2023 මාර්තු 26 වන ඉරිදා

නැති ප්‍රශ්නයක් ඇතිකළ ගුරු මාරු අහෝසිය

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 190

පසුගිය සතියේ වාර්තා වුණේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරුවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇති බවයි. ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500 කගේ සියලු මාරුවීම් අහෝසි වී යාම සිදු වේ.

මෙවැනි තීරණයක් ගැනීමට හේතු ලෙස දක්වා තිබෙන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතුවලට සහ පසුගිය කාලයේ වෙනත්  විවිධ හේතු බලපෑම නිසා පොදුවේ සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇතිවූ බවත් එබැවින් මේ මොහොතේ ගුරු මාරු පදනම් කරගෙන පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ යම් හෝ ගැටලුවක් මතුවීම වැළැක්වීමට මෙම පියවර ගත් බවකි.  

මේ වනවිට රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සහ වියදම් අධික වීම, බදු සහ කුලී නිවාස ප්‍රශ්න ඇතුළුව මානුෂීය කරුණු රැසක් පදනම් කරගෙන මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ගුරු මාරු තාවකාලික පදනමින් හෝ කල් දමා සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු සේවයේ නියුතු බොහෝ දෙනකු ලිපි මගින් ජනාධිපතිවරයා වෙත දුක් ගැනවිලි යොමුකර තිබුණු බවද පැවසේ. 

එමෙන්ම පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා සිටි ගුරුවරුන් පිරිසක් ද මෙවර ගුරු මාරුවීම් සඳහා නිර්දේශව තිබූ බවත් වාර්තා වන කරුණකි. පිරිසක් සිය ස්ථාන මාරු දේශපාලන පළිගැනීම් ලෙස හුවාදැක්වීමේ සූදානමක පසුවූ බවත් ජනාධිපතිවරයාට වාර්තා වී ඇති බව පුවත්පත් නිවේදනයේ සඳහන්ය. මෙම කරුණු සලකා බැලීමෙන් පසුව ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබෙන බව ආණ්ඩුවේ නිවේදනවලින් පැවසේ. 

ආර්ථික පීඩා නිසා දුර බැහැර පාසල්වලට යන ගුරුවරු ළඟම පාසලට මාරුවීමක් ඉල්ලා තිබෙන බව සැබෑවකි. ප්‍රවාහන වියදම් දරාගත නොහැකිවීම එයට එක් හේතුවකි. ළඟම පාසලේ සිට මානසික සතුටකින් වෘත්තියේ නියැලීමට හැකිවීම තවත් කරුණකි. 

දැනටත් විශාල ආර්ථික ගැටලුවලින් සේවය කරන ගුරුවරු මේ තීරණය ගැන තම අප්‍රසාදය පළ කරති. දැනට මාරුවීම් ඉල්ලා අනුමත වී ඇති ගුරුවරු මෙන්ම මාරුවීම් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ගුරුවරු ද දහස් ගණනක් මේ නිසා පීඩාවට පත්ව සිටිති. එවැනි මානසික ප්‍රශ්නවලින් මිරිකුණු ගුරුවරයකුගෙන් නිසි ඉගෙනුමක් සිසුන්ට ලබාගත හැකිද යන්න පාලකයන්ට නොතේරීම ගැටලුවකි. මේ නිසා ගුරු වෘත්තිය සංගම් මේ වන විටත් විරෝධතා ක්‍රියාමාර්ගවලට එළැඹ අවසානය. විරෝධතාවලට යන ගුරුවරු නිසා ද පාසල්වල අධ්‍යාපන කටයුතු මඟහැරෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. 

අප සමඟ අදහස් දැක්වූ බොහෝ ගුරුවරු පැවසුවේ මේ නිසා ගුරුවරයාගේ මානව අයිතිවාසිකම් අහිමි වන බවයි. ‘‘මේක ගුරුවරුන්ගෙන් පළිගැනීමට කළ වැඩක් ද කියලත් සැකයි. හිටිගමන් ගත්ත මෙවැනි අමනෝඥ තීරණවල අරමුණ මොකක්ද කියලා අපිට නම් හිතාගන්න බෑ. ගුරු මාරු මණ්ඩල ක්‍රියාත්මක වුණේ නිත්‍යනුකූලවනේ. ඒක ඇති කළෙත් කැබිනට් අනුමැතියෙන් ගත් තීරණයකින්.'' එක් ගුරුවරයෙක් පැවසුවේය. 

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ 2007/20 චක්‍රලේඛයට අනුව ජාතික ගුරු ප්‍රතිපත්තියට අනුකූලට ගුරු මාරු මණ්ඩල පිහිටුවා තිබුණී. එහි අරමුණ ලෙස දක්වා ඇත්තේ අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායක අන්දමින් සිදු කළ හැකි පරිදි ශිෂ්‍ය ප්‍රජාවේ සහ ගුරුවරුන්ගේ උපරිම සුබසාධනය සැලසෙන පරිදි ජාතික ගුරු ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවීමය. ඒ අනුව ගුරු මාරු මණ්ඩල කලාප අධ්‍යාපන කාර්යාලවල, පළාත් අධ්‍යාපන කාර්යාලවල සහ රේඛීය අමාත්‍යංශය යටතේ ද ක්‍රියාත්මක කෙරුණි. 

මාරු මණ්ඩල ක්‍රියාත්මක කෙරුණේ ආයතන සංග්‍රහයේ වගන්තිවලට අනුවය. අති දුෂ්කර පාසලක අවම අවුරුදු 3ක් ද, අපහසු නොවන පාසලක අවම අවුරුදු 4ක් ද, පහසු පාසල්වල උපරිම අවුරුදු 8ක් ද, වඩාත් පහසු පාසල්වල උපරිම අවුරුදු 6ක් ද සේවය කළ ගුරුවරයකු වෙනත් පාසලකට මාරුවීම සිදුකළ යුතු බව සැලකුණි. මේ නිසා ගුරුවරුන්ට මාරුවීම් පිළිබඳ බලාපොරොත්තුවෙන් සේවය කළ හැකි විය. ඊට අමතරව ගුරුවරියක් නම් ගැබිණියක් වීම, දෙමාපියන් අසනීප වීම, දරුවන්ගේ ප්‍රශ්න ආදී පෞද්ගලික කරුණු ද මාරුවීමේදී සලකා බැලිණි. 

කෙසේ වුවත් බලධාරින්ගේ හදිසි තීරණය නිසා ගුරුවරුන් පත්ව ඇති පීඩාව ඉමහත්ය. ගුරු මාරු මණ්ඩලය අත්හිටුවා විසුරුවා හැරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස බල කරමින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට යොමුවීමට ගුරු සංගම් තීරණය කර තිබේ. ගුරු මාරු මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් ඒ තීරණය ගත් බව වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 

මේ ගැන අප සමඟ අදහස් දැක්වූ විදුහල්පති සේවා සංගමයේ උප සභාපති බන්දුල ධර්මතිලක :

''ගුරු මාරුවීම් කාලයක් තිස්සේ අක්‍රමවත්ව තිබුණේ. දේශපාලන අනුග්‍රහය මත සමහරු මාරුවීම් ගත්තා. මේ නිසා ගුරු මාරු අවශ්‍ය ගුරුවරුන් අසරණව සිටියා. වෘත්තීය සමිති සහ ගුරුවරුන්ගේ දැඩි ඉල්ලීම නිසා තමයි ගුරු මාරු මණ්ඩලය ක්‍රියාත්මක වුණේ. මේ මාරු මණ්ඩලවලට වෘත්තීය සමිති නියෝජිතයනුත් ඇතුළත් වුණා. මෙහිදී ගුරු මාරුවීමක් සඳහා ගුරුවරුන්ගේ පෞද්ගලික කාරණාත් සලකා බැලුවා. නමුත් මෑතකදී සිට මාරු මණ්ඩලවල සිටි ඇතැම් පාලක පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් මුදලට ගුරු මාරුවීම් කළ බවටත් චෝදනා අපට අහන්න ලැබුණා.

මේ අහෝසි කිරීම කරල තියෙන්නෙ ජනාධිපති ලේකම් කාර්යාලයයි. ජනාධිපති ලේකම් කාර්යාලයට ඒකට අයිතියක් නෑ. එවැන්නක් කරනවා නම් කළ යුත්තේ අධ්‍යාපත ඇමැතිවරයා වෘත්තිය සංගම්වල අදහස් ද සැලකිල්ලට ගනිමිනුයි. මාරුවීම් කරගන්නට බලාපොරොත්තුවෙන් සිටි ගුරුවරු විශාල සංඛ්‍යාවක් සිටිනවා. දැන් ඔවුන් විශාල පීඩාවකට පත්වෙලා.'' 

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් : 

''අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡා ප්‍රතිඵලයකින් තොරයි. අවුරුදු තුනක් තිස්සේ ගුරුවරුන්ට මාරුවීම් නෑ. පඩියේ වියදමෙන් ගුරු මාරු හදාගන්න එහෙට මෙහෙට දුවන්න වෙලා. සියලු වෘත්තීය සමිති එකමුතුවෙන් පසුගිය බදාදා කොටුව දුම්රියපොළ ඉදිරිපිට අපි උද්ඝෝෂණයක් කළා ගුරුවරුන්ගේ අයිතිය අහෝසි කිරීමට එරෙහිව පාලකයන්ට මේ ගැන දැනුම් දෙන්න.'' 

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ :

''ගුරුවරු සම්බන්ධ දේවලට මැදිහත් විය යුත්තේ අධ්‍යාපන ඇමැතිවරයා හෝ අධ්‍යාපන ලේකම්වරයායි. නමුත් ඔවුන් පැත්තක ඉදිද්දි ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කරමින් කියනවා ගුරු මාරු මණ්ඩල අහෝසි කරන බවට. මේක අපි දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකිනවා. අධ්‍යාපන අමාත්‍යංශය හා අපි කළ සාකච්ඡාවේදී ඔවුන් මෙහිදී අනුගමනය කරන දේවල් අපට දැනුම් දුන්නා. අපි ඒ කරුණු ප්‍රතික්ෂේප කරනවා.'' 

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසුවේය : 

''අවුරුදු 10කට වැඩි කාලයක් එකම පාසලක සේවය කළ ගුරුවරුන්ට මාරුවීමක් දිය යුතුයි කියන පදනම මත 2017 සිට මාරු මණ්ඩල ක්‍රියාත්මක වුණා. කොවිඩ් අවදානම නිසා 2020, 2021, 2022 අවුරුදුවල ජාතික පාසල්වල ගුරු මාරු ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. එම අවුරුදු තුනටම අදාළ වන සේ මේ වනවිට මාරුවීම් 8893ක් මාරු මණ්ඩල විසින් අනුමත කර තිබෙනවා. ඉන් දළ වශයෙන් අවුරුදු 10කට වැඩි කාලයක් එකම පාසලක සේවය කළ ගුරුවරු ප්‍රමාණය දහසක වගේ සංඛ්‍යාවක්. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ගුරුවරු හැර අනෙක් ගුරු මාරුවීම් ටික එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.'' 

ගුරු මාරු මණ්ඩල අහෝසියට එරෙහිව කොටුවේ පැවති උද්ඝෝණයේදී තවත් පිරිසක් එම උද්ඝෝණයට එරෙහිව විරෝධතා පැවැත්වීමත් අපූරු සිද්ධියකි. දේශපාලනඥයන්ගේ අනුහසින් පැවති බව පෙනෙන එයට එක්ව සිටියේ නම් ගුරුවරු නොවේ. එය පාලකයන්ගේ තවත් රංගනයක් බව එතැනට පැමිණ සිටි ගුරුවරු පැවසූහ. 

■ කුසුම්සිරි විජයවර්ධන

 සේයාරුව අන්තර්ජාලයෙනි