2023 මාර්තු 26 වන ඉරිදා

ඔබතුමාට මේ වෙලාවේ වෙඩි තියන්න ’’ප්ලෑන්’’ එකක් යනවා... පරිස්සමෙන්...

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 359

''මෙහෙමයි මම ඉන්නකල් ඔය යකා ජීවත් වෙන්න බෑ. මිනිහට ගහන්න ඕනෑ. මිනිහා මෙච්චර කල් හිටිය එකත් පුදුමයක් මට.'' පොලිස් ලොක්කා තම යටතේ සිටින පොලිස් ස්ථානාධිපතිවරු ඉදිරියේ කීවේය.

කෙසේ වෙතත් පොලිස් ස්ථානාධිපතිවරුන් ඊට එකඟ වුණේ නැත. ඊට හේතුව වූයේ මේ ''හිත හොඳ චණ්ඩියා'' ඝාතනය කිරීම අහස පොළව නුහුලන අපරාධයක් නිසාය. පළාතේ කුඩු, කසිප්පු, කප්පම් පොලීසියට පවා නවතා දැමීමට නොහැකි වූ මොහොතක ඒ සඳහා නොබියව මුහුණ දුන්නේ මේ හිත හොඳ චණ්ඩියාය. සමහර පොලිස් නිලධාරීන්ට පවා පාලනය කළ නොහැකි ගමේ චණ්ඩින් පවා පාලනය කළේ මෙකී හිත හොඳ චණ්ඩියා නිසා පොලිස් නිලධාරීන් තම ලොක්කාගේ යෝජනාව ගැන කොහෙත්ම කැමති වුණේ නැත. එහෙත් පොලිස් ලොක්කාට අවශ්‍ය වුණේ කෙසේ හෝ මේ කතාව ඉවර කරන්නටය.

වසර ගණනාවක් පොලිස් සේවයේ සිටි පොලිස් ලොක්කා වැඩවලට වඩා වැඩ අල කරන්නට මහා දක්ෂයෙකි. ගිය තැන පාතාලයන්, හොරුන් තක්කඩින් සහ දේශපාලනඥයන් එක්ක එකට ලගින පොලිස් ලොක්කා මෙවරද අලුතින් පත්ව ඇවිත් සුපුරුදු දූෂිත මිතුරන් එක්ක ලගින්නට පටන් ගත්තේය. ඒ හැමදෙනාටම වදයක් වූ මෙම හිත හොඳ චණ්ඩියා කෙසේ හෝ බොරු නඩුවක පටලා ඇතුළට දැමීමත් එසේ නොමැති නම් ඝාතනය කිරීමත් පොලිස් ලොක්කා කැමැත්තෙන් බාරගත් රාජකාරියක් විය.

පොලිස් ලොක්කා එළිපිට හිත හොඳ චණ්ඩියා ඝාතනය කරන ලෙසට නියෝග දුන්නත් එයට එකඟ බවට ඉඟියක් කිසිවකු විසින් හෝ ලබා නුදුන් නිසා වැඩේට පහළ නිලධාරීන් යොදාගන්නට සැලසුම් කළේය. කෙසේ වෙතත් මෙම සිදුවන සිදුවීම් ගැන හිත හොඳ චණ්ඩියා සියල්ල දැන සිටියේය. එහෙත් ඔහු බියවුණේ නැත. දූෂිත මෙම නිලධාරියා සමඟ කරට කර හැප්පෙන්නට තීරණය කළේය.

දිනක් හිත හොඳ චණ්ඩියා තම මෝටර් රථයෙන් ගමනක් ගොස් නිවෙස බලා යමින් සිටියේය. එසේ යමින් මහා මාර්ගයේ සිට අතුරු මාර්ගයක් වෙත වාහනය හරවන්නට විය. ඒ සමඟම මාර්ග බාධක යොදවා විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් එම මාර්ගය අසල රුඳී සිටිමින් චණ්ඩියාගේ වාහනය නවතන ලෙස නියෝග කළහ. ඒ සමඟම දඩි බිඩියේ පොලිස් නිලධාරීහු වාහනයෙන් පිරිස බස්සවා වාහනය පරීක්ෂා කරන්නට වූහ. එහෙත් හිත හොඳ චණ්ඩියා සමඟ ඔවුන් දැඩි ඕනෑකමින් වාහනය පරීක්ෂා කරන්නට පිරිසට සහාය ලබාදුන්නේය. එසේ පරීක්ෂා කරන විට දැක ගැනීමට හැකිවූයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් තම ගිනි අවි සූදානම් කරමින් සිටින අයුරුය. වැඩේ සැකසහිත විය. පොලිස් නිලධාරීන්ද එය පරීක්ෂා කළත් ඔවුන් සිටියේ චණ්ඩියාට බයෙනි.සියල්ල පරීක්ෂා කළ නිලධාරීන් චණ්ඩියාට දැනුම් දුන්නේ පිටත් වන ලෙසටය. චණ්ඩියා හැමදෙනාටම සිනහවෙන් සංග්‍රහ කර පිටත් විය. එහෙත් චණ්ඩියාට සිදුවූ දෙය වැඩිය ඇල්ලුවේ නැත. එය කල්පනා කරන අතරතුර එකවරම තම ජංගම දුරකථනය නාද වන්නට විය.

''ඔබතුමා කොහෙද ඉන්නේ. මම කතා කරන්නේ පොලීසියෙන්. නම අහන්න එපා. ඔබතුමාට මේ වෙලාවේ වෙඩි තියන්න ප්ලෑන් එකක් යනවා. ඔබතුමාගේ ගෙවල් පාරේ බැරියර් එකක් දාලා වාහනේ චෙක් කරලා ඒකට වෙපන් එකක් දාලා වෙඩි තියන්න යන්නේ. පරිස්සමින්. ළඟින් හෙල්ලෙන්නවත් එපා...''

එම තොරතුරට හිත හොඳ චණ්ඩියා ගැස්සී ගියේය. තමා ගැලවුණේ දශමයෙන් බව වටහා ගත්තේය. නියත වශයෙන්ම මෙය පොලිස් ලොක්කාගේ අණක් බව ඔහු දනගත්තේය. පසුව එය සොයා බැලීමේදී තහවුරු විය. මේ සිදුවීම ගැන තව තව සොයා බැලීමේදී තහවුරු වුණේ ගිනි අවියක් වාහනයට දමා පොලීසියට වෙඩිතියන්න ගිය හේතුවෙන් ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට සිදුවූ බවට කතාවක් හදන බවය. එහෙත් එය ගැස්සී ගියේය. එය සැබවින්ම පාතාලයේ කොන්ත්‍රාත්තුවක් විය.

ඊට පසුවද පොලිස් ලොක්කා තම අරමුණ අතහැරියේ නැත. නැවතත් එවැනිම දෙයක් කළේය. එනම් මහ දවල් සෝදිසි වරෙන්තුවක් ගෙන හිත හොඳ චණ්ඩියාගේ නිවෙස පරීක්ෂා කළේය. එසේ පරීක්ෂා කර නිවෙස තුළට උණ්ඩ දමා නඩුවක් පැටලුවේය. එහෙත් අවසානයේ එයද විසිවී ගියේය. දිගින් දිගටම හිත හොඳ චණ්ඩියා පාතාලයට විරුද්ධව සටන් කරන විට පොලිස් ලොක්කා දිගින් දිගටම පාතාලය සමඟ එක්ව චණ්ඩියා ඝාතනය කිරීමට සැලසුම් හැදුවේය. 

එහෙත් අවසානයේ පොලිස් ලොක්කා පැරදුණි. ඒ සියල්ල අතහැර දමා යන්නට සිදුවිය. ඒ විශ්‍රාම යාමට සිදුවීමෙනි. කෙසේ වෙතත් විශ්‍රාම යාමෙන් අනාථ වූ පොලිස් ලොක්කා පසු කලෙක හිත හොඳ චණ්ඩියා හමුවී සමාව ගැනීමට කිහිප වතාවක් උත්සාහ කළේය. එය සිදුවූයේ නැත. අද පොලිස් ලොක්කා සිටින්නේ ඉතාම අන්ත අසරණවය.