2023 අප්‍රේල් 09 වන ඉරිදා

ජපන් කෙටිකතා සිංහලයට නඟමින් පොත් ලියන, ගී ලියන මහාචාර්ය නිමල් නවරත්න

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 145

බිම වැටුණු පත්තර කෑල්ලක් දුටුවත් අහුලාගෙන කියැවූ ඒ පුංචි දරුවා අද මහාචාර්යවරයෙකි. මහාචාර්ය පදවි ලැබුවත් කියවන්නට ලියන්නට ඇති ආසාව, කැමැත්ත කිසිදා ඔහු වෙතින් බැහැර නොවූයේය. කොළඹ සරසවි බිමේදී මාධ්‍ය කළමනාකරණය යන විෂයෙහි සාක්ෂරතාව මට ඉගැන්වූ මගේ ආදරණීය ගුරුවරයෙකු ලෙස මගේ නිබඳ බුහුමනට මේ මොහොතේත් පාත්‍ර වන ඔහු මහැඳුරු නිමල් ජයන්ත නවරත්නය.

නුඹත් එක්ක කඳු මුදුනට 
යන්න හිතෙනවා
ඒත් මගේ හිත කොඳුරනවා
නුඹත් එක්ක හිනා වෙවී
ඉන්න හිතෙනවා
ඒත් මගේ හිත කොඳුරනවා
කඳු පාමුල හෙට මා
තනි වේවි කියනවා...

විශාරද එඩ්වඩ් ජයකොඩි තනු නිමවා ගැයූ ඒ ගීතයේ පද රචකයාද මහාචාර්ය නිමල් ජයන්ත නවරත්නය. 

2001 වසරේදී මහාචාර්ය නිමල් ජයන්ත නවරත්න පරිවර්තනය කළ දොරඑමොන්, 2015 දී රචනා කළ සතුට සහ රැකියාව 2018 වසරේදි රචනා කළ ජපන් බසට ඇරයුමක්, 2022 වසරේදී රචනා කළ සහභාගිත්ව කළමනාකරණය, මි‍නෝරි සාන් කෙටිකතා සංග්‍රහය, මානව සම්පත් කළමනාකරණය යන ග්‍රන්ථ රචනා කරමින් ලේඛකයකු සහ සාහිත්‍යවේදියෙකු ලෙස ඔහු යන ගමන ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතයේ සෞන්දර්යාත්මකම කඩඉම ලෙස මම දකිමි.

මහාචාර්ය නිමල් ජයන්ත නවරත්න විසින් රචිත මානව සම්පත් කළමනාකරණය කෘතිය සිංහල භාෂාවෙන් සම්පාදිත මානව සම්පත් පරිපාලනය සහ සංවර්ධනය පිළිබඳ විශිෂ්ට කෘතියක් ලෙස නිතැතින්ම සම්භාවනාවට පාත්‍ර වේ. ඒ එම විෂය පිළිබඳව සිංහල භාෂාවෙන් ලියැවුණු පොත් ඉතාමත් දුර්ලභ වූ පසුබිමකය. එම විෂය සම්බන්ධව ඒ හා සම්බන්ධ සියලු අංශ ආවරණය වන පරිදි සිංහලෙන් ලියැවුණු කෘතීන් ඉතා අවම පසුබිමක සැබැවින්ම මෙම කෘතිය එම විෂය හදාරණ විද්‍යාර්ථින්ට මහත් අත්වැලක් සපයන කෘතියකි.

''මහාචාර්ය නිමල් ජයන්ත නවරත්න මැතිතුමා විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය මානව සම්පත් පරිපාලනය සහ සංවර්ධනය පිළිබඳ සිංහල භාෂාවෙන් ලියැවුණු විශිෂ්ට කෘතියකි. මෙම විෂය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ලියැවුණු කෘතීන් දුර්ලභය. සියලු අංශ මැනවින් ආවරණය වන කෘතීන් ඉතා දුර්ලභය. එම නිසා මෙම කාලීන අවශ්‍යතාවයන් ඉටු කරන වැදගත් ග්‍රන්ථයක් ලෙස දකිමි.

ඕනෑම ආයතනයක ආයතනික අරමුණු ඉෂ්ඨ කර ගැනීමට එහි ඇති මානව සම්පත නොහොත් කාර්ය මණ්ඩලය තීරණාත්මක සාධකයක් වේ. තරගකාරී ව්‍යාපාරික ලොව තුළ මෙය මැනවින් තහවුරු වී ඇත. ආයතනයක දීර්ඝ කාලීන සාර්ථකත්වයට සහ පැවැත්මට එහි කාර්ය මණ්ඩලය ඉටු කරන දායකත්වය මිල කළ නොහැක. එවන් වටිනා සම්පතක් වන මානව සම්පත් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම මේ ග්‍රන්ථය තුළින් ඔබ වෙත ගෙන ඒමට මහාචාර්ය නවරත්න මහතා ඉතා හොඳින් සමත් වී ඇත. මේ වටිනා මෙහෙවර සම්බන්ධයෙන් මගේ සුබාසිංශන එතුමාට පිරිනමනු කැමැත්තෙමු. මෙය ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව සහ සිසුන්ට මේ විෂය පිළිබඳව මනා දැනුමක් ලබාගැනීමට මහඟු රුකුලක් වනු ඇත.*
ඉසුරු එන්. තිලකවර්ධන විද්වතාණන් එම කෘතියට පසුවදනක් සපයමින් මෙම කෘතිය ප්‍රසංශනීය ලෙස අගය කර ඇත්තේ ඒ ආකාරයෙන්ය.

මානව සම්පත් කළමනාකරණය, උපයාමාර්ගික මානව සම්පත් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණ න්‍යායන් - ප්‍රතිපත්ති හා සැලසුම්, වැඩ නිර්මාණය, රැකියා නිර්මාණය හා රුකියා විශ්ලේෂණය, ආකර්ෂණය හා තෝරාගැනීම, අධ්‍යාපනය, ඉගෙනුම, පුහුණුව හා සංවර්ධනය, වේතන හා ප්‍රතිලාභ කළමනාකරණය, කාර්ය ඵල, කාර්ය සාධන කළමනාකරණය හා ඇගයීම, ශ්‍රමික සබඳතා, සේවාදායක ආරක්ෂාව, සෞඛ්‍ය, සුබසාධනය හා ආතතිය, උපදේශනය හා න්‍යාය කළමනාකරණය, ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය, මානව සම්පත් පිරිවැයකරණය, ගිණුම්කරණය හා විගණනය, සේවාදායක රුකියා ආකල්ප, මානව සම්පත් තොරතුරු පද්ධති, නිපුණතා කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක් මෙම ග්‍රන්ථය ඔස්සේ ආවරණය කර ඇත.

ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ජපානයේ විශ්ව විද්‍යාලයකට ගිය නිමල් ජයන්ත නවරත්න ජපන් බස මනාව ලියන්නට සහ කතා කරන්නට හැකියාව ලත් විද්වතෙකි. මිනෝරි සාන් කෙටිකතා සංග්‍රහය එම නිපුණතාව උදෙසා මැනවින් සාක්ෂි දරයි.
ගී පද රචකයෙකු, පරිවර්තකයෙකු, සාහිත්‍යවේදියෙකු මෙන්ම සුවහසක් විද්‍යාර්ථින්ගේ නැණ පහන් එකළු කරන ආදරණීය මහැඳුරෙකු ලෙසත් මගේ ඇගයීම තුළ ප්‍රසංශනීය සම්භාවනාවට පාත්‍ර වන මහාචාර්ය නිමල් ජයන්ත නවරත්න සාහිත්‍යවේදියාණන්ගේ අනාගත ග්‍රන්ථකරණය උදෙසා අපේ සුබ පැතුම්.

♦  සංජීවිකා 
I සේයාරූ - සුමුදු හේවාපතිරණ