ශ්‍රී ලංකාවේ සිදුවන මාර්ග අනතුරු දෛනිකව ඉහළ යමින් තිබේ. ඒ හේතුවෙන් මිය යන තුවාල ලබන දීර්ඝකාලීනව එක්තැන්වන හා විවිධ පීඩාවන්ට පත්වන පිරිසද වැඩිවෙමින් සිටිති. මේ තත්ත්වය බරපතළ සමාජ ගැටලුවක් බවට පත්වෙමින් තිබියදී අනාවරණය වන්නේ ගතවූ වසර 12ක කාලය තුළ සිදුව ඇති රිය අනතුරුවලින් මෙරට පුද්ගලයන් 35,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
සෑම තත්ත්පර 25කට වරක්ම රිය අනතුරු නිසා කෙනකු මියයන ප්‍රවණතාවක් තිබෙන බව වාර්තා වේ. ඒ අනුව ලෝකයේ වසරකට පුද්ගලයන් මිලියන 1.26ක් මිය යන බවද සඳහන්ය. මේ අතර ලංකාවේ සිදුවන රිය අනතුරුවලින් වයස අවුරුදු 5-29ත් අතර පිරිසක් බහුලව මරණයට පත්වන බව කීම බරපතළ ඛේදවාචකයකි. මේ අතර ලංකාවේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් වූ නවතම වාර්තාවක් පෙන්වා දෙන්නේ ඉකුත් 2022 වසර තුළදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 2515 දෙනකු මහමඟ මියගොස් ඇති බවකි. එහි සඳහන්ව ඇති භයානකම සටහන වන්නේ එකී රිය අනතුරු මරණ අතර 411 දෙනකුම පාසල් සිසුන් බව තහවුරු කිරීමය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වූ විශේෂඥ කමිටුවේ සම්පත් දායකත්වය මත ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මෙම වාර්තාව එළිදක්වා තිබේ. ඉකුත් වසරේ පොලීසියට වාර්තා වී තිබෙන සමස්ත මාර්ග අනතුරු සංඛ්‍යාව 21,953 කි. ඒ අතුරින් බරපතළ තුවාල ලැබූවන් ගණන 623ක් වශයෙන්ද සාමාන්‍ය තුවාල ලැබූ පිරිස 8209 දෙනකු ලෙසද දක්වා තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වළක්වා ගැනිම සඳහා වූ විශේෂඥ කමිටුව එළිදක්වන ලද වාර්තාව මගින් පෙන්වා දෙන පරිදි ඉකුත් වසරේ බස් රථ අනතුරුවලින් 69 දෙනකු මරණයට පත්ව ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවලින් අනතුරට ලක්වූවන් බවද දක්වා තිබේ. රටේ රාජ්‍ය ආයතනයක් සතු මෙරට ප්‍රධාන පෙළේ පොදු ප්‍රවාහන අංශයට අයත් ලංගම බස් රථ හරහා මෙම අනතුරු සිදුවීම ගැටලුවකි.
අදාළ වාර්තාවේ බරපතළකම පෙන්වා දුන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුව අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. ඒ අනුව පාසල් දරුදැරියන් රිය අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පාසලකම මාර්ග ආරක්ෂක කමිටු පිහිටුවීමට යෝජනා කර ඇත. ඒ සඳහා වැඩිදුරටත් අවධානය යොමුකරමින් පෙන්වා දී ඇත්තේ ඉකුත් 2022 වසරේදී මෙරට මාරක රිය අනතුරු 2395ක් සිදුව ඇති බවය. ඒ අතරින් 6231 දෙනකු බරපතළ තුවාල ලබා ඇති බැවින් රජය සෞඛ්‍යයට වෙන්කර තිබෙන මුදලින් රුපියල් බිලියන 200ක් පමණ මෙකී අනතුරු ප්‍රතිකාර සඳහා වැය කිරීමට සිදුව ඇති බවත් ඒ ප්‍රමාණය මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 3%ක් පමණ බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුවේ සභාපති මහාචාර්ය සමන් ධර්මරත්න මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා පෙන්වා දෙන්නේ රටපුරා ශීඝ්‍රයෙන් වර්ධනය වන මාර්ග අනතුරු වළක්වා ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට රජයෙන් ඉල්ලා සිටින බවය.
මහාමාර්ග නිසි ලෙස ඉදිනොකිරීම, අලුත්වැඩියාවන් සිදු නොකිරීම, නිසි දැන්වීම් පුවරු ප්‍රදර්ශනය නොකිරීම, ආරක්ෂක වැට ස්ථාපිත නොකිරීම වැනි කාරණා විටෙක රිය අනතුරුවලට හේතුවකි. රියැදුරන්ගේ නොසැලකිල්ල, වාහන අලුත්වැඩියා නොකිරීම, ටයර් සහ අමතර කොටස් මිල ඉහළ යාම වැනි කාරණා නිසාද අනතුරු බහුලව සිදුවෙයි.
රිය අනතුරු නිසා විටෙක රියැදුරන් තවත් අවස්ථවක මගීන් නැතිනම් පදිකයන් වශයෙන් මාර්ගය භාවිතා කරන මිනිසුන් නිකරුණේ මරණයට පත්වෙති. ඒ අතර රථවාහන අතුරින් යතුරුපැදි, පාපැදි හා ත්‍රිරෝද රථ බහුලව අනතුරට පත්වෙයි. මේ අතුරින් ජීවිතක්ෂයට පත්වන බහුතරය අඩු ආදායම්ලාභීහු වෙති. මේ තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටක 90%ක තරම් අගයක බව කියැවේ. සංවර්ධිත රටවල මෙම අගය 10%ක් බවද වාර්තා වේ. මාර්ගවල අඩුපාඩු ඇතත් රියදුරන්ගේ නොසැලකිලිමත් බව බරපතළ ගැටලුවකි. බීමත්කම හා අධික වේගයද අනතුරුවලට හේතුවකි. මේ සඳහා වගකිවයුතු සියලු පාර්ශ්ව එක්ව කඩිනමින් විසඳුම් ලබාදිය යුතුව ඇත. ඒ සමඟ පොදු ජනතාව අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කළ යුතුය.
I සමන්ත විල්තෙර