2023 මාර්තු 26 වන ඉරිදා

ශ්‍රී ලංකාව ලෝක සතුටු දර්ශකයේ ඉදිරියට

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 146

ලෝක සතුටු දර්ශකය 2023 ශ්‍රේණිගත කිරීම මාර්තු 20, එනම් ජාත්‍යන්තර සතුටු දිනයේදී නිකුත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන මෙම ශ්‍රේණිගත කිරීමේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාව රුඳී සිටි 127 වැනි ස්ථානයේ සිට මේ වසරේදී 112 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය අඛණ්ඩව හයවැනි වතාවටත් පින්ලන්තය හිමිකරගෙන තිබේ.

සතුට, එසේත් නැතිනම් ප්‍රීතියෙන් සිටීමට ඕනෑම කෙනෙක් කැමතියි. සතුට ගැන විවිධ අයට විවිධ නිර්වචන තිබිය හැකියි. ඒ එක් එක් අය සතුටු වන ආකාරයත් එකිනෙකාට වෙනස් විය හැකියි. විවිධ අයට සතුට ගැන විවිධ නිර්ණායක තිබිය හැකි වුවත් ගෝලීය වශයෙන් පොදු නිර්ණායක සකස් කර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එක් එක් රටවල ජීවත් වන අයගේ සතුට ගණනය කිරීමක් කරයි.

ජාත්‍යන්තර සතුටු දිනය

සතුට සහ යහපැවැත්මේ අදාළත්වය ලොව පුරා මිනිසුන්ගේ ජීවිතවල විශ්වීය අරමුණු සහ අභිලාෂයන් ලෙස හඳුනාගෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2012 ජූලි 12 දින 66/281 දරන යෝජනාවෙන් මාර්තු 20 දිනය ජාත්‍යන්තර සතුටු දිනය ලෙස නම් කිරීමට කටයුතු කරන ලදී. ජාතික ආදායමට වඩා ජාතික සතුට ගැන මෙන්ම දළ ජාතික නිෂ්පාදනයට වඩා දළ ජාතික සතුට ගැන අවධානයක් දක්වන බවට ප්‍රසිද්ධ වී සිටින ආසියාතික රටක් වන භූතානය මේ යෝජනාවට මූලික වී තිබේ. එම යෝජනාව සම්මත කරගත් 66 වැනි මහා මණ්ඩල සැසියේදී "සතුට සහ යහපැවැත්ම: නව ආර්ථික සුසමාදර්ශයක නිර්වචනය" යන තේමාව ඔස්සේ විශේෂිත සැසියක් ද පවත්වා තිබේ. 2013 වසරේදී පළමුවරට ජාත්‍යන්තර සතුටු දිනය සැමරුණි.
පැරරල්ගේ “Happy” අභියෝගය

ජාත්‍යන්තර සතුටු දිනය තවදුරටත් ජනතාව අතර ජනප්‍රිය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2013 වසරේදී අමෙරිකානු ගායකයකු වන පැරරල් විලියම්ස් එළිදැක්වූ “Happy” ගීතය යොදාගන්නා ලදී. එහිදී 2014 වර්ෂයේ ජාත්‍යන්තර සතුටු දිනයේදී එක් එක් රටවල ජනතාවට එම ගීතයට වීඩියෝවක් සකස් කර එය සමාජ මාධ්‍යයේ පළ කරන්නට ආරාධනා ලැබුණි. විවිධ ජනවර්ග නියෝජනය කරන විවිධ රටවල ජනතාව එලෙස එම ගීතයට වීඩියෝ සකස් කර සමාජ මාධ්‍යයේ පළ කළ අතර ශ්‍රී ලංකාවේද එම ගීතයට වීඩියෝවක් නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර සතුටු දර්ශකය

2013 වර්ෂයේදී පළමුවරට ජාත්‍යන්තර සතුටු දිනය සැමරීමට සමගාමීව ජාත්‍යන්තර සතුටු දර්ශකයක් එළිදැක්වූ අතර 2023 වර්ෂයේදී එළිදක්වන්නේ එහි 11 වැනි වාර්තාවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය විසින් මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරයි. දළ දේශීය නිෂ්පාදිතයේ මට්ටම්, ආයු අපේක්ෂාව, ත්‍යාගශීලීත්වය, සමාජ සහයෝගය, නිදහස සහ දූෂණය වැනි නිර්ණායකවලින් එම වාර්තාවේ රටවල් දර්ශකයේ විවිධ ස්ථානවලට පත් වේ. එක් එක් රටවල ජීවත් වන පුද්ගලයන්ගේ නියැදිවල (අවම 1000ක්) අදහස් විමසීමෙන් මෙම ගණනය කිරීම කරයි. ඉහත නිර්ණායක පිළිබඳව එවිට එම ප්‍රතිචාරකයන්ගෙන් විමසයි. නිර්ණායකවලින් අවම මට්ටමේ ඇති ඩිස්ටීපියාව නැමැති උපකල්පිත රටකට සාපේක්ෂව තමන්ගේ රටට 1-10 දක්වා ලකුණු ලබා දෙන ලෙස පැවසේ. එලෙස ලැබෙන ප්‍රතිචාරකයන්ගේ ලකුණු අනුව රටවල් ශ්‍රේණිගත කිරීම සිදු වේ.

පින්ලන්තය වසර හයක් පළමු ස්ථානයේ

සතුටු දර්ශකයේ අඛණ්ඩව සයවැනි වරටත් පළමු ස්ථානය පින්ලන්තය හිමිකරගෙන තිබේ. යුනිසෙෆ් හි දරුවන්ට ජීවත් වීමට වඩාත් සුදුසු පරිසරයක් ඇති රටවල් ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ රුඳී සිටින්නේ ද පින්ලන්තයයි. 2023 ශ්‍රේණිගත කිරීමට අනුව පළමු ස්ථාන දහය හිමිකරගෙන තිබෙන්නේ පිළිවෙළින් පින්ලන්තය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ නවසීලන්තයයි. අසල්වැසි ඉන්දියාව පසුගිය වසරේදී 136 වැනි ස්ථානය හිමිකරගෙන තිබූ අතර එයට ස්ථාන 10ක් පිටුපසින් එනම් 146 වැනි ස්ථානයේ ඇෆ්ගනිස්ථානය රුඳී සිටියේ එම ශ්‍රේණිගත කිරීමේ අවසාන ස්ථානය හිමිකරගෙනයි. මේ වසරේදී ඉන්දියාව ස්ථාන දහයකින් එනම්, 126 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඇෆ්ගනිස්ථානය මෙවර ද එම ශ්‍රේණිගත කිරීමේ අවසන් ස්ථානය එනම්, 137 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ. මේ වනවිට විශාල ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානය පසුගිය වසරේ රුඳී සිටි 121 වැනි ස්ථානයේ සිට 108 දක්වා පැමිණීමට සමත්ව තිබේ.

යුරෝපා රටවල් කිහිපයක් පහළට

රුසියානු - යුක්ක්‍රේන යුද ගැටුමත් සමඟ බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවූ යුරෝපා රටවල් කිහිපයක් පෙර වසරේ තමන් හිමිකරගෙන තිබූ ස්ථානවලින් ස්ථාන කිහිපයක් පසුපසට ගොස් තිබේ. 2022 වසරේ ශ්‍රේණිගත කිරීමට අනුව 04 වැනි ස්ථානයේ රුඳී සිටි ස්විට්සර්ලන්තය නවතම දත්තවලට අනුව 08 වැනි ස්ථානය දක්වා පසුපසට ගොස් තිබීම කැපී පෙනෙයි. එක්සත් රාජධානිය 14 සිට 16 දක්වාත්, ප්‍රංශය 20 සිට 21 දක්වාත්, ජර්මනිය 14 සිට 16 දක්වාත් ශ්‍රේණිගත කිරීමේ පසුපසට ගොස් තිබේ.

කෙසේ වෙතත් රුසියාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 10කින් එනම් 80 සිට 70 දක්වා ද යුක්ක්‍රේනය 98 සිට 92 දක්වා ද ඉදිරියට පැමිණ තිබීම ද විශේෂත්වයකි.

චීනයට වඩා අමෙරිකාව සතුටින්

ලෝක ආර්ථික බලවතුන් දෙදෙනකු වන අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතරින් පසුගිය වසරේ මෙන්ම ඉදිරියෙන් සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. අමෙරිකාව පසුගිය වසරේ ශ්‍රේණිගත කීරිමේ 16 වැනි ස්ථානයේ රුඳී සිටි අතර මේ වසරේදී සතුටු දර්ශකයේ 15 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ. ඊට සාපේක්ෂව චීනය පසුගිය වසරේ හිමිකරගෙන තිබූ 72 වැනි ස්ථානයේ සිට 2023 ශ්‍රේණිගත කිරීමේ 64 දක්වා විශාල වර්ධනයක් අත්කරගෙන තිබේ. ජපානය 2023 ශ්‍රේණිගත කිරීමේ 47 වැනි ස්ථානයේ පසුවෙයි. පොදුවේ ආසියාතික රටවල් බහුතරයක්ම තමා පෙර රුඳී සිටි ශ්‍රේණිගත කිරීම්වලින් 2023 සතුටු දර්ශකයේ ඉදිරියට පැමිණිම කැපී පෙනෙයි.

BBC