
අංගොඩ ලොක්කා යනු මෙරට පාතාලයට අලුතින් එක්වූ තවත් නමකි. ලොක්කා ගැන කවුරැත් දැනගත්තේ පසුගියදා කළුතර සිදුවීමත් සමඟය. එය ලොක්කාගේ පළමු අපරාධය නොවුණත් එය ඉතිහාස ගතවන්නේ බන්ධනාගාර බසයක් තුළ සිදුවූ පළමු සමූලඝාතනයක් ලෙසටය. තමන්ට විරුද්ධ වූ තවත් පාතාලයකුට එරෙහිව සිදුකළ පාතාලයේ පළමු සමූලඝාතනය මෙයද නොවේ. මීට පෙර කරාටේ ධම්මික විසින් කඩුවෙල වසන්ත ඇතුළු පිරිස වෙසක් පොහෝ දිනයක අමු අමුවේ වෙඩි තබා ඝාතනය කෙරිණි. ඊට නොදෙවැනි මෙම ඝාතනය මානව හිමිකමටත් එහා ගොස් නීතියට එල්ල කරන ලද මරු පහරක් විය.
ඉතා සැලසුම් සහගත අයුරින් සිදුකළ මෙම ඝාතනය කාගේ වැඩක්ද යන්න පැය කිහිපයක් ගත වන්නට මත්තෙන්ම පොලීසිය හඳුනා ගත්තේය. ඒ වෙන කිසිවෙක් නොව ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාය. අංගොඩ ලොක්කා යනු ඝාතනය වූ සමයංගේ ප්‍රධාන හතුරා විය. ඒ නිසා පොලීසියේ ප්‍රධාන සැකය එල්ල වුණේ ලොක්කා වෙතය.
1985 වසරේ නොවැම්බර් 13 උපත ලද ලොක්කා අංගොඩ බෝගල පාරේ පදිංචි අයෙකි. උසස් පෙළ තෙක් අධ්‍යාපනය ලැබූ ලොක්කා පළවෙනි මිනීමැරුම සිදුකරන්නේ 2011 වසරේදීය. ඒ එවකට කොළඹ ප්‍රබල තරුණ දේශපාලනඥයකුව සිටි අයකුගේ සමීප අයකු ඝාතනය කරමිනි. චන්දන පුෂ්පකුමාර හෙවත් මෝඩා මෙලෙස ඝාතනය කරන්නේ ඔවුන්ගේ පිරිසත් සමඟ ඇතිකරගත් ආරවුලක් නිසාය.
මේ වනවිට සමයංද කරළියට පැමිණෙමින් සිටි අතර 2010 වසරේ කොළඹ පළතුරු ව්‍යාපාරිකයකු වූ කිත්සිරි රාජපක්ෂ ඝාතනයත් සමඟ සමයං ඉහළ තැනකට පත්විය. ඒ කෙසෙල්වත්තේ දිනුකත් සමයනුත් එක්ව කටයුතු කළ නිසාය.
කෙසේ වෙතත් ලොක්කා ඊට නොදෙවැනිව වැඩකටයුතු සිදුකරන්න ගත්තේ විවිධ අයගේ කොන්ත්‍රාත් සිදුකරමින් පාතාලයට යන්නට දතකමිනි. මේ අතර ලොක්කා කරළියට ආ ප්‍රධානම සිද්ධිය වන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයකුට ටී 56 ගිනි අවියෙන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියයි. ඒත් එමඟින් ලොක්කාට යම් තැනක් පාතාලය තුළ ගොඩනැගුණු අතර එතෙක් සමයං සිටියේ ඒ ගැන දැඩි කනස්සල්ලෙනි. එයට හේතුවූයේ අතුරුගිරියේ කොල්ලන් ලොක්කා සමඟ එකතු වෙමින් සිටි බැවිනි. මේ නිසා ලොක්කාට සම්බන්ධ කොල්ලන් සොයා පහර දෙන්නටත් වෙඩි තබන්නටත් සමයං පුරුදු වී සිටියේය.
මේ අතරතුර ලොක්කා පොලීසියට කොටුවූෙය් ටී.56 ගිනි අවියක් සහ මි.මී. 9 ගිනි අවියක්ද සමඟය. මේ නිසා ලොක්කාට කොළඹ මැගසින් බන්ධනාගාරයට ඇතුළුවීමට සිදුවිය. එසේ යන විටත් සමයං බන්ධනාගාරයේ සිටියේය. ඒ ඝාතනයකට අදාළවය. සමයං සහ ලොක්කා අතර තිබූ සීතල යුද්ධය උණුසුම් වෙන්නට පටන් ගත්තේ මෙහිදීය.
එනම් ලොක්කා බන්ධනාගාරගත වනවිට දකුණේ පාතාලයේ කෙරුමකු වූ හර්ෂ බන්ධනාගාර ගතවී සිටියේය. හර්ෂ මුළු රටම දැන සිටියේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටි ඩැනී හිත්තැටිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙසය. හර්ෂ කලක් සමයං සමඟ මිතුරු වී සිටියේය. එහෙත් ඇතුළේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් දෙදෙනා වෛරක්කාරයන් බවට පත්වූහ. හර්ෂ වරක් සමයංට පහරදී තිබුණේය. මේ නිසා හර්ෂත් ලොක්කාත් අතර සතුරාට එරෙහි මිතුරුකමක් ඇතිවිය. සමයංට එය දරාගත නොහැකි අවස්ථාවක් විය. මේ නිසා සමයං හිටියේ බියෙන් සහ සැකයෙනි. අවසානයේ හර්ෂ එළියට ගියේය.
එළියට ගිය හර්ෂට වැඩිකළක් ජීවත්වීමට සමයං ඉඩදුන්නේ නැත. සමයංගේ කල්ලිය ගොස් ඔබේසේකරපුරයේදී හර්ෂ වෙඩි තබා ඝාතනය කළේය. හර්ෂ ඩැනී හිත්තැටිය ඝාතනය කළේ සිය ගුරා වූ මාකඳුරේ මදුෂ් නිසා බැවින් මදුෂ්ට එය සැලවී යකා වැහුණේය. හර්ෂ හරහා මදුෂ් හඳුනාගත් අංගොඩ ලොක්කා අමතා සමයං පිළිබඳ විස්තර ගත්තේය. සමයංගේ බිරිය සමයංට කෑම රැගෙන එන බවත් ඇය ගැබිනියක් බවත් සොයාගත් මදුෂ් සිය ගෝලයන් දෙදෙනකු යොදවා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී ගැබිනි කාන්තාවකට වෙඩි තිබ්බේ සමයංගේ බිරිඳ යැයි විශ්වාසයෙනි. එම වෙඩි තැබීමෙන් කාන්තාවට තුවාල සිදුවුවත් ඇය සමයංගේ බිරිය නොවන බව පසුව හෙළි විය.
සමයං ඝාතනය වැරදී ගිය නිසා නැවත ඝාතන සැලැස්මක් සැකසුවේය. ඒ සමයං උසාවියට රැගෙන එනවිට ඝාතනය කිරීමටය. ඒ සමයං සමඟ බන්ධනාගාරයේ ගැටුමක් තිබූ චමී යොදාගෙනය. ඒ අනුව ලොක්කා විසින් චමීට ගිනි අවියක් ලබාදී කඩුවෙල උසාවි භූමියේදී වෙඩි තැබුවේය. එදින සමයංට තුවාල වුවත් ජීවිතයට අනතුරක් සිදුවූයේ නැත. ඒ දවසේද සමයං ජීවිතය බේරාගත්තේ අනූනවයෙනි.
කාලය ගෙවී යනවිට ලොක්කා එළියට ආ අතර එතෙක් සමයංගේ ගෝලයන්ගේත් ලොක්කාගෙත් ඔහුගේ සමීපතමයා වූ ලසියාගේ ගෝලයන්ට සහනයක් වූයේ නැත. එගොඩ කැලණිය පාලම උඩදී එක් ගෝලයකු ඝාතනය කෙරිණි. බණ්ඩාර නැමැති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ රියදුරු රූපලාවන්‍යාගාරයක් ඇතුළතදී ඝාතනය කළේය. ඒ සමයංට එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙනි. මේ දෙදෙනාම ලොක්කාගේ ගෝලයෝ වූහ.
එසේ සිටියදී දිනක් ලොක්කාගේ ගෝලයකු පොලිසියට කොටුවුයේ ඝාතන සිද්ධියක් නිසාය. එම ගෝලයාගේ සමීපයේ තිබී යුද හමුදා ඇඳුම් කිහිපයක් සොයාගන්නා අතර එය ඝාතනයක් සඳහා සූදානම් වීමක් බව පොලිසිය දැනගත්තේය. එහෙත් එය සමයං ඝාතනය සඳහා සූදානමක් බව දැන සිටියේ නැත.
කෙසේ වෙතත් 2016 මැයි 10 වැනිදා එම හෙළිදරව්වෙන් පසුව දෙපාර්ශ්වයේම එකා දෙන්නා මිය ගියහ. අවසානයේ පසුගිය පෙබරවාරි 27 වැනිදා සමයං ඇතුළු පිරිස පැමිණෙන බන්ධනාගාර බස් රථය වටකොට අංගොඩ ලොක්කා ඇතුළු පිරිස වෙඩි තැබුවේ සමයංව පරලොව යවමිනි.
මේ ඝාතනය පිටුපස මාකඳුරේ මදුෂ් සිටියේය. ඒ මදුෂ්ගේ ගෝලයා වූ හර්ෂ ඝාතනය කිරීම සහ මදුෂ්ට සමයං විසින් එල්ලකරන ලද අභියෝග නිසාය. ඩුබායිහි සිටි සියලු මෙහෙයුම සිදුකළේ මදුෂ් බව අනාවරණය විය.
කෙසේ වෙතත් එම ඝාතනයෙන් පසුව පරීක්ෂණ සිදුකිරීමේදී ඇඟිලි සලකුණුවලින් හෙළිවුණේ අංගොඩ ලොක්කා ඝාතනයට ලොක්කා පැමිණ ඇති බවය. ඒ අනුව පොලිසිය ලොක්කා සහ ඔහුගේ සගයා වන ලසියා සොයා පරීක්ෂණ ආරම්භ කළේය. කෙතරම් සෙවීම් කළත් ලොක්කා සම්බන්ධයෙන් තොරතුරක් ආවේ නැත.
මේ අතරතුර හෙළිවුණේ ලොක්කා බෝට්ටුවක් මගින් ඉන්දියාවට පැනගොස් ඇති බවයි. මන්නාරම ප්‍රදේශයෙන් ලසියා සමඟ ඔහු පැනගොස් තිබුණේ දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයටය. එහි දින කිහිපයක් රුඳී සිටි ලොක්කා ඇතුළු පිරිස ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගැනීම සඳහා මදුෂ් පිඹුරුපත් සකසා තිබූ අතර ඒ සඳහා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක්ද සකසා ගෙන තිබිණි.
මේ සියලු මෙහෙයුම් සිදුකරද්දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීවට වෙඩි තබනු ලැබීය. එහිදී ඔහු බරපතළ තුවාල ලැබූ අතර තවත් පොලිස් නිලධාරියෙක් මියගියේය. අසල සිටි දරු පවුලකට වෙඩි වැදීමෙන් දැරියක්ද මියගියාය. මේ ඝාතනවල සැකය එල්ලවුණේ මදුෂ් වෙතය. ඔහුට පොලිස් පරීක්ෂක රංගජීව බාධාවක් වී සිටියේය. මේ ඝාතන සඳහා ආමි අසිත යෙදවූ බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් මේ සියලු දේ සිදුවන විට අංගොඩ ලොක්කාත්, ලසියාත් චෙන්නායි හරහා ගුවන් මගින් ඩුබායි රාජ්‍යයට යාමට සූදානම් වී සිටියහ. එහෙත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර නිසා එරට පොලීසියට මේ දෙදෙනාම කොටුවූහ. අවසානයේ ජාත්‍යන්තර පොලීසිය හරහා සම්බන්ධ වෙමින් ඡායාරූප මෙරටට එවීමේදී ඒ අංගොඩ ලොක්කා සහ ලසියා බව හඳුනාගන්නට හැකි විය.
දැන් දෙදෙනාම එරට පොලීසිය බාරයේ සිටින අතර අද හෙට ඔවුන් මෙරටට රුගෙන එන තෙක් මෙරට පොලිසියද බලා සිටින්නේය. එපමණක් නොව සමයංගේ ගෝලයන්ද බලා සිටිති. ඒ නිසා අංගොඩ ලොක්කා දැන් සිටින්නේ සමයංට අත්වූ ඉරණමට තරමක් මෑතිනි. ලොක්කාගේ ජීවිතය ගැන තීරණය ගන්නට තවත් පාතාලයේ ලේ පිසාචයින් පිරිසක් බලා සිටිනු ඇත.
ගයාන් ගාල්ලගේ