2023 මාර්තු 26 වන ඉරිදා

ණය ලැබුණා: ඊට පස්සේ...

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 31

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකමක් ශ‍්‍රී ලංකාවට අනුමත කර ඇත. අතිශය දීර්ඝ සාකච්ඡා වට ගණනාවක් අවසානයේදී පහසුකම අනුමත කර තිබේ. ණය ලබාගැනීම සඳහා සාක්ෂාත් කරගත යුතු ඉලක්ක ගණනාවකි. ආණ්ඩුවේ හා පාර්ලිමේන්තුවේ නියෝජිතයන්, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන සමඟ පවා මෙම ණය පහසුකම අනුමත කරන වැඩපිළිවෙළ ගැන මූල්‍ය අරමුදල සාකච්ඡා කර ඇත. මාස නවයකට වැඩි කාලයක් ඒ සඳහා වැය වී තිබේ. ණය නිකුත් කරන පිළිවෙළ, අය කරන පොලිය, සහ පනවන ලද කොන්දේසි මූල්‍ය අරමුදල වෙබ් අඩවියේ පැහැදිලිව සඳහන් කොට ඇත. අනුමත කර ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන තුනකි. මාස 48ක් ඇතුළත වාරික වශයෙන් ශ‍්‍රී ලංකාවට සැපයේ. වාරික නිදහස් කරන්නට කලින් විශේෂ නියෝජිත පිරිසක් රටට පැමිණෙනු ඇති අතර ගිවිසගත් පරිදි ආර්ථිකය නිසි මගට ගැනීමට කටයුතු කරන්නේ දැයි සොයා බැලේ. දෙපාර්ශ්වය පිළිගත් රාමුවට එපිටින් ක‍්‍රියා කළහොත් ඉදිරි වාරික ප‍්‍රමාද විය හැකිය.

විශාල ආර්ථික අර්බුදයකට පසු මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම දක්වා ගමන ගැන පුළුල් අවබෝධයක් රටට අවශ්‍යය. වාද විවාද කර මූලික ප‍්‍රශ්නයෙන් බැහැර විය නොහැකි තැනට ශ‍්‍රී ලංකාව පත්ව සිටී. ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයට ද වගකීමක් තිබේ. රජයේ ආයතනවලට සහ පෞද්ගලික අංශයට විශාල කාර්යභාරයක් ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත් වාර ගණන දහසයකි. දහ හත්වැනි වතාවට ලබාගත් මෙම ණය මුදල ශ‍්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන තීන්දුවකි. අද බලයේ සිටින කණ්ඩායම නුදුරු මැතිවරණයකින් බලයෙන් පහ විය හැක. බලයට එන අලුත් ආණ්ඩුවකටද මෙම රාමුවෙන් පිටස්තර වෙනත් ගමනක් නැත. 

I පළමු වාරිකය නිදහස් කිරීමෙන් පසු ස්වභාවය

ණය මුදල උපයෝගී කරගන්නා ආකාරය ගැන ආණ්ඩුව හා මූල්‍ය අරමුදල අතර එකඟතාවයක් ඇත. පළමු වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලැබෙනු ඇත. මෙම මුදල ශ‍්‍රී ලංකාවේ වත්කම් ඉහළ නංවන අතර ගනුදෙනු කරන රටවල විශ්වාසය තහවුරු කරයි. 

සලාක ක‍්‍රමයකට ඉන්ධන නිකුත් කරන්නට කලින් ශ‍්‍රී ලංකාව එක මාසයකට මිලදී ගෙන තිබුණු ඉන්ධන තොගයේ වටිනාකම පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණ වේ. ඉන්ධන සඳහා පමණක් එවැනි පිරිවැයක් දරන ලද රටකට මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල වත්කමක් නොවේ. කෙසේ වෙතත් මූල්‍ය අරමුදලේ සැලැස්ම ශ‍්‍රී ලංකාව නැවත නිසි මගට ගැනීම බව අමතක කළ යුතු නැත. අභ්‍යන්තර හා බාහිර වශයෙන් බරපතළ තීන්දු විශාල ප‍්‍රමාණයක් ගන්නට සිදුවේ. ආදායම හා වියදම පාලනය කරගත යුතුය. ආනයනවලට අවශ්‍ය තරමට විනිමය උපයාගත යුතුව තිබේ. මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පහසු නැත. ව්‍යවස්ථාව අනුව පත් කරගත් ජනාධිපතිවරයකු හා පැරණි මහජන නියෝජනය අලුත් සංයුතියකට එකතුවීමෙන් නිර්මාණය කරගත් ආණ්ඩුවකට තවත් දුෂ්කර බව සඳහන් කිරීම වැදගත්ය. පළාත් පාලන මැතිවරණය කල් දමා ඇති අතර රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා පනවන ලද බදුවලට එරෙහිව විශාල විරෝධයක් පවතී. විදුලිය, ජලය, ඛනිජ තෙල් සඳහා වැඩි කරන ලද මිල ගණන් මහජනතාවට දරාගත නොහැක. පොලී අනුපාත, විනිමය උච්චාවචනය හා උද්ධමනය සෑහෙන ප‍්‍රතිශතයකින් ජීවන වියදම තවත් නංවන අංශ බව පෙනේ. මූල්‍ය අරමුදලේ ණය වාරිකයක් ලැබීම මෙම දැවෙන ප‍්‍රශ්න එකකට හෝ උත්තරයක් නොවන පසුබිම තුළ තවත් වටයකින් මහජනතාව කෝප විය හැකිය. ණය ලැබීම විශාල වරප‍්‍රසාදයක් සේ සලකාගෙන යන ප‍්‍රචාර විශාල පීඩනයකට හේතුවක් වනු ඇති අතර දැනට පවතින ව්‍යුහය වෙනස් කරන්නට මූල්‍ය අරමුදලේ ණය වාරිකය බලපෑමක් නොවන බව වටහා ගැනීමෙන් පසු ඇතිවිය හැකි තත්ත්වය ආණ්ඩුවේ අවධානයට ගත යුතු කරුණකි.

I කඩිනම් තීරණවලින් ජයග‍්‍රහණයක් අතට

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල් යන සමාගම්වල රජයට හිමි කොටස් ප‍්‍රමාණය විකිණීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලාභ ලබන ආයතන විකිණීම ගැන වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂවලට ගැටලුවකි. ලාභ ලබන නමුත් පවතින තත්ත්වයෙන් ඔබ්බට දියුණු කිරීම සඳහා ආණ්ඩුවට වත්කමක් නැත. විදුලිය සංදේශ අංශය වේගයෙන් දියුණු වෙමින් පවතී. බහු තන්තු ක‍්‍රම පද්ධති හා පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය රටට අවශ්‍යය. දැනට කරන්නේ පවතින සම්බන්ධතා පවත්වාගෙන යන අතර විශාල බදුවලින් රජයට ආදායමක් ගැනීමය. ටෙලිකොම් පාරිභෝගිකයන්ගෙන් රජය අය කරන බද්ද සෑම රුපියල් සියයකින්ම රුපියල් තිස් පහක් බව ජනතාව දන්නේ නැත. මේ සා බද්දක් අය කරන නමුත් අලුත් තාක්ෂණයට ආයෝජනය කරන්නට හැකියාවක් නැත. ලංකා හොස්පිටල් තත්ත්වය ද එයට නොවෙනස්ය. මේවා විකිණීමෙන් රජයට ආදායමක් ලැබෙන අතර මිල දී ගන්නා පාර්ශ්ව කරන ආයෝජන රටට විනිමය කැඳවයි. අලුත් තාක්ෂණය ගෙන එන අතර රුකියා අවස්ථා ඇති කරයි. ආයතනය දියුණු වන විට පිරිවැටුම හා ලාභය මත රජයට අය කරගත හැකි බදු ප‍්‍රමාණයක් තිබේ. 

රජයට අයත් ඛනිජ තෙල්, විදුලිය, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය හා මාර්ග සංවර්ධන අධිකාරිය වැනි ආයතනවල අධික අලාභ පියවන ක‍්‍රමයක් යෝජනා කළ යුතු අතර නොඑසේනම් ඒවා පෞද්ගලීකරණය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වයි. මෙම වසරේ ජූනි මාසයට කලින් පියවර ගත යුතුය. මහා භාණ්ඩාගාරයේ ආදායම් ඉලක්ක අනුව උපයන විට බද්ද වැඩි කිරීමෙන් අපේක්ෂා කරන මුදල රු. බිලියන සියයකි. එම මුදල ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ අලාභ පියැවීමට ප‍්‍රමාණවත් නැත. බදු පැනවීම ගැන පාරට බහින රජයේ නිලධාරීන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ජාතික වස්තුවක් සේ සැලකීම පුදුමයට කරුණකි.

අකාර්යක්ෂමතාව හා දූෂණය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි විශාල පදාසයක් වන අතර පළමු වතාවට ආසියාවේ රටකට දූෂණ මර්දනයට අදාළ නීති කෙටුම්පත් ඉදිරිපත් කරන ලෙස මූල්‍ය අරමුදල නියම කිරීම මෙහි අභ්‍යන්තරය ගැන දක්වයි. රජයේ ආයතන ගැන සහ දූෂණය ගැන ඉක්මන් තීරණ ගැනීමෙන් ජනතාවට යුක්තිය ඉටුවනු ඇත.

I ණය ගෙවන්නට හැකි රටක් බවට හැරවීම

ශ‍්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය විශාල බව මූල්‍ය අරමුදල දක්වා ඇත. අරමුදලේ කොන්දේසි අනුව දේශීය ණය ගැනීම හා ණය ගෙවන්නට මුදල් අච්චු ගැසීම නතර කර තිබේ. එහි පීඩනය ආණ්ඩුවට ඇත. රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම පවා ප‍්‍රශ්නයක් බව අනාවරණය වේ. ආණ්ඩුව මෙතෙක් අනුගමනය කළ ක‍්‍රමය අනුව මුදල් හිඟ වන විට බැංකුවලින් ණය ගත් අතර රජයේ ණය අවශ්‍යතා සඳහා මුදල් එකතු කිරීමේ නිරත වූ වාණිජ බැංකු ඒවාට ගෙවන පොලිය වේගයෙන් ඉහළ ගියේය. මෙම බැංකු පොලිය අද දැනෙන ජීවන වියදමේ කොටසකි. ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් බැංකුවලින් ගන්නා ණයවලට පොලිය, ඉහළ විදුලිය බිල, ඉන්ධන පිරිවැය සමඟ නිපදවන දෙයක් කිසිසේත් අඩු මුදලකට විකිණිය නොහැක. අපනයන අංශවල නිරත පිරිසට මෙහි විනාශය දැනේ. ඇඟලුම්, තේ හා රබර් සඳහා ඉල්ලුම පහත වැටෙමින් පවතී. විනිමය අනුපාතිකය අනුව රුපියලේ අගය අවප‍්‍රමාණය වීම මත අපනයන ඉල්ලුම පසුගිය කාලයේ ඉහළ ගිය බව නොරහසකි. රුපියල ශක්තිමත් වුවහොත් අපනයන පහත වැටේ. එය තවත් වටයකින් විනිමය හිඟ රටක් බවට පත් කිරීමකි. ශ‍්‍රී ලංකාවේ අපනයන හා කලින් ලබාගත් ණය ගෙවන්නට විදේශ විනිමය අවශ්‍යය. විනිමය උපයන මාර්ග සඳහා ආර්ථිකය තුලිත තැනක පවත්වාගත යුතුය.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ශ‍්‍රී ලංකාව ලබාගත් ණය සඳහා වාරික හා පොලිය ගෙවීම නතර කර තිබේ. විශේෂයෙන් වාණිජ ණය කෙරෙහි අවධානය යොමුකර ණය ප‍්‍රතිව්‍යුහගතකරණයක් සිදුවෙමින් පවතී. ණය ගෙවීම ඇරඹුවහොත් අවුරුද්දකට අමෙරිකානු ඩොලර් බිලියන හතක් පමණ වසරකට ගෙවන්නට සිදුවනු ඇත. එම මුදල මෙරට විදේශගත ශ‍්‍රමිකයන් උපයා රටට එවන විනිමය ප‍්‍රමාණයට සමාන කළ හැකිය. අපනයන ආදායමෙන් හරි අඩක් පමණ වේ. ණය ගෙවීම ආරම්භ කළ පසු අනෙක් අවශ්‍යතා සඳහා විනිමය හිඟය නැවතත් ප‍්‍රශ්නයක් වනු ඇත. ණය නොගෙවන, ලැබෙන ආදායමෙන් ජීවත් වන රටක් වශයෙන් අනාගතයේ ඇතිවන තත්ත්ව ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. මූල්‍ය අරමුදල පෙන්වා දෙන පරිදි ආයෝජනවලට අවස්ථාවක් ලබාගත යුතු අතර දෙස් විදෙස් ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% ක් දක්වා අඩුකර ගැනීම අවශ්‍යය.

ආණ්ඩුවට චෝදනා කිරීම පහසුය. විපක්ෂ දේශපාලන හා වෘත්තිය සමිති පවා ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු කාල වකවානුවකි. පසුගිය වසරේ 8.7% කින් ආර්ථිකය ඍණ අගයක් ගත් ශ්‍රී ලංකාව මෙම 2023 වසරේ තවත් 3% කින් ඍණ තත්ත්වයට පත්වන බව මූල්‍ය අරමුදල සකස් කළ වාර්තාව කියයි. මෙම තත්ත්වය කිසිසේත් හිතකර එකක් නොවේ. ජනතාවට ඉහළිය නොහැකි දුෂ්කරතා ඇති කරනු ඇත. වහාම පියවර ගතහොත් සැනසිලිදායක කාලයක් ඉක්මනින් එළඹෙනු ඇත. මූල්‍ය අරමුදලේ සැලැස්ම දක්වන පරිදි ආර්ථිකය 2024 දී 1.5% ක් හා 2025 දී 2.6% ක වර්ධනයකට ගමන් කරනු ඇත. එය කෙසේවත් අපට මතක ඇති කාලයේ තිබුණු හොඳ ජීවන පැවැත්ම ඇති කරන්නේ නැත. සියලු පාර්ශ්ව එකතු වී තීරණ ගතහොත් අනාගතය පැහැදිලි එකක් වනු ඇත.

I සාරා කන්දෙගොඩ