2023 අප්‍රේල් 09 වන ඉරිදා

හතළිස් වසරකට පසු අහසින් බැස්ස කපිතාන් උත්පල

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 149

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මාර්තු 31 දා උදෑසන සිටම විශේෂිත උත්සවයකට සූදානම් වෙමින් සිටියේය. ඒ සඳහා කටුනායක ගුවන් තොටුපළ සතු ගිනි නිවීමේ රථ, විශේෂ ගුවන් යානා නැවතුම් අංගනයක් මෙන්ම තවත් ස්වල්ප මොහොතකින් පැමිණෙන විශේෂ ගුවන් යානයක් පිළිගැනීමට විශේෂ පුද්ගලයන් පිරිසක්ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවා වන කපිතාන් උත්පල කුමාරසිංහ මහතා සේවයෙන් විශ්‍රාම ගැනීම සඳහා ඔහුගේ අවසන් ගුවන් පියාසැරිය ඒ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබුණි. මෙම ගුවන් පියාසැරිය සඳහා ඔහුගේ වැඩිමහල් පුත් රහල් කුමාරසිංහ තම සහායක ගුවන් නියමුවා ලෙස සහභාගී වෙමින් මෙම ගුවන් යානය පදවාගෙන පැමිණීම මෙම සිදුවීම තවත් අසිරිමත් කරවන්නක් වී තිබුණි. 03/31 දින දහවල් 11.20 වනවිට රැස්ව සිටි කාගේත් අවධානය කටුනායක ගුවන් තොටුපළ අහස් කුස දෙස යොමු වී තිබුණි.ආදරණීය පියාණන් සහ ඔහුගේ වැඩිමහල් පුතු විසින් ඉන්දියාවේ මදුරෙයි නුවර සිට පදවාගෙන පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 138 දරන ගුවන් යානය පිළිගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණි. නියමිත වේලාවට කටුනායක ගුවන් තොටුපළ ධාවන පථය වෙත පිවිසි මෙම ගුවන් යානය ජල ආචාර පවත්වමින් ගුවන් තොටුපළ වෙත ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබීය.

කපිතාන් උත්පල කුමාරසිංහ මහතාගේ මුල් ගෙවල් තිබුණේ රත්මලාන ගුවන් තොටුපළ ආසන්නයේය. එය ඔහුට ගුවන් නියමුවකු වීමට ධෛර්යය සපයන උත්තේජනයක් වී තිබුණි. කපිතාන් උත්පලගේ පියා කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ෆාමසියක් පවත්වා ගෙන ගිය අතර ඔහුගේ මව ගුරු වෘත්තියේ නියැලෙමින් සමාජ සේවා කටයුතුවල නිරත වූවාය. උත්පල කොළඹ කේරි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ අතර උසස් පෙළ අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙත ඇතුළු විය. ඒ වනවිට ඔහු 16 හැවිරිදි වියේ පසුවිය. 

උත්පලගේ පාසල් මිතුරන් බොහොමයක් ගුවන් නියමුවන් වීමේ අභිප්‍රායෙන් සිටි අතර ඔවුන් සියලුදෙනා එවකට සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව විසින් රත්මලාන ගුවන් තොටුපළ තුළ පවත්වා ගෙන යනු ලබන ''ගුවන් නියමු ඇකඩමිය'' නැමැති පුහුණු පාසල වෙත 1977 වසරේ දී ඇතුළත් වූහ. එම පුහුණු ඇකඩමිය තුළ රෝල්ස් රොයිස් ඇන්ජින් සවි කළ ඉන්දියාවේ නිෂ්පාදිත ''පුෂ් පැක්'' (Push Pak) වර්ගයේ ගුවන් යානයක් තිබූ අතර, එයින් උත්පල ඇතුළු පිරිස ගුවන් නියමුවකු සේ පියාසැරීමට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබා ගත්හ.

මෙම ගුවන් යානයෙන් පැය 50ක කාලයක් පුහුණුව ලැබූ පසු ඔහුට පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය හිමි වේ. එවිට ඔහුට එම ගුවන් යානය තුළ තවත් එක් පිටස්තර පුද්ගලයකු පමණක් රුගෙන යාමට අවස්ථාව හිමි වේ. එසේම මෙම පුහුණු ඇකඩමියේ පැය 150 ක ගුවන් පැය ප්‍රමාණයක් සම්පූර්ණ කළ පුහුණුවන්නන්ට වාණිජ ගුවන් යානා හැසිරවීමේ බලපත්‍රය (Commercial Pilot Licen) හිමිවේ. මෙම අවසාන ගුවන් යානා පරීක්ෂණය (Final Flying Test) එංගලන්තයේ නිර්දේශ මත සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව විසින්  පවත්වනු ලබයි.

මෙම පරීක්ෂණය සඳහා සහභාගී වෙමින් සිටි සෙනෙවිරත්න නැමැති පුහුණුවන ගුවන් නියමුවකු සිය මිතුරකු සමග රත්නපුර ප්‍රදේශයට ඉහළින් ගුවන් ගනිමින් සිටියදී මෙම පුෂ් පැක් ගුවන් යානය අනතුරට ලක් වී විනාශයට පත් විය. ඉන්පසු මෙවැනි ගුවන් යානයක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජයට හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියට අවශ්‍ය මුදල් හෝ අවශ්‍යතාවයක් නොවූයෙන් ශ්‍රී ලංකාවේ ගුවන් යානා පුහුණු ඇකඩමියේ වැඩ කටයුතු අඩාල වී යන්නට විය. මේ අතරතුර 1979 සැප්තැම්බර් මාසයේ දී එයා ලංකා ගුවන් සමාගම ආරම්භ කෙරිණි. එහිදී උත්පල ගුවන් යානා මෙහෙයුම් නිලධාරී (Flying Dispatch Officer) ලෙස කටුනායක ගුවන් තොටුපළ ගුවන් යානා යාත්‍රාංගණයේ වැඩ කටයුතු ආරම්භ කළේය. අවට කාලගුණික තත්ත්වය, ගුවන් යානය ගමන් ගතයුතු මාර්ගය, ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය යනාදී තොරතුරු ලිඛිතව සම්පාදනය කිරීම මෙම තනතුරේ කාර්යය භාරය විය. මේ අතර වසරක නිවාඩුවක් ලබාගන්නා උත්පල කුමාරසිංහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් බලා පිටත්ව යන්නේ කැලිෆෝනියාවේ පවත්වන ගුවන් නියමු පුහුණුවීම් සම්පූර්ණ කර වාණිජ ගුවන් නියමු බලපත්‍රය ලබා ගැනීමටය. එම බලපත්‍රය දිනා ගන්නා උත්පල 1982 වසරේ දී එයාර් ලංක ගුවන් සේවයේ L- 1011 ට්‍රයිස්ටා ගුවන් යානා වල දෙවැනි ගුවන් සහායක (2nd Officer) ලෙස කටයුතු කිරීමට වැඩ භාරගත්තේය. මෙම තනතුර ගුවන් යානයක තුන් වැනි ගුවන් නියමු නිලධාරීවරයා වන අතර ඔහු එම ගුවන් යානයේ ඉංජිනේරු කටයුතු භාර නිලධාරීවරයා ලෙස වගකීම උසුලයි.

උත්පල එම තනතුරෙහි 1982 වසරේ සිට 1987 වසර දක්වා සේවය කළේය. ඉන්පසුව ඔහු එම ට්‍රයිස්ටා ගුවන් යානාවල පළමු නිලධාරීවරයා (1st Officer) ලෙස ප්‍රධාන ගුවන් නියමු කපිතාන්වරයාගේ අසුනට සමීපව වාඩිවී සහායක ගුවන් නියමුවා ලෙස 1996 වසර තෙක් සේවය කළේය. 1996 වසරේදී උත්පල කුමාරසිංහ කපිතාන් ධුරයට උසස් වීම් ලබමින් ප්‍රධාන ගුවන් නියමුවා ලෙස සේවය කිරීම ආරම්භ කළේය. 2004 වසර වනවිට කපිතාන් උත්පල කුමාරසිංහ එයා බස් ගුවන් යානා කාණ්ඩයේ A- 340, A - 330 ගුවන් යානා පැදවීමට පිවිස සිටියේය. ඒ වනවිට ලෝකයේ අති නවීන ගුවන් යානා වූයේ එයා බස් සමාගමේ A - 340 සහ A - 330 ගුවන් යානාය.

මෙයින් ඔබ්බට යන කපිතාන් කුමාරසිංහ 2015 වසරේදී කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ගුවන් යානා ඇකඩමියේ පුහුණු උපදේශක තනතුරට පත් වෙමින්, එහි සිටි ආධුනික ගුවන් නියමුවන් හට A - 340, A - 330 සහ A - 320 ගුවන් යානා පැදවීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දුන්නේය. මේ වනවිට ගුවන් පැය 25,000 ක කාලයක් ගුවනෙහි පියා සළා ඇති කපිතාන් උත්පල කුමාරසිංහ මහතා හදිසි ගොඩ බැස්සවීම් කීපයකට මුහුණ දී ඇත්තේ, එම ගුවන් යානාවල ඇංජින්වල ඇති වූ කාර්මික දෝෂ නිසාය.

මෙයින් එක් වතාවක් වූයේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර බලා ගමන් කරමින් සිටියදී, ගුවන් යානයේ ඇංජිමක කාර්මික දෝෂයක් හටගැනීමය. එම දෝෂය පාලනය කර ගනිමින් කෙසේ හෝ ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපළ ෙවත. ගුවන් යානය රැගෙන යාමට කපිතාන් උත්පල සමත් වී තිබුණි. මීට අමතරව කටුනායක සිට ලන්ඩන් බලා යන අතරතුර ඇංජිමක හටගත් කාර්මික දෝෂයක් නිසා එම ගුවන් යානය මගීන් සහිතව ඩුබායි ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබැස්සවීමකට ලක් කර තිබුණි. එසේම අයහපත් කාලගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට පියවර ගෙන තිබුණි. එමෙන්ම පසුගිය L.T.T.E. ක්‍රියාකාරකම් පැවති සමයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ කපිතාන් උත්පල පදවා ගෙන පැමිණි ගුවන් යානා කිහිපවරක්ම ඉන්දියාව වෙත රුගෙන යාමට සිදු වූ බවද සඳහන් කළේය. කපිතාන් උත්පල කුමාරසිංහ ඔහුගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් වන ඩී.බී. විජේතුංග, මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍යවරුන්ව සිටි රනිල් වික්‍රමසිංහ සහ දි.මු. ජයරත්න යන මහත්වරුන් විදේශ ගතවන විශේෂ ගුවන් යානා පදවා තිබේ.

''මේ වනවිට ගුවන් පැය 25,000ක කාලයක් ගුවන් ගත වී සිටීම යනු පුරා වසර තුනක කාලයකි. මේ කාලය තුළ අප පවුලේ පොදු කටයුතු බොහොමයක් මගේ අතින් මග හැරී යනවා. උදාහරණයක් විදියට නෑදෑ විවාහ මංගල උත්සව, අවමගුල් උත්සව ආදිය ඒ අතර වෙනවා. මේ සියල්ල කිසිදු ගැටලුවක් නොවන ආකාරයට මගේ බිරිඳ විසින් කළමනාකරණය කර දෙනවා.

ඒ වගේම අපට පුතුන් දෙදෙනෙකු සිටිනවා. ඒ අතරින් වැඩිමහල් පුතා රහල් කුමාරසිංහ. එයා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මූල්‍ය සහ ගණකාධිකරණය පිළිබඳ උපාධියක් හදාරා තිබුණත්, මගේ ගුවන් නියමු වෘත්තීයට පිවිසීමට මහත් ආශාවක් දැක්වූවා. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් ඒ පිළිබඳව හදාරා ඔහුත් දැන් වාණිජ ගුවන් බලපත්‍රයක් ලබාගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්බන්ධ වී සිටිනවා. ඔහු එදා මා සමඟ සහායක ගුවන් නියමුවා ලෙස කටයුතු කිරීම අපිට අමතක නොවන සිදුවීමක් වගේම, ශ්‍රී ලංකා ගුවන් ගමන් ඉතිහාසයට වාර්තාවක්.

අනෙක් බාල පුතා ඕස්ට්‍රේලියාවේ ස්වින් බර්න් සරසවියෙන් කාර්මික ඉංජිනේරු උපාධිය ලබා එරට සේවය කරමින් සිටිනවා. මම දැන් පොඩි විවේකයක් අරගෙන යළිත් ගුවන් නියමු උපදේශකවරයකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වනවිට ලෝකයේ තදින්ම ගුවන් නියමුවන්ගේ හිඟයක් තියෙනවා. ඒ නිසා මැදපෙරදිග රටවල් වැඩි වැටුප් ගෙවා ලෝකයේ අනෙකුත් රට වලින් ගුවන් නියමුවන් ගෙන්වා ගන්නවා. අපේ රටේ වර්තමාන බදු ප්‍රතිපත්තිය සහ ලෝකයේ අනෙකුත් රටවල වැඩි වැටුප් ගෙවීම නිසා, එළඹෙන අප්‍රේල්, මැයි මාස දෙක තුළ ගුවන් නියමුවන් 50 කට අධික පිරිසක් රට හැර යාමට නියමිතව සිටිනවා. එසේම ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව නවතම ගුවන් යානා සංචිතයක් නොමැති වීම මෙම තත්වය වඩාත් නරක අතට පත්කරමින් තිබෙනවා. දැනට ලෝකයේ ගුවන් සමාගම් A - 350 එයා බස්, බෝයිං ඩ්‍රීම්ලයිනර් වැනි ගුවන් යානා භාවිතා කරනවා. එහෙත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව මෙවැනි ගුවන් යානා නැහැ. ඒත් මෙවැනි ගුවන් යානා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙනවා. එනිසා මෙම පසුබිම යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය අසීරු, අමාරු අවස්ථාවකට මුහුණ දෙමින් සිටිනවා යැයි ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසීය.

මගේ සේවා කාලය වසර 44ක්. නමුත් වයස අවුරුදු 60 ඉක්මවූ පසුව ගුවන් නියමුවන් සේවයට යොදා ගැනීමට ගුවන් සේවා සමාගම්, රක්ෂණ ආයතන මෙන්ම ඇතැම් රටවල් තම ගුවන් සීමාවට එවැනි ගුවන් නියමුවන් පදවා ගෙන පැමිණෙන ගුවන් යානා ඇතුළු කර ගැනීමට ද මැලිකමක් දක්වනවා. උදාහරණයක් විදියට ඉන්දියාව මීට වසර කිහිපයකට පෙර අවුරුදු 62ට වැඩි ගුවන් නියමුවන්ට එරට ගුවන් සීමාවට ඇතුළු වීම තහනම් කළා. 

''ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එවකට සිටි එක් ගුවන් නියමුවෙකු මෙම නීතිය නිසා අසීරුතාවට ලක්වුණා. එයට පිළියමක් ලෙස ඔහු, ඉන්දීය ගුවන් සීමාව මඟහැර මාලදිවයින වෙත ගුවන් ගත වීමට සැලැස්වූවා. එහෙත් මේ ක්‍රියාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලාභ ගෙන දෙන්නක් වුණා.'' නමුත් වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදය ගුවන් නියමුවන්ගේ සේවා වයස් සීමාව අවුරුදු 67 දක්වා වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව ද පැවසීය. කපිතාන් උත්පල කුමාරසිංහ මහතාගේ මෙම ආදර්ශමත් ගුවන් සේවා දිවිය ශ්‍රී ලාංකික ජනතාවට මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාවටද ආදර්ශයක් වී ඇති අතර, ඔහුගේ විශ්‍රාමික අනාගතයද මේ ආකාරයට කිසිදු කරදරයකින් බාධාවකින් තොරව ගෙවා දමන බවට, ඔහුගේ සේවා කාලයේ අත්දැකීම් අපට පසක් කර දෙයි.

I කටුනායක ටී.කේ.ජී. කපිල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00