2023 අප්‍රේල් 02 වන ඉරිදා

රටම සසළ කළ කෘෂි නිලධාරිනියගේ ඝාතනය

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 166

''දුවයි මමයි බස් එකට නගින්න පාරට යනකොට ඩැනී බේබි දත් මැද මැද බෝක්කුව උඩ ඉඳගෙන හිටියා. එයා අපිව දැක්ක ගමන් අපේ ඉස්සරහට ආවා. ළඟට ඇවිත් එකපාරටම ඉනේ ගහන් හිටපු පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා. ඊටපස්සේ මූණටයි හැමතැනටම අනින්න ගත්තා.''

කෘෂිකර්ම පර් යේෂණ නිෂ්පාදක සහකාරවරියක් වූ දීපශිකා ලක්රුවනි විජේදාස මහත්මිය ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනවා සියැසින් දුටු ඇගේ නැන්දනිය වන ඩී.පී. දයාවතී මහත්මිය හැඬූ කඳුළින් කීවාය.

''දුව ලේ පෙරාගෙන බිම වැටුණා. ඩැනී බේබි බිම වැටිලා හිටපු දුවගේ ඔළුව එහෙට මෙහෙට හරවලා කැපුවා. මම දුව බේරාගන්න හදනකොට ඩැනී බේබි මටත් අනින්න ආවා. මම දුවලා ගිහින් බේරුණේ.'' යැයි ඇය පොලිස් නිලධාරීන් හමුවේ වැඩිදුරටත් පැවසීය.

දීපශිකා ලක්රුවනි විජේදාස මහත්මිය කපාකොටා ඝාතනය කොට තිබුණේ පසුගිය 27 වැනිදා පෙරවරුවේදීය. මීට වසරකට පමණ ඉහතදී විවාහපත් වූ දීපශිකා මහත්මිය එදා පටන් පදිංචිව සිටියේ සිය සැමියාගේ නිවසේය. ඇගේ තනියට නිරතුරුවම ළඟ සිට තිබුණේ සැමියාගේ මව වන දයාවතී මහත්මියයි.

බයක් සැකක් නොමැතිව දීපශිකා මහත්මිය කපා කොටා ඝාතනය කිරීමට ක්‍රියාකළ ඩැනී බේබි නැමැත්තා ඝාතනයට ලක්වූ දීපශිකා මහත්මියගේ නිවෙසට ආසන්න පදිංචිකරුවෙකි. තංගල්ල, වැලිආර, නෙතොල්පිටිය ප්‍රදේශයේ පදිංචි ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ඩැනී බේබි ධීවර කාර්මිකයෙකි. ඝාතනයට ලක්වූ දීපශිකා මහත්මියගේ නිවෙසට මීටර් 175ක් පමණ දුරින් නිවසේ සිටින ඔහු වෙනත් පාර්ශ්වයකට අයත් කුඹුරක් වගා කරමින් අඳ ගොවියෙක් වශයෙන් කටයුතු කරයි.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තංගල්ල ප්‍රාදේශීය සභාවට සජබ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නාමයෝජනා බාරදී සිටින ඔහු ප්‍රදේශයේ දේශපාලන සබඳතා ඇති පුද්ගලයෙක්ද වෙයි. ඩැනී බේබි නැමැත්තා දින කිහිපයකට ඉහතදී දීපශිකා මහත්මිය හමුවට පැමිණ වෙනත් පුද්ගලයකුගේ භූමියක් සඳහා පොහොර ලබාගැනීමට අවශ්‍ය බව කියා ඒ වෙනුවෙන් ලිපියක් ඉල්ලා ඇත. නීති විරෝධී ක්‍රියාවක් වූ ඊට දීපශිකා මහත්මිය අකමැත්ත ප්‍රකාශ කොට තිබිණ. 

පසුදිනක නැවත වරක් ඇය හමුවීමට පැමිණි ඩැනී බේබි නැමැත්තා ''මට බොරු ලිපියක් එපා. ඒ වුණාට පොහොර නම් ඕනෑ. රජයෙන් නිකන් දෙන පොහොරනෙ. ඒ නිසා මට පොහොර හොණ්ඩරයක් දෙන්න.'' යැයි කියා තිබුණේ දීපශිකා මහත්මියගේ නිවෙස අසලට පැමිණය. ඒ මොහොතේ ඔහු කටගොන්නක් බීගෙන පැමිණ තිබූ අතර දීපශිකා හෝ ඇගේ නැන්දනිය නිවසේ දොර හැර කතා කර නැත. තත්ත්වය තේරුම් ගත් ඔවුන් දොරගුලු දැමූ නිවසේ සිටම ''ගෙදරදි මේවා කතා කරන්න බෑනේ. රාජකාරි වැඩක් නිසා ඔෆීස් එකට එන්න.'' යැයි පවසා ඇත.

''හරි එහෙනම් මට පොහොර දෙන්නේ නෑ. අපි බලාගමු ඈ. මම හොයාගන්නම් පොහොර ගන්න විදිහ. මගේ යාළුවෙකට මේ පොහොර ඉල්ලුවේ.''

මේ කතාබහ සිදුව ඇත්තේ ඝාතනය සිදුවූ දිනට පෙරදා රාත්‍රියේය. එතැන් සිට තවත් වචන කිහිපයක් කියමින් පිටවී ගිය ඩැනී බේබි දීපශිකාට හා නැන්දනියට මුණගැසී තිබුණේ පසුදින උදයේය.

එදින උදේ රාජකාරියට යාමට සූදානම් වූ දීපශිකා නැන්දණිය සමඟ පා ගමනින් ගමන් කළේ බස් රථයට නැගීම සඳහාය. නිවසේ සිට මීටර් 150ක් පමණ දුරක් ඇවිද ගිය දෙදෙනා ඉදිරියට ඩැනී බේබි පැමිණ තිබුණේ කිසිදු සැකයක් නොසිතෙන ලෙසය. ඔහුගේ ඉනේ සඟවා තිබූ පිහියක් ඇද මාරාවේශයෙන් දීපශිකාගේ ගෙල දෙසට ඇනීමත් සමඟ ඇය ලේ පෙරාගෙන බිම වැටුණාය. වේදනාවෙන් කෑගැසූ දීපශිකාගේ හිස එහෙට මෙහෙට හරවමින් ක_ර ලෙස ඩැනී බේබි ඇයට තවත් පිහිපහර ගණනාවක්ම එල්ල කළේය. වේදනාවෙන් දඟලමින් සිටි දීපශිකාගේ සිරුරේ තවත් තැන් කිහිපයකටම පිහියෙන් ඇන්න ඩැනී එතැනින් ඉවත්වූයේ ද නැත.

මේ අපරාධය දුටු කිහිප දෙනකු එතැනට දුවගෙන පැමිණ තිබුණේ දීපශිකා බේරාගන රෝහල් ගත කිරීමේ අරමුණෙනි. ඒ කිසිවකුටත් ළංවීමට ඉඩ නොදී ඩැනී ලේ බේරෙන පිහිය අතැතිව දීපශිකාගේ සිරුර අසලට වී සිට ඇත. ළඟට පැමිණි ඇතැම් අයටද පිහි පහර එල්ල කරන්නට තරම් ඔහු රුදුරු වී සිට ඇත. මෙම ඝාතනය සිදුකර තිබුණේ දීපශිකාගේ නිවෙසට මීටර් 150ක පමණ දුරකින් වන අතර ඩැනී බේබි නැමැත්තාගේ නිවෙස ඉදිරිපිට මාර්ගයේදීය.

මෙම ඝාතක ඩැනී බේබි නැමැත්තා පාලනය කිරීම සඳහා උත්සාහ ගත් කෙනකු අතර තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරියෙක්ද වෙයි. ඔහු උදේ සේවයට යන අවස්ථාවේ සිද්ධිය දැක ඒ සඳහා ඉදිරිපත්ව තිබුණි. ඔහුටද සැකකාර ඝාතකයා පිහියෙන් ඇනීමට උත්සාහ කර තිබෙන අතර ඒ මොහොතේ තංගල්ල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇත. එම ස්ථානයේ සෙනඟ රුඳී සිටි නිසා ඔවුන් ඒ ගැන අවධානය යොමු කිරීමේදී මේ බව දැක තිබෙන අතර පෙර කී පොලිස් නිලධාරියාගේද සහාය ඇතිව ඔවුන් තිදෙනා ඝාතකයා මෙල්ල කොටගෙන අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සැකකරු තංගල්ල අධිකරණයට ඉදිරිපත් කළ අතර අප්‍රේල් 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි. 

ඝාතනයට ලක්වූ දීපශිකා ලක්රුවනි මහත්මිය 25 හැවිරිදිය. ඇගේ සැමියා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සේවය කරන්නෙකි. සැකකාර ඝාතකයා අඳේට කුඹුරක් වගාකරන අතර මේ කන්නයේදී එහි හිමිකරු විසින්ම කුඹුර වගාකර ඇති බව පොලිසිය පවසයි. සැකකරු එම කුඹුර සඳහා පොහොර ලබාගැනිමට නීති විරෝධීව ලිපියක් ඉල්ලා තිබෙන බව හෙළි වී ඇත. ඊට පෙර එම කුඹුරේ හිමිකරුවන් ඒ සඳහා පොහොර ලබාගෙන තිබූ නිසා කෘෂිකර්ම පර් යේෂණ සහකාරවරිය ඒ සඳහා මැදිහත් වීමෙන් වැළකී සිට ඇත. මේ නිසා ඩැනී බේබි ඒ පිළිබඳ කෝපයෙන් පසු වී ඇත.

මොණරාගල ප්‍රදේශයේ උපන් දීපශිකා සැමියාගේ නි‍වෙසේ සිට රාජකාරියට යමින් සිටියදී මෙම ඝාතනයට ගොදුරු වී තිබුණේ පෙර කී පොහොර ගැටලුව නිසා සැකකරු වෛරයෙන් පසුවීම නිසාය. ඝාතනය සැලසුම් සහගතව සිදුකර තිබෙන බව අනාවරණය වන බව පොලිසිය වාර්තා කළේය.

දීපශිකා ලක්රුවනි ඝාතනය කෙරුණේ රජයේ සේවයේ නිරතව සිටියදී වීම නිසා රාජ්‍ය සේවයේ නිලධාරියකුට හිමිවන සියලු වරප්‍රසාද ඇගේ පවුලේ අයට ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05