා මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගැනිණ. මේ ආකාරයට ව්‍යාපාරිකයාට පහර දීමට ප්‍රදේශයේ කිසිවකුට අවශ්‍යතාවයක් නොමැත. එහෙත් එවැනි අවස්ථාවකට ආසන්නම හේතුවක් ගැන කියැවේ.
කටාන ප්‍රදේශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගොස් සිටින දේශපාලනඥයකුගේ ගෝල බලයන් පිරිසකි. ඔවුහු මෙම ඇඟලුම් ආයතනය ආසන්නයේ පදිංචිකරුවෝ වෙති. මෙම පිරිස ඇඟලුම් ආයතනය මගින් ඉවතලන රෙදි කැබැලි රුගෙන ගොස් අලෙවි කිරීමේ නිරතව සිටියහ. මේ අතර කාලයක පටන් ඔවුන්ගේ හිතවතුන් එම ආයතනයේ රැකියා සඳහා බඳවා ගන්නට බල කරන පසුබිමක් දකින්නට තිබිණ. ඊට අමතරව ඇඟලුම් ආයතනයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන රථවාහන කිහිපයට අමතරව ඔවුන්ට අයත් වෑන් රථයක් කුලී පදනම මත යොදාගන්නැයි බල කරමින් සිට ඇත. වත්මන් ආර්ථික තත්ත්වය මත එවැනි වාහනයක් කුලියට ගැනීම අවශ්‍ය නැති බව අයිතිකරු මෙම පිරිසට දන්වා තිබෙන අතර ඔවුහු ඒ සම්බන්ධයෙන් තරහෙන් පසුවූහ. මේ ආකාරයට තමන්ගේ හිතූ මනාපයට ඇඟලුම් ආයතනය මෙහෙයවීමට මෙම පිරිස උත්සාහ කරමින් සිට ඇත. මෙසේ අදාළ පිරිසට ඇවැසි පරිදි කටයුතු සිදු නොවීම නිසා වෛරයෙන් පසුවී මෙම මැර ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි ඕමාන් ජාතික ව්‍යාපාරිකයා සහ එම ආයතන බලධාරිහු සැක කරති.
මෙම පහරදීම අදාළ දේශපාලකයාගේ දැනුවත් බව මත සිදුවන්නට ඇති බව විශ්වාස කරන අතර ව්‍යාපාරිකයා එම තාඩන පීඩන හමුවේ සිය ව්‍යාපාරය නවතා මෙරටින් පිටවීමට උත්සාහ දරා ඇතැයි කියති. එසේ අවස්ථා කිහිපයකදීම උත්සාහ කර තිබුණද ඇඟලුම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන යාෂිර් ලාෆීර් මහතා ඇතුළු පිරිසකගේ ඉල්ලීම මත තවදුරටත් ඔහු ව්‍යාපාර කටයුතු සිදු කිරීමට තීරණය කළේය.
මෙම පහරදීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා බඩල්ගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබිණ. මැර කල්ලියට අයත් පුද්ගලයන් පස්දෙනකු පහරදීම සඳහා පැමිණ තිබූ බවද පොලිසිය හමුවේ ව්‍යාපාරිකයා පවසා තිබුණු නමුත් පැමිණි පිරිස තහවුරු කර ගැනීමට හැකියාවක් නොවීය. ඒ අතර මැර පිරිසෙන් කෙනකුගේ සෙරෙප්පු යුගලක් නිල නිවෙස අසල තිබී ඇති අතර බඩල්ගම පොලිසිය දැනුම්දීමකට අනුව මීගමුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරියේ යොදවා සිටින පොලිස් නිල සුනඛ 'නේරෝ' ගෙන්වා එම සෙරෙප්පු යුගලයේ ඉව ලබාදීමෙන් පසුව මීටර් 700 ක පමණ දුරින් පිහිටි නිවෙසක් වෙත ගොස් ඇතැයි කියති. එම නිවෙසේ ඇඳක් අසලට ගොස් නැවතුණු සුනඛයාගේ හෝඩුවාව මත සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් නමුත් අනාවරණය වී තිබුණේ ඔවුන් තිදෙනා සිද්ධියට සබඳතාවයක් නොමැතිව කැමැත්තෙන්ම ඉදිරිපත්ව සිටි බවකි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ පසුව එක් අයකු පමණක් බන්ධනාගාර ගතකොට සෙසු තිදෙනා මුදාහැර තිබුණේ ඒ අනුවය.
ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම් කරන්නැයි දන්වා ඒ පිළිබඳව පැමිණිල්ලක් මීගමුව අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති කාර්යාලය දැනුම්වත් කිරීමට ව්‍යාපාරිකයා පියවර ගෙන තිබුණි. ඒ අනුව තානාපති කාර්යාලය විසින් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා වෙත කරුණු දැන්වීමට ක්‍රියා කර ඇත. ඉන්පසුව අදාළ මැර ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණය කඩිනමින් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කොට තිබිණ. මෙම පහරදීම සම්බන්ධයෙන් විදේශ ඇමැති හා මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුම්වත් කිරීමටද ඕමාන තානාපතිවරයා පියවර ගෙන තිබුණි. මේ අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කිරීමට කටයුතු කළේය.
ඕමානයේ කෝටිපති ව්‍යාපාරිකයකු වන අල් ඔබෙයිදානි මහතාට තවත් මෙවැනි ඇඟලුම් ආයතන 40ක් ඇතැයි පැවසේ. දැනට ඕමාන ජාතික ව්‍යාපාරිකයා තීරණය කර ඇත්තේ මෙරට ව්‍යාපාරය නවතා දැමීමටය. එසේ වුවහොත් මෙරට 400 කට ආසන්න පිරිසකට රුකියා අහිමි වනු ඇති බවට වාර්තා වේ.
පහරදීම නිසා ව්‍යාපාරිකයා තවදුරටත් භීතියෙන් හා මානසික පීඩනයකින් සිටින බව කියැවේ. තවමත් මෙම ඕමාන ජාතික ව්‍යාපාරිකයාට සාධාරණයක් ඉටුවී නොමැති අතර කළමනාකාරිත්වය හා සේවක පිරිස ඒ පිළිබඳ කලකිරීමෙන් පසුවෙති. මෙම සිද්ධිය පිළිබඳ චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමැතිවරයාගෙන් තවමත් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය සමත්ව නැතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කොට තිබේ.
I සමන්ත ප්‍රදීප් විල්තෙර