2023 මාර්තු 19 වන ඉරිදා

ගොයම් ගස් දෙකෙන් මිනීමරුවා සොයාගත් පොලිස් සුනඛ ඒගර්

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 156

ධනුෂිකා මධුවන්ති තම සැමියා ඉලංගරත්න සමඟ එක්ව සිල්ලර කඩයක් පවත්වාගෙන ගියාය. නිවෙසේ කෙළවරක වූ කඩයට ලොකු ආදායමක් නොවුණද අසල්වැසි ගම්මු පැමිණ ගනුදෙනු කළෝය. එදා රෑ බෝ වෙත්ම කඩය වසා දැමුවේ ඉලංගරත්නට මළගෙදරකට යාමට තිබූ නිසාය. ඉලංගරත්න යළිත් නිවෙසට පැමිණ තිබුණේ පසුදා අලුයම 2 ට පමණය. ඒ වනවිටත් දොර බාගෙට වසා තිබුණු අතර ධනුෂිකා නිවසේ පෙනෙන්නට නොසිටියාය.

නිවසේත් අවටත් ධනුෂිකා නොසිටි බැවින් ඇයට අඬගසා සොයා බලා නැති තැන බිරියගේ මවටත් ඥාතීන්ටත් ඒ බව දැන්වීමට ඔහු පියවර ගත්තේය. පසුව අසල්වැසියන්ද එක්ව ධනුෂිකා සොයන්නට වූහ. ඒ අනුව නිවෙසට යාබද මඩ කුඹුරේ තිබියදී ඝාතනය කොට සැඟවූ බවට සැකකෙරෙන ධනුෂිකාගේ නිරුවත් මළසිරුර සොයාගැනුණේ ඉකුත් 11 වැනිදා පෙරවරුවේ ය. ඒ මහනුවර අලවතුගොඩ අංකුඹුර පාරේ විලාන පල්ලේගම ඇල්ලෙකඩේ ප්‍රදේශයේ දීය.

ධනුෂිකා හා ඉලංගරත්න විවාහ වී වැඩි කාලයක් නැත. ඇහැට කනට පේන හැඩකාර රුවකින් පිරි ධනුෂිකා කාටත් එකසේ සලකා ජීවත් වූවාය. ඇගේ අභිරහස් ඝාතනයට පසුව ගම්මුන් තුළ කසුකුසුවක් පැතිර තිබුණේය. ''ඉලංගරත්න නම් කටගොන්නක් බී ගන්නවා. දවසකට දෙකකට සැරයක් රණ්ඩු වෙනවත් ඇහෙනවා. ඊයේ රෑ නවයහමාරට විතර යටිගිරියෙන් කෑගහන ශබ්දයක් ඇහුණා.''

මේ කතාව වැඩිවෙලාවක් යන්නට කලින් අලවතුගොඩ පොලිසියේ නිලධාරීන්ට සැලවී තිබුණේ ඉලංගරත්න විසින්ම සිය බිරියගේ අතුරුදන්වීම හා අභිරහස් මරණය පිළිබඳව දැන්වීමෙන් පසුව පොලීසිය එහි පැමිණ සිටියදීය. මේ නිසා ඉලංගරත්න වෙත ගම්මුන්ගේ මෙන්ම පොලිසියේද  සැකය යොමුවී තිබිණ.

ධනුෂිකා මධුවන්තිගේ අභිරහස් ඝාතනය පිටුපස සැඟවී සිටින ඝාතකයා සොයාගැනීමට මෙහෙයුමක් ඇරඹූ අලවතුගොඩ පොලීසියේ නිලධාරීන් ඒ සඳහා අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සුනඛ ''ඒගර්''ගේ සහාය ගැනීමට තීරණය කළේය. ඒ අනුව පොලිස් සැරයන් ජයරත්න මහතා යටතේ සිටින නිල සුනඛ ''ඒගර්'' කැඳවා විමර්ශන අරඹා තිබුණි. ඊට දායකත්වය සැපයූ පොලිස් සැරයන් ජයරත්න මහතා මෙසේ කියයි.

''අස්ගිරිය නිල සුනඛ කොට්ඨාසය වෙත මේ පණිවුඩය ලැබුණා. නිල සුනඛ ඒගර් සමග එහි යනවිටත් සැකකටයුතු මිනිය සොයාගෙන තිබුණා. මියගිය කාන්තාව පදිංචි නිවෙස ඉදිරිපිටම පාර. එතැනින් එහා පැත්තේ කුඹුරු යාය. මිනිය තිබුණේ ගෙදරට මීටර් 10ක් 12ක් එහා කුඹුරේ. මම එතැනට යද්දී මළසිරුරේ ඉනෙන් ඉහළ කොටස මතුවෙලා තිබුණේ. ඒ ළඟම රබර් සෙරෙප්පුවක් තිබුණා. මළසිරුර මඩේ සඟවලා ඒ උඩින් ගොයම් පඳුරු කිහිපයක් සිටුවලා තිබුණා. යටිබඩ සහ කකුල ප්‍රදේශයේ ඒ පඳුරු සිටුවා තිබුණේ. එම සැකකටයුතු ගොයම් පඳුරු දෙක ඉවතට අරගෙන ලෑලි කැබැල්ලක තියලා මම ඒගර්ට ඉව ලබාදුන්නා.'' යැයි පැවසීය.

ඉව ලබාගත් සුනඛ ''ඒගර්'' මඩ සහිත කුඹුරේ මීටර් 150ක් පමණ ගොස් නිවාස කිහිපයක් පසු කළේය. ඇතැම් නිවෙස්වල රෙදි වැල් යටට ගිය ඒගර් එම රෙදිවැල්වලට ඉව අල්ලමින් සිට ආසන්නයේ තිබූ විශාල වත්තක් පසුකර මීටර් 500ක් පමණ ගමන් කළේය. එසේ තේ වත්තක් පසුකළ පසුව අලවතුගොඩ ඇල්ලෙකඩේ පාර පසුකර යත්ම නැවත වරක් ගොයම් ගසේ ඉව ලබාදෙන්නට පොලිස් සැරයන් ජයරත්න කටයුතු කළේය.

ආසන්නයේ වූ දිය පහරකින් එගොඩට ගිය ඒගර්ට ප්‍රදේශයේ නිදැල්ලේ හැසිරුණු සුනඛයන්ගෙන් දැඩි බාධා එල්ල වන්නට විය. ඒ ආකාරයට සුනඛයන් කිහිප දෙනකුගේ බාධා ඉවත්කර දීමට අසල්වැසියන් ක්‍රියාකර තිබිණ. එහිදී මොහොතක් නැවතී සිටි ඒගර්ට නැවත ගොයම් ගස ඉව කිරීමට සැලැස්වූ සැණින් කටුකම්බි වැටක් මැදින් යාමට තැත්කර තිබුණි. එතැනින් ආරක්ෂිතව ගමන් කිරීමට සැලැස්වූ පසු තවත් මීටර් කිහිපයක් ගිය ඒගර් පැරණි නිවෙසක් පසුකර ඊළඟට තිබූ නිවෙස වෙත ගොස් එහි මිදුලේ සිටි පිරිමි අයකුට ඉවකර ඔහු වටා කැරකී එම නිවෙසට ඇතුළු වී ඇත. ඒ සැණින් පොලිස් කොස්තාපල් ජයරත්න මහතා ගෙමිදුලේ රුඳී සිටි පුද්ගලයා නිරීක්ෂණය කොට තිබිණ. සරමක් ඇඳ සිටි ඔහු පාදයක් ඔසවා සරමේ කෙළවරක් අල්ලා තිබුණේ දුවයාම සඳහාය. පොලිස් සැරයන් ජයරත්න මහතා පසුපස සිටි පොලිස් අපරාධ අංශ නිලධාරීන්ට වහා ඔහුව අල්ලා ගන්නා ලෙසට දැනුම් දී සුනඛයා සමග නිවෙස ඇතුළට ගොස් තිබිණ. නිවසේ ටී.වී. බලන ස්ථානය හා කාමරයක් වෙත ඉවකළ ඒගර් ඉදිරිපස වූ කාමරයක ඇඳ අසලට ගොස් වාඩි වී තිබිණි.

එම කාමරය හා ඇඳ භාවිත කොට තිබුණේ මිදුලේ සිටියදී ඒගර් ඉවකොට ගිය පුද්ගලයා විසිනි. සැකකරු අත්අඩංගුවට ගත් පසුව ඒගර් නිදහස් කළවිට එම සුනඛයා නිවෙස වටේ රවුමක් ගොස් ගෙමිදුලේ නාන ස්ථානයක තිබූ මඩ සහිත සරමක් සොයාගෙන තිබිණ. සැකකරු සමඟ එම සරමද ආරක්ෂිතව රැගෙන ඒමට අලවතුගොඩ පොලිසියේ නිලධාරීහු පියවර ගත්හ. 26 හැවිරිදි ධනුෂිකා මධුවන්තිගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම පුද්ගලයා විවාහකයෙකි. ඔහු යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව මහනුවර කඳවුරක රාජකාරි කරන්නෙක් බවට හඳුනාගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඝාතනයට ලක්වූ තරුණියගේ සැමියා කියා තිබුණේ මාස කිහිපයකට කලින් සිය බිරියගේ ජංගම දුරකතන අංකය කොහෙන් හෝ සොයාගෙන මොහු විසින් ''ඔයා හරි ලස්සනයි'' කියා කෙටි පණිවුඩ යොමුකර තිබූ බවය. ඉන්පසුව ඔවුන් එම නිවෙසට පැමිණ නිවැසියන්ට කරුණු කී පසුව සැකකරු එම යුවළගෙන් සමාව අයැද ඇත. එම සිදුවීම එදායින් අවසන් වුවද සැකකාර හමුදා සෙබලා යමක් සිතේ තබා සිට තරුණිය නිවසේ තනිවූ මොහොතක් බලා එහි ගොස් ඇයට අතවර කර ඇතැයි කියති. ඒ බව සැඟවීම සඳහා කාන්තාව ඝාතනය කොට නිවෙසට යාබද කුඹුරේ සඟවා තිබෙන බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ප්‍රශ්න කිරීමේදී හෙළිකරගත් තොරතුරු මත තවත් කිහිප දෙනකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය. 

මෙතෙක් සිදුකළ විමර්ශණ අනුව තරුණිය දූෂණය කොට ගෙල සිරකර මරා දමන්නට ඇති බවට සැකකෙරෙන අතර වැඩිදුර විමර්ශනය සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකිරීමට නියමිතය.

සහකාර පොලිස් අධිකාරි ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය මත අලවතුගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ පොලිස් සැරයන් (42320) ජයරත්න මහතා ඇතුළු නිලධාරීහු මෙහෙයුමට දායක වූහ. අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

I සමන්ත ප්‍රදීප් විල්තෙර