2023 මාර්තු 26 වන ඉරිදා

රස්තියාදුව අඩුයි: පාස්පෝට් පෝලිම දැන් වෙනස්

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 52

පසුගිය කාල වකවානුව තුළ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත තම විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාව හේතුවෙන් ඉතා දිගු පෝලිම් දක්නට ලැබුණි. නමුත් අද වනවිට එම තත්ත්වය තරමක් දුරට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව දක්නට ලැබේ. වර්තමානය වනවිට සතියේ දින පහ තුළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාව වෙත කල් වේලා ඇතිව දින හා වේලාවන් ලබා දී තිබෙන හෙයින් වැඩි පෝලිම් සංඛ්‍යාවක් දක්නට නොලැබෙන අතර එම නිසා පැමිණෙන ජනතාවට වැඩි රස්තියාදුවීමක් සිදුවන්නේ නැත.

''පහුගිය කාලෙදි විදෙස් ගමන් බලපත්‍රය ලබාගන්නට දිගු පෝලිම් තිබුණට දැනට එහෙම දිගු පෝලිම් නැහැ. මේ වෙද්දි විදෙස් ගමන් බලපත්‍රය අපේක්ෂා කරන ඕනෑම කෙනකුට online ක්‍රමය හරහා දිනයක් හා වේලාවක් ලබාගත යුතු වෙනවා. ඒ අනුව ඒ දිනයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණ අවශ්‍ය සේවාව ලබාගන්න පුළුවන්.'' යැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (මාධ්‍ය ප්‍රකාශක) හංසිකා කුමාරසිංහ මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසුවාය.
විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය ඕනෑම කෙනකුට මාර්ගගත පද්ධතිය (online) හරහා දිනයක් හා වේලාවක් වෙන් කරගත හැකිය. පසුගිය කාලයේදි ජනතාවට විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමට තිබූ අවශ්‍යතාවය ඉතා ශීඝ්‍ර ලෙසින් ඉහළ ගොස් තිබූ නිසා මාර්ගගත පද්ධතිය හරහා දිනයක් වෙන්කර ගැනීමේදී ඔවුන්ට අදාළ දිනය මාස දෙක තුනකට පෙර ලබා දීමට සිදුවුවද මේ වනවිට එම තදබදය යම්තාක් දුරකට අඩුවීමක් දැකිය හැකි බැවින් ඉදිරියේදී එවැනි දින වෙන්කර ගැනීමේදී අදාළ දිනය සඳහා ඉතා අඩු කාලසීමාවක් ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව යම් කෙනකුට එක්දින සේවාව හෝ සාමාන්‍ය සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ වෙන් කරගත් දිනයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් ඒ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට හැකිවනු ඇත.

''Online ක්‍රමය හරහා දිනයක් වේලාවක් වෙන්කර ගැනීමෙන් තම අවශ්‍යතාවය ඉටුකර ගන්නට පුළුවන්. ඊට අමතරව යම් කෙනකුට යම් හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් ඉතා ඉක්මනින් විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ අදාළ හදිසි කාරණාව පිළිබඳව අපිව දැනුවත් කිරමෙන් පසුව දිනයක් වෙන්කර නොගත්තත් ඉතා ඉක්මනින් පැමිණ විදෙස් ගමන් බලපත්‍රය ලබාගන්නට පුළුවන්. හැබැයි ඒ සඳහා පිළිගත හැකි හදිසි කරුණක් සඳහන් කළ යුතු වෙනවා. ඒ හැර %හදිස්සියි^ යැයි පවසමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණියාට ඔහුට හෝ ඇයට අදාළ නොවන දිනයක විදෙස් ගමන් බලපත්‍රය ලබාගන්නට බැහැ. ඒ සඳහා පෙර දින වෙන් කිරීමක් සිදු කළ යුතු වෙනවා.'' යැයිද හංසිකා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසීය.

රෝගී අවස්ථාවකදී, විදෙස් විභාගයකදී හෝ වෙන යම් හදිසි අවස්ථාවකදී විදෙස් ගමන් බලපත්‍රයක් ඉක්මනින්ම ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අදාළ නිලධාරින් මුණගැසුණු පසු අවශ්‍යතාවයේ සාධාරණය බව සලකා බලා ඒ සඳහා අනුමැතිය හා අදාළ විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

එක්දින සේවාව සඳහා විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අය කරනු ලබන මුදල රුපියල් විසි දහසකි. එමෙන්ම සාමාන්‍ය සේවාව යටතේ නිකුත් කරනු ලබන ගමන් බලපත්‍රය සඳහා රුපියල් පන්දහසක් අය කරනු ලබයි. පසුගිය කාලයේ රට තුළ පැවැති කඩදාසිවල හිඟතාවය විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීම සඳහා විශාල ලෙස බලපෑමක් සිදු නොකළ අතර ඉදිරි කාලය සඳහා ද විදෙස් ගමන් බලපත්‍ර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පවතින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

''අපි ආවේ පුත්තලමේ ඉඳන්. මම online ක්‍රමයට තමයි මීට මාසයකට වගේ උඩදි මේ දිනය වෙන්කර ගත්තෙ. අද දහවල් 2.30ට තමයි මට වෙලාව දීලා තියෙන්නෙ. මගේ යාළුවකුත් මීට සතියකට උඩදි පාස්පෝට් එක ගත්තා. එයාටත් දවල් වෙලාව දීලා තිබුණට ඇවිත් ඇතුළට ගිහින් වැඩ ටික කරගෙන තිබුණා. ඒ නිසා තමයි මාත් මේ උදේ ආවේ. රට යන්න හිතුවේ නැහැ. පුත්තලමේ පොඩි බිස්නස් එකක් කරමින් හිටියෙ. ඒක මගේ තාත්තගේ බිස්නස් එකක්. රටේ ඇතිවුණු තත්ත්වයත් එක්ක බිස්නස් ඔක්කොම වැටුණා. ඒ නිසා තමයි ආයෙත් නැගිටින්න හිතාගෙන රට යන්න තීරණය කළේ. මේක හොඳ රටක්. හැබැයි රටේ ඉන්න සමහර පාලකයෝ නිසා අපිට රට එපා වුණා. මොනව කරන්නද? මේ රටේ ඉඳගෙන අපේ බිස්නස් කරගෙන ජීවත් වෙන්න බැරි නම් වෙන රටකට ගිහින් අනුන්ට වැඩ කරල හරි ජීවත් වෙනවා. හිතට දුකයි. One day service එකෙන් පාස්පෝට් එක ගන්න තමයි අද මම ආවේ.'' යැයි පුත්තලමේ සිට පැමිණි නිර්ෆාන් දේශයට පැවසීය.

මාර්ගගත පද්ධතිය (Online) ඔස්සේ දිනයක් වෙන්කර ගැනීමේදී ඒ සඳහා අදාළ වේලාවක්ද හිමි වේ. නමුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන බොහෝ දෙනකු පැමිණෙන්නේ අදාළ වේලාවට නොවේ. දහවල් කාලය වෙන් කළ බොහෝ දෙනෙක් උදේ කාලයේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙති. මේ හේතුවෙන් කාර්යාල පිවිසුම අසල දක්නට ලැබුණේ විශාල තදබදයකි. තමන්ට වෙන්වුණු දිනයේදී මෙන්ම ඒ අදාළ වේලාව තුළදී මෙම කාර්යය සිදුකර ගැනීමට කාර්යාලයට පැමිණෙන්නේ නම් එය මේ තදබදය අඩුකර ගැනීමට එය ඉවහල් වනු ඇත. 

''හැමදාම උදේට ඇතුළට යන අයගේ තෙරපුමක් තියෙනවා. ඒකට නම් සම්පූර්ණ වැරුද්ද මේ පැමිණෙන ජනතාවගේම තමයි. මේ හැමෝටම අදාළ දිනයක් හා වේලාවක් තියෙනවා. හැබැයි දවල් දෙකට වෙන් කරපු රිසිට් පත අරගෙන උදේ නවය හමාරටත් මෙතනට එන අය ඉන්නවා. හැම රිසිට් පතක්ම බලලා ඇතුළට ගනිද්දි ටිකක් පරක්කු වෙන්න පුළුවන්. ඒ නිසා අදාළ වෙලාවට ළං වෙලා මෙතනට ආවොත් මේ තෙරපුම තවත් අඩු කරන්න පුළුවන්. හැබැයි එහෙමයි කියල අපි උදේ ආපු කෙනෙක් දෙක වෙනතුරු එළියේ තියන්නෙත් නැහැ. ටිකක් තදබදය අඩු වුණාට පස්සේ අපි ඒ අයවත් ඇතුළට යවනවා. හැබැයි හොඳම දේ අදාළ වේලාවට මේ තැනට එන එකයි.'' යැයි ප්‍රධාන පිවිසුම අසල සිටි නිලධාරියෙක් දේශයට පැවසීය.
ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ඉහළ මාලයට යාමට අවසරය ලබා දෙනු ලබන්නේ ඒ අදාළ තැනැත්තාට පමණි. යම් කෙනකු තම විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා තවත් කෙනකු සමඟ පැමිණියහොත් ඔහු හෝ ඇයට සිදුවන්නේ ඒ පැමිණි තැනැත්තා පහළ කොටසේ සිටියදී තනිවම ඉහළ මාලයට ගොස් අදාළ කටයුත්ත සිදු කර ගැනීමටය. එලෙස 'තනිව ආ පිරිස' වැඩිවීමද තදබදයට තවත් හේතුවකි.

''අද තමයි මට වෙන් කරපු දිනය තියෙන්නෙ. වේලාසන වුණත් ගේට්ටුවේ හිටපු නිලධාරියා ඇතුළට යන්න කිව්වා. පොඩි පෝලිමක් නම් ඇතුළේ තියෙනවා. මේ හැමෝටම දින දීලා තියෙන්නෙ අද දවසටයි. එක්දින සේවාව යටතේ තමයි මමත් පාස්පෝට් එක ගන්න ආවේ. ඉස්සර තරම් නම් තදබදයක් නැහැ. මගේ යාළුවෙක්ට පාස්පෝට් එක ගන්න අපි දවස් තුනක් මෙතනට ඇවිත් රස්තියාදු වුණා. ඒ කාලේ දවස් දෙක තුන ඔය ඉස්සරහ නිදාගත්ත අය හිටියා. ඒ කාලේ මගේ යාළුවා පාස්පෝට් එක ගත්තෙ පුදුම රස්තියාදුවක් වෙලයි. ඒ වගේ රස්තියාදුවක් නම් දැන් මට වෙන එකක් නැහැ කියලයි මම හිතන්නෙ.'' යැයි ගම්පහ සිට පැමිණි ආදිත්‍ය පැවසීය. 

විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අපේක්ෂා කරන කෙනකු පළමුව මාර්ගගත පද්ධතිය (online) හරහා අදාළ දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු අතර, ඒ අදාළ දිනයේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අදාළ සියලු ලියකියවිලි රුගෙන යාමෙන් අවශ්‍යතාවය ඉටුකරගත හැකිය. ජනතාවගේ අවශ්‍යතාව හේතුවෙන් තවමත් යම් තදබදයක් පැවතියද පෙර පැවැති තදබදයට සාපේක්ෂව මේ වනවිට එතරම් දිගු පෝලිම් ඇතිවීමක් සිදු නොවන බව පැවසිය හැකිය.

I    දිශානි ජයමාලි කරුණාරත්න
I   සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00