2023 අප්‍රේල් 09 වන ඉරිදා

රටට දිනෙන් දින අහිමි වන දොස්තරවරු

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 94

වෛද්‍යවරුන් රට හැර යාම පිළිබඳ කතා ඉකුත් මාස කිහිපය පුරාවටම අපට අසන්නට ලැබුණි. ඉකුත් සතියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළිදරව් කළේ රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුය හා උපයනවිට බදු අයකිරීමේ ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල්කොට රජයේ වෛද්‍යවරුන් හත්සියයක් පමණ රට හැර ගොස් ඇති බවකි. සැබවින්ම මෙය අප තැති ගන්වන සුළු පුවතක් විය. මේ හේතුවෙන් සෞඛ්‍ය සේවය කඩා වැටෙයිද? එනිසාම මේ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට අපි තීරණය කළෙමු.

ශ්‍රේණි වෛද්‍යවරු හෙවත් අප ව්‍යවහාරයේ හඳුන්වන සාමාන්‍ය වෛද්‍යවරු 20,000 ක් පමණ මෙරට රාජ්‍ය සේවයේ නිරතව සිටිති. ඊට අමතරව රාජ්‍ය සේවයේ සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් 2,800 ක පමණ පිරිසකි. මෙම පිරිස දිවයිනේ ඕනෑම ස්ථානයක සිය රාජකාරිය සිදු කිරීමට බැඳී සිටිති.

ඉහත පිරිසට අයත් වෛද්‍ය නිලධාරීන් අතරින් වෛද්‍යවරුන් විදෙස්ගත වීම අදක ඊයෙක පටන් සිදු වන්නක් නොවේ. බොහෝවිට එම සාමන්‍ය විදෙස් ගතවීම් වලට හේතුව වූයේ සිය අධ්‍යාපනය අවශ්‍යතාව, තම සහකරු හෝ සහකාරියගේ අධ්‍යාපන අවශ්‍යතා, දරුවන්ගේ අධ්‍යාපනය හෝ නව රැකියා අවස්ථාවකි.

කෙසේ වෙතත් පසුගිය වසරවලට සාපේක්ෂව අද වන විට වෛද්‍ය විදෙස්ගත වීම් වල ප්‍රමාණාත්මක වැඩිවීමක් වාර්තා වේ. අප දන්නා පරිදි මීට අදාළ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විය යුතුය. එහෙත් මේ සම්බන්ධ විශ්ලේෂණාත්මක තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇත්තේද යන්න ගැටලුවකි. වෛද්‍ය වෘත්තිකයන් අතරින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව අදාළ තොරතුරු නොමැති බවට චෝදනා කරති.

මේ අතර අප කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ 2022 වසරේ පළමු මාස 8 තුළ, වෛද්‍යවරුන් විදෙස්ගත වීම සම්බන්ධ සමීක්ෂණයක් ඔවුන් සිදුකළ බවයි.

''2022 වසරේ අගෝස්තු 31 වන විට වෛද්‍යවරු 437 දෙනෙක් ඉවත්වෙලා වෙනත් රටවල්වලට ගිහිල්ලා තියෙනවා. මාසෙකට වෛද්‍යවරු 50කට වැඩි පිරිසක් විදෙස් ගතවෙලා තිබුණා. මෙම වෛද්‍යවරු 437 දෙනාගෙන් 125 දෙනෙක් විතරයි විශේෂඥ වෛද්‍යවරු. 2023 වසරේ මේ මොහොත වන විට දළ වශයෙන් සිදු කරපු සොයා බැලීම් වලට අනුව මේ පිරිස 700 ය ඉක්මවලා තියෙන්න පුළුවන්. අප සතුව දැනට තිබෙන තොරතුරු අනුව මෙම තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය විය හැකියි.''

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ඉහත තොරතුරු අනාවරණය කළේය.

වෛද්‍යවරයකුට වෙනත් රටක වෛද්‍ය සේවයේ නිරත වීම සඳහා පිටත්ව යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගැනීමට යම් කාලයක් ගතවේ. එබැවින් ආසන්න මාස වල දී රට හැර යාමට තීරණය කළ වෛද්‍යවරුන් විදෙස්ගත වීමට තව මාස කිහිපයක් ගත වනු ඇත. එම අනුව විදෙස්ගත වූ වෛද්‍යවරුන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉදිරි වසර තුළදී තවදුරටත් ඉහළ යෑමට ඉඩ තිබේ. මෙම වාතාවරණය අඛණ්ඩව පැවතුණහොත් අතිශය බරපතළ තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් වෛද්‍ය සේවය සඳහා වෙනත් රටක් බලා පිටත් වන විට ඒ ඒ රටවල් මඟින් පවත්වනු ලබන විභාගයන්ට මුහුණ දීමට වෛද්‍යවරුන්ට සිදුවේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තොරතුරු අනුව මෙවන් විභාග සඳහා වැඩිම වෛද්‍යවරුන් ප්‍රමාණයක් අසුන් ගෙන ඇත්තේ පසුගිය වසර තුළයි. ගෙවී ගිය මාස කිහිපය තුළද ඕස්ට්‍රේලියානු රජයේ මගින් පවත්වනු ලබන Australian medical council exam (AMC) නම් විභාගය සහ එක්සත් රාජධානිය මගින් පවත්වනු ලබන FLAD නම් විභාගය සඳහා සැලකිය යුතු වෛද්‍යවරුන් පිරිසක් මුහුණ දී ඇතැයි තොරතුරු වාර්තා වේ.

මෙහි ඛේදනීයම තත්ත්වය නම් මැදපෙරදිග එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ඕමානය වැනි රටවල සේවය කිරීම සඳහා වන Prometric නම් විභාගයට ද අන් කවරදාටත් වඩා විශාල වෛද්‍යවරුන් ප්‍රමාණයක් ඉකුත් වසරේ පෙනී සිටීමයි. උද්ගතව ඇති තත්ත්වයේ අනෙක් විශේෂත්වය නම් , වෙනදාට සාපේක්ෂව පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා වෛද්‍යවරුන් විදේශගත වීමේ ප්‍රමාණය අභිබවා යමින් සෘජුවම රැකියා සඳහා විදේශගතවන වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය ඉහළ යාමයි.

තවද විශේෂඥ වෛද්‍යවරුන් අතරේ ද කණිෂ්ඨ වෛද්‍යවරුන් වෙනුවට, මෙරට වසර විස්සක් පමණ සේවය කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ද රට හැර යමින් සිටින බව කියැවේ. එය මින් පෙර වාර්තා නොවූ ගැටලුවක් බව වෛද්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇත්තෝ පවසති. ඒ අනුව දැනටමත් මෙරට තුළ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී බරපතළ විය හැකිය.

අප කළ විමසීමේදී දැනට උද්ගතව තිබෙන වෛද්‍ය හිඟය පිළිබඳව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සිදු කළේ මෙවන් පැහැදිලි කිරීමකි.

''අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය වසා දමන්න සිද්ධ වෙලා තියෙනවා. මෙතැනදී ලෙඩ්ඩු ටික බෙදලා අනෙක් වාට්ටු වලට යවන්න පුළුවන්. වෛද්‍ය පීඨයට සම්බන්ධ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට මොකද කරන්නේ. ඒක නැවත ප්‍රතිපූර්ණය කරන්න බෑ. ගිය සතියේ අපට වාර්තා වුණා උතුරු පළාතේ ප්‍රධාන රෝහලක් වන මුලතිව් රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් ඉන්න ඕනෑ තැන දැන් ඉන්නේ එක්කෙනයි ඉන්නේ, ශල්‍ය වෛද්‍යවරු දෙන්නෙක් ඉන්න ඕනෑ තැන එක්කෙනයි ඉන්නෙ.

මොණරාගලත් එහෙමයි. දෙහිඅත්තකණ්ඩිය, තිස්සමහාරාම වගේ රෝහල් වලිනුත් මේ වගේ සිදුවීම් වාර්තා වෙනවා. ඉදිරියේදී ශ්‍රේණි වෛද්‍යවරුන් පවා රට යෑම තුළ, පර්යන්තයේ තියන ග්‍රාමීය රෝහල් පද්ධතියේ ප්‍රාථමික සත්කාරයේ ඒකක වැහිලා යන්න පටන් ගනීවී. මොකද ප්‍රධාන රෝහල්වල වෛද්‍යවරු ඉවත් වෙලා යද්දි ඒ පුරප්පාඩු වලට ඊළඟට කැඳවන්න වෙන්නේ පර්යන්ත රෝහල් පද්ධතිය තුළ ඉන්න වෛද්‍යවරු.''

වෛද්‍යවරු රට හැර යාම වේගවත් වීමට එකම හේතුව වැටුප් සම්බන්ධ ආර්ථික කාරණාවම නොවන බව මෙහිලා සඳහන් කළයුතුය. යම් ආර්ථික ස්ථාවර රුඳී සිටින විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමට රට තුළ පවතින වර්තමාන සමාජ දේශපාලන අස්ථාවරත්වය හේතුවී ඇතැයි දැනගන්නට ලැබේ. දරුවන්ගේ අනාගතය පිළිබඳව ඔවුන් තුළ ඇති අවිනිශ්චිත භාවය රට හැර යාමේ තීන්දුව කරා ඔවුන් නැඹුරු කොට තිබේ.

සිය වෘත්තීය සුදුසුකම් නංවා ගැනීම සඳහා වන අධ්‍යාපන කඩයිම් ජය ගැනීමේ අවකාශය මෙරට තුළ සීමා සහිත වීම ද වෛද්‍යවරුන් රට හැර යාමට බලපා ඇති තවත් එක් හේතුවකි. පසුගිය කාලයේ වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි අධ්‍යයන සම්බන්ධ පහසුකම් කොළඹට පමණක් කේන්ද්‍රව පැවතියේය. රටේ විවිධ පළාත්වල සේවය කළ වෛද්‍යවරුන්ට එය ගැටලුවක් වූ බව කියැවුණි. කෙසේ වෙතත් මෙම ගැටලුව කෙරෙහි පසුගිය කාලයේ බලන්ධාරීන් යම් පමණකට සංවේදී වී ඇත. මෙරට තවත් විශ්ව විද්‍යාල වෙත අවශ්‍ය පහසුකම් ලබාදීමට ඔවුහු කටයුතු කරමින් සිටිති. කෙසේවෙතත් තත්වය පාලනය කිරීමට නම් එම කටයුතු කඩිනම් කළයුතුය. මීට අමතරව වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව , වෛද්‍යවරුන්ට වෘත්තීය කටයුතු වල දී සිදුවන කෙනෙහිලිකම්, රාජකාරි සිදුකරගෙන යාමට පහසුකම් නොවීම, විධිමත් පරිපාලන ව්‍යුහයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නොවී අදී තවත් බොහෝ කරුණු රට හැර යන වෛද්‍ය වෘත්තිකයන් කෙරෙහි බලපා ඇති බව සඳහන් කළ හැකිය.

මෙම ගැටලු පිළිබඳ බලධාරීන් නොදන්නවා නොවේ. ඉකුත් සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයකු පවා මේ පිළිබඳව කතාකොට තිබුණි. වෛද්‍යවරුන් රට හැර යාම තහනම් කිරීමට කටයුතු කළ යුතු බව ඔහු පැවසීය. වෛද්‍ය සභාව හරහා රට හැර යන වෛද්‍යවරුන් අසාදු ලේඛන ගතකිරීම වැනි උපක්‍රම පිළිබඳවත් එම අවස්ථාවේදී කතාබහක් නිර්මාණය විය. කෙසේ වෙතත් මෙම තත්ත්වය ප්‍රායෝගික නොවන බව වෛද්‍ය වෘත්තිකයෝ කියා සිටිති. ඉකුත් සමයේ ජ්‍යෙෂ්ඨත්වයට හානි නොවන පරිදි රාජ්‍ය නිලධාරීන් හට වසර පහකට විදෙස් ගත වීමේ අවකාශය සලසා දුන් අවස්ථාවේදී වෛද්‍යවරුන්ට ද එම අවස්ථාව හිමිවිය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මෙලෙස නිවාඩු ලබා විදෙස්ගෙන විදෙස්ගත වීමට අදාළ ඉල්ලීම් රුසක් ලැබී ඇතැයි කියැවේ. අප කළ විමසීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙම ක්‍රියාවලිය සඳහා ඉතා මන්දගාමීව මැදිහත්වීම වන බවකි. ඒ හේතුවෙන් ඇතැම් වෛද්‍යවරුන් මුළු මුලින්ම රාජ්‍ය සේවයෙන් ඉවත් වී රට හැර යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

''යන අය බලෙන් නවත්ව ගන්න බෑ. නමුත් මේ අය රඳවා ගැනීම සඳහා යම් ප්‍රතිපත්ති මාලාවක් ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ගිය සැප්තැම්බර් මාසේ වෛද්‍යවරුන්ටත් විදෙස්ගත වීමේ අවස්ථාව සහිතව චක්‍රලේඛයක් නිකුත් වුණා. අපි ඒ අවස්ථාවේ යෝජනා කළේ, සෞඛ්‍ය අමාත්‍යංශය සමීක්ෂණයක් කර වසරකට, ඒ ඒ ශ්‍රේෂ්ඨ වලට අදාළව සිටින්න වෛද්‍යවරුන්ගෙන් විදෙස්ගත වීමට අවස්ථාව ලබා ලබාදිය හැකි ප්‍රමාණය දැනුම් දෙන්න ඕනෑ කියලා. උදාහරණයක් විදියට කියමු එක ක්ෂේත්‍රයට අදාළව රට යන්න පුළුවන් 20 කට විතරයි කියලා. එතකොට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්ණායක වලට යටත්ව අයදුම්පත් කැඳවලා ඒ පිරිස තෝරා ගන්න පුළුවන්. මෙහෙම ගියොත් ඒ අය නැවත අපේ රටට එනවා. ඒ වගේම ඒ අයගෙන් අනිවාර්ය විදේශ විනිමය ප්‍රමාණයක් රටට ගෙන්වා ගන්න වැඩපිළිවෙළක් සකස් කිරීමේ හැකියාවක් තියෙනවා.''

කෙසේ වෙතත් දැනට ඉදිරිපත් වී ඇති ඉල්ලීම්ද සලකා බැලීම අතිශයින් පමා වන බවට වෛද්‍යවරු මැසිවිලි නගති. එවිට නිවාඩු අනුමත වෙනතුරු බලා නොසිට රැකියාව අතහැර රට හැර යාමට ඇතැම් වෛද්‍යවරු පෙළඹෙති. ඊට හේතුව රැකියාවකට අයදුම් කළ විට එය අදාළ දිනටම වැඩ භාර ගැනීම සිදු කළ යුතු වීමයි. මෙය රාජ්‍ය පරිපාලන ඇතුළු තවත් ක්ෂේත්‍ර රුසක පවතින ගැටලුවකි. සැබවින්ම මෙය බුද්ධි ගලනයක් නොව බුද්ධිය පලවා හැරීමකි. බොහෝ විට ශ්‍රී ලාංකිකයකු සිය මව්බිම අතහැර යන්නේ කැමැත්තෙන් නොවේ. එය ඉහළ වැටුප් ලබන වෘත්තිකයකුටද අදාළ ය. එම නිසාවෙන්ම ඉන්න හිතෙන රටක් සැබෑවටම නිර්මාණය කරදීම පාලකයාගේ වගකීමයි.

I චමිඳු නිසල් ද සිල්වා