2023 මාර්තු 19 වන ඉරිදා

දේශීය සිනමාවක් කාටවත් ආනයනය කරන්න බෑ - සෙනේෂ් දිසානායක බණ්ඩාර

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 165

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න... ගීතය ඇහෙන හැම වාරයකදිම ලාංකික සිනමාවට ආදරණීය මතකයක් එක් කළ ආදරණීය වස්සානය චිත්‍රපටය මගේ මතකය අබිමුව. එදා එහි අධ්‍යක්ෂ භූමිකාව වර්ණවත් කළේ සෙනේෂ් දිසානායක බණ්ඩාර. සිනමාවේදියෙක්, සරසවි ආචාර්යවරයෙක්, ශ්‍රි ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ වගකීම් සහගත සාමාජිකයෙක් ලෙස මෙන්ම සිනමාව පිළිබඳව ශාස්ත්‍රීයව හදාරන ශාස්ත්‍රිය පර් යේෂකයෙක් ලෙසත් මගේ විග්‍රහය තුළ ඔහු විශිෂ්ටයෙක්. හෙට දවසක සිනමා ජනමාධ්‍යවේදීන්ගේ සංසදයක් නිර්මාණය වන්නේනම් ඒ පිටුපසත් සෙනේෂ් දිසානායක බණ්ඩාරගේ දායකත්වය නිතැතින්ම පවතිනවා. සැකයක් නැහැ. මේ මොහොතේ ඔහු මට මාතෘකාවක් වන්නේ සිනමාභිමාන සිනමා උළෙල ප්‍රස්තුත කරගෙනයි. මේ සිනමාභිමාන සිනමා උළෙල ප්‍රස්තුත කරගෙන සෙනේෂ් සමඟ කළ කෙටි කතාබහේ වදන් වියමනයි.

1970 දශකය සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස මතයක් තියෙනවා... අද්‍යතන සිනමාව ඒ යුගය හා සසඳමින් ප්‍රබල ලෙස විවේචනය කරන පිරිසක් ඉන්නවා... මේ විවේචනය ඔබේ විග්‍රහය තුළ දිගහැරෙන්නෙ කොහොමද? 

70 දශකය සිනමාවේ ස්වර්ණමය යුගය කියලා මතයක් තියෙනවා. ඒ යුගයේ හිටපු අය ඒ යුගයේ කලාව ඉහළින් ඔසවා තබන්න ලොකු කැපකිරීමක් කරන්න ඇති. 

70 දශකයේ හිටපු බොහෝ අය කල්පනා කරන්න ඇති 50 දශකය තමයි කලාවේ පුනරුදයක් ඇතිවූ කාලය කියලා. ඒ සියල්ල අතරේ අද්‍යතන සමාජයේ අපට යුතුකමක් තියෙනවා සිනමාව කලාව ඉහළින් ඔසවා තබන්න කළ යුතු උපරිමය උපරිමයෙන් ඉටු කරන්න. අද වෙද්දි කලාව සහ සෞන්දර්ය සංස්කෘතික කර්මාන්ත බවට පත් වී තියෙන නිසා 70 දශකයට වඩා වර්තමානයේ ගත කරන දශකය තරමක් දුරට අභියෝගාත්මකයි. ඒ වගේම සංකීර්ණයි. නමුත් මේ සංකීර්ණතා මැද වුවත් අප කල්පනා කළ යුතුයි ඊළඟ පරම්පරාවට දෙයක් දායාද වෙන විදිහට අපි ගත කරන මේ දශකය හෝ දශක කිහිපය හැකි පමණ ඉහළින් ඔසවා තබන්න. 

බොලිවුඩ්, හොලිවුඩ්, කොලිවුඩ්, නොලිවුඩ්, සිනමාව ගත්තම ඒවා දියුණු සංස්කෘතික කර්මාන්ත විදිහට ස්ථාපිත වී තිබෙනවා. නමුත් ලාංකික සිනමාව එවැනි සංස්කෘතික කර්මාන්තයක් විදිහට ස්ථාපිත වී තිබෙන ආකාරයක් ඔබ දකිනවද?

ඔව් ඔබ කියූ එකී සිනමාවන් හුදු සිනමා සංස්කෘතියකට ඔබ්බෙන් සංස්කෘතික කර්මාන්තයක් බවට පත් වී තිබෙනවා. ඊට හේතුව එම රටවල්වල සිනමාව කියන්නේ දළ ජාතික නිෂ්පාදිතයට එක්තරා විදිහකින් දායක වන කර්මාන්තයක්. ඔබ දන්නවා සිනමා අධ්‍යාපනය වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් ප්‍රතිපාදන වෙන් කරන රටවල් ලෝකේ තියෙනවා. එහෙම කරන්නේ සිනමා අධ්‍යාපනය ලබා දීම තුළින් අවසාන වශයෙන් ලැබෙන ප්‍රතිඵලය එම රටේ දළ ජාතික නිෂ්පාදිතයට කිසියම් ආකාරයකින් සාධනීය බලපෑමක් කරන නිසා. අපිටත් එහෙම සංස්කෘතියක් තිබුණා. එහෙම සංස්කෘතියක ඉඳන් කර්මාන්තයක් දක්වා යන ගමනේ විවිධ අවස්ථාවල අපිට කලින් හිටපු සිනමාවේදීන් විශාල මහන්සියක් ගත්තා සිනමාව කර්මාන්තයක් බවට පත්කර ගන්න. ඒත් කර්මාන්තයක් බවට පත්කර ගන්න නොයෙක් උත්සාහ දැරුවත් ඒ ආ ගමනේදි ඉතා මෑතක තමා කැබිනට් පිළිගැනීමක්වත් ලැබුණේ මෙය කර්මාන්තයක් බවට පත් කළ යුතුයි කියලා.

නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපේ රටේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට අමාත්‍යාංශ, අමාත්‍යවරු වෙනස් වෙන තත්ත්වයක් ඇතුළේ බොහෝ දුරට අපේ රටේ තිබෙන ප්‍රතිපත්තින් වෙනස් වෙනවා. කිසිම දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නැති රටක කොහොමද අපි එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත්. සිනමාව කර්මාන්තයක් බවට පත්කර ගන්න දරන ප්‍රයත්නයේ දී ශ්‍රි ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ අපි වගේම තවත් වෘත්තිය සංගම් රැසක් අපි එක්ක එකට පෙළගැසෙනවා. එය කර්මාන්තයක් බවට පත්කර ගැනීමේ අවශ්‍යතාව පුද්ගලානුබද්ධ කාරණයකට වඩා සාමූහික කාරණාවක්. එය සාමූහික කාරණාවක් බවට පත්වීමෙන් චිත්‍රපට නිෂ්පාදනය, චිත්‍රපට බෙදාහැරීම, චිත්‍රපට ප්‍රදර්ශනය, චිත්‍රපට ප්‍රක්ෂේපණය, චිත්‍රපට ආනයනය, චිත්‍රපට අපනයනය වගේම විශේෂයෙන්ම සිනමා ප්‍රේක්ෂකයා පවා ක්‍රමක්‍රමයෙන් ප්‍රමිතිගත ස්වරෑපයකින් තමයි ඊටපස්සේ සිනමාවත් එක්ක සම්බන්ධ වෙන්නෙ. එම ප්‍රමිතිගත තත්ත්වය ලබාගැනීම ඔස්සේ සිදුවන්නේ සිනමා කර්මාන්තයත් ඒ හා බැඳෙන සියල්ලත් අවසාන අර්ථයෙන් ප්‍රමිතිගත තත්ත්වයට පත්වීමයි. 

වාණිජ සිනමාව යන සංකල්පය ඔබේ දැක්ම, විවරණය සහ විග්‍රහය තුළ නිර්වචනය වෙන්නෙ කොහොමද?

ලෝකයේ සිනමා කර්මාන්තය ගත්තම තියෙන්නේ සිනමාත්මක සිනමාපට සහ සිනමාත්මක නොවන සිනමාපට. සිනමාත්මක සෞන්දර්ය තියෙන චිත්‍රපට සහ එහෙම නොවන අනිත් ඕනෑම ජාතියක අන්තර්ගතයක් තියෙන චිත්‍රපට. ඒ වගේම සිනමා විචාරකයන් සහ සිනමා කර්මාන්තයේ සිටින තවත් පිළිගත් පිරිසක් නිර්මාණය කරගෙන තියෙනවා ලේබලයක් කලාත්මක සිනමාව, ජනප්‍රිය සිනමාව කියලා. හැබැයි මේ සියල්ල වාණිජ සිනමාව තමයි. මොන චිත්‍රපට අධ්‍යක්ෂකවරයාද මොන නිෂ්පාදකවරයාද කියන්න චිත්‍රපටය නිකම් පෙන්වන්නේ. මොන චිත්‍රපට අධ්‍යක්ෂකවරයාද නිෂ්පාදකවරයාද නොමිලේ කිසිම කාර්යයක් කරන්නෙ. වාණිජ නොවන සිනමාවක් කොහේවත් නෑ.

එහෙනම් ඇයි අපේ රටේ සිනමාකරුවන් වාණිජ චිත්‍රපට යන වචනය භාවිතයට ගන්නේ?

එක කට්ටියක් කියනවා අපි වාණිජ චිත්‍රපට කරන්නෙ නෑ කියලා. එයාලා උත්සාහ කරනවා ඇති තමන් වෙනත් ජාතියක සිනමාකරුවෝ කියලා පෙන්වන්න. තවත් පැත්තකින් ඇතැම් සිනමා විචාරකයන් සහ සිනමා මාධ්‍යවේදීන් හිතනවා ඇති අපි ඉන්නෙ කලාත්මක චිත්‍රපට එක්ක කියලා. ඔය මොන දේ වුණත් ඔය කියන සිනමාපට වර්ගීකරණයේ සිනමා ද්විත්වයම පෙන්වන්න ඕනෑ එකම සිනමාහල්වල. ඇත්තටම ලෝකයේ තියෙන චිත්‍රපට සිනමාත්මක ගුණාංග තියෙනවානම් කර්මාන්තය විසින් බාරගන්නවා. අද තවත් ඕනෑ තරම් විකල්ප තියෙනවා චිත්‍රපට පෙන්වන්න. විවිධාකාරයේ චිත්‍රපට ප්‍රේක්ෂකාගාරය වෙත ගමන් කරනවා. 1950 දශකයේ ඉඳන් ලාංකික සිනමාව ලෝකය පුරා හොඳ සිනමාවක් පවතින රටක් ලෙස තම අනන්‍යතාව පෙන්වා හමාරයි. වර්තමානයේත් පෙන්වනවා. අනාගතයේත් පෙන්වාවි. ඒත් එක තැනක අප සාර්ථක වී නැහැ. එනම් සිනමා කර්මාන්තයක් විදිහට එය ආරක්ෂා කර ගන්න. අතීතයටවත් වර්තමානයටවත් දොස් නොකියා තමන්ගේ පෞද්ගලික මඩිය තරකර ගැනීමෙන් එළියට ගිය පොදු අදහසකට එකතු වී බොහෝ සංවාද සාකච්ඡාවලින් අනතුරුව ගොඩනගාගන්නා ජාතික ප්‍රතිපත්තියක් තුළ අපිට පුළුවන් සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනගා ගන්න. සිනමා කර්මාන්තයේ යෙදී සිටින සියලු පාර්ශ්වයන්ගේ එකමුතුවෙන් සිනමාව කර්මාන්තයක් බවට පරිවර්තනය කර ගන්න. මේ ගමන අප යා යුතුයි. ප්‍රමාදයකින් තොරව අප සක්‍රිය විය යුතුයි. දේශීය සිනමාව බිඳවැටුණට පසු ඒ රික්තකය පුරවන්නෙ කොහොමද? අනිවාර් යෙන් විදේශීය අන්තර්ගතවලින්. ලෝකයේ තියෙනවා දේශීය සිනමාවක් නැති රටවල්. ඒ රටවල් අතරට එකතු නොවී ඉමු අපි. දේශීය සිනමාවක් අනිකුත් ආනයන භාණ්ඩ වගේ අපිට තව රටකින් ආනයනය කරන්න බෑ. 

ප්‍රවේශ පත්‍රයක් අරගෙන චිත්‍රපටයක් නරඹන්න යන සිනමාලෝලින් ඉතා අඩු පසුබිමක තමයි සිනමාභිමාන සිනමා උළෙල පවත්වන්නේ. ඇත්තටම එය අභියෝගයක්ද?

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ආරම්භ කර දැනට අවුරුදු 10ක් වෙනවා. සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන්, ජාතික ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන්, සිනමාව කර්මාන්තයක් කර ගැනීම වෙනුවෙන් නොයෙක් වෘත්තිය ක්‍රියාමාර්ග අරගත්තා. පසුගිය කාලයේ කොවිඩ් තත්ත්වය යටතේ සිනමා ශාලා යළි පණ ගන්වන්න මහන්සි වුණා. සිනමාව කර්මාන්තයක් බවට පරිවර්තනය කරගන්න මහන්සි ගත්තා. ඒ වගේ බොහෝ දේවල් කරගෙන ඇවිත් මේ අලුතින් පත්වූ විධායක සභාව ඉදිරියේ තිබුණේ කොවිඩ් 19 ප්‍රශ්නයත්, ඉන්පසු විවිධ දේශපාලන අස්ථාවර වීම් වගේ විවිධ තත්ත්වයන් යටතේ කිසියම් විදිහකට අභියෝගයට ලක්වෙච්ච පසුබිමක තමා මේ විධායක සභාව පත් වුණේ. දිගුකාලීන ප්‍රතිපත්තිවලට යන්න ඉස්සර අපි මුලින්ම හිතුවා අපි ආසන්න වශයෙන්ම තියෙන දේ කරන්න. එනම් සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් කැඳවා ගැනීම කරන්න. ඒ නිසා අපි කල්පනා කළා අධ්‍යක්ෂකවරුන් ලෙස අපි එක්ක බැඳෙන නිෂ්පාදකවරු, සිනමාහල් හිමියන්, බෙදාහරින්නන් ඇතුළු සියල්ලන් එක් කරගත් පසුබිමක අපිට බැරිද විශේෂයෙන් මේ වසරේ හෝ ආසන්නව ප්‍රදර්ශනයට තියෙන සිනමා කෘති කිහිපයක් එකතු කරලා සිනමා උළෙලක් පවත්වන්න කියලා. දිවයින පුරා සිනමාහල් 15ක් විතර අරගෙන අපි ඒක කළා. ඒක බාරදූර කටයුත්තක්. ආකෘතිය අලුත්. අත්දැකීම අලුත්. අලුත් අභියෝගයක්. අපි වාසනාවන්ත වුණා. චිත්‍රපට නිෂ්පාදකවරුන් කැමති වුණා චිත්‍රපට ලබා දෙන්න. සිනමාහල් හිමියන් 15ක් අපි එක්ක අත්වැල් බැඳගත්තා. බෙදාහැරීම් මණ්ඩල අපි එක්ක එකතු වුණා. ජාතික චිත්‍රපට සංස්ථාව ඔවුන්ගේ දායකත්වය ලබා දුන්නා. මාර්තු 13 සිට 24 වෙනකම් සතියේ දින 9 දිවයින පුරා සිනමා ශාලා 15ක සවස දර්ශනය පමණක් අරගෙන මේ සිනමා උළෙල පවත්වන්න තමා තීරණය වුණේ. එය සැබැවින්ම සොඳුරු සමාරම්භයක්.

I සංජීවිකා
සේයාරුව I අන්තර්ජාලයෙන්