2023 මාර්තු 19 වන ඉරිදා

ඩොලරය 370 ඉඳන් 320ට ආවාම අපනයන ආදායමට මොකද වෙන්නෙ?

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 52

පසුගිය 27 වැනිදා සිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩුවීම නිසා ආනයන වියදම් අඩුවීමෙන් රටේ ආර්ථිකයට දිගු කාලයකට පසු යම් සහනයක් ලැබුණද අපේ අපනයන ආදායම පහළ බැසීමට මෙම තත්ත්වය හේතුවීම නිසා රුපියල ශක්තිමත් වූවා යැයි අපට උදම් ඇනීමට හැකියාවක් නොමැති බව ආර්ථික විශ්ලේෂකයන් විසින් අවධානයට ලක් කරනු ලැබ ඇත. අපනයන ආදායම අඩුවීමෙන් සිදුවන පාඩුව ඇතැම්විට ආනයන වියදම පහළ යාමේ වාසිය අභිබවා ගිය හැකි බවට මත පළවේ.

ඩොලරයේ රුපියල් අගය පහළ යාම නිසා තේ, රබර්, පොල් යන අපගේ සාම්ප්‍රදායික අපනයනවලට අමතරව මේ දිනවල විශාල ලෙස පුළුල් වෙමින් පවතින තැඹිලි, පළතුරු, මල් පැළ, බුලත්, සුළු අපනයන බෝග ආදී වශයෙන් යම් ඉහළ නැගීමක් පෙන්නුම් කළ අපනයනවලට හානිවීමට පටන්ගෙන ඇති බව ඒවාට අදාළ ව්‍යාපාරිකයෝ මැසිවිලි නගති. එසේම අපේ අපනයන ආදායමෙන් විශාල ප්‍රතිශතයකට හිමිකම් කියන ඇඟලුම් කර්මාන්තයටද විශාල පසුබැස්මකට ලක්වීමට මෙම තත්ත්වය හේතු වී තිබේ.

අපට ශක්තිමත් අපනයන ආර්ථිකයක් නැත. ඒ නිසාම අපනයන සංවර්ධන අංශ පසුගිය සමයේ උත්සාහ කළේ අපනයන විවිධාංගීකරණය තුළින් යම් ආදායමක් ලබා ගැනීමටය. එයට හේතුව සාම්ප්‍රදායික අපනයන පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි වීමය. ජාත්‍යන්තර වශයෙන් විශාල තරගයකට මුහුණ දෙන්නට සිදුවීම එයට හේතුවයි. අපේ අපනයනවල නිෂ්පාදන වියදම වැඩි වන්නේ ඒවාට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය විශාල වශයෙන් පිටරටින් ගෙන්වීමට සිදුවීම නිසාය. ඇඟලුම් කර්මාන්තය එක් උදාහරණයකි.

පසුගිය වසරේ අපේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 12.5ක්වූ අතර ආනයන වියදම බිලියන 20.1ක් විය. ආනයන අපනයන හිඟය ඩොලර්  බිලියන 8කට ආසන්නය. පසුගිය සමයේ ඇතිකළ ආනයන සීමා නිසා මසකට කලින් ඩොලර් මිලියන 1900ක්වූ ආනයන වියදම ජනවාරි වනවිට 1400 දක්වා අඩුකර ගැනීමට හැකි විය. එසේ වුවද ආනයන සීමා පැනවීම දිගටම පවත්වාගෙන යාමට සිදුවීම සමාජ හා දේශපාලන අර්බුදයකට තුඩු දීමට ඉඩ ඇති නිසා එහි ආයුෂ කෙටිය. ඒ නිසා අපේ අපනයන ආදයම වැඩිකර ගැනීමට උපරිම උත්සාහය ගත යුතුය. එවැනි තත්ත්වයකදී ඩොලරයට ලැබෙන රුපියල් ප්‍රමාණය අඩුවීම දැවෙන ප්‍රශ්නයක් බවට පත්වීමට ඉඩ තිබෙන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වෙයි.

රුපියලේ විදේශ අගය මේ මට්ටමින් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකිවන්නේ නම් ප්‍රශ්නය ගොඩින් බේරාගත හැකිවනවා ඇත. අද පවතින තත්ත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පෞද්ගලික බැංකු තුනකට ආහාර, ඖෂධ හා පොහොර ආනයනය සඳහා වසරක කාලයකට ඩොලර් මිලියන 400ක මූල්‍ය හුවමාරු පහසුකම් ලබාදීම බව කියැවේ. කෙසේ වුවද යම් හේතුවකින් ඩොලරයේ රුපියල් අගය ඉහළ ගියහොත් එහි අවාසිය අපනයනකරුවන්ට දරාගැනීමට අපහසු වෙනවා ඇත.

පිච්රේටින් ජාත්‍යන්තර ආර්ථික සමීක්ෂණ ආයතනය පවසන්නේ මේ වසර අග වනවිට ඩොලරයේ අගය රුපියල් 390 දක්වා ඉහළ නගිනු ඇති බවය. මෙම තත්ත්වය මත යළිත් ආනයන මිල අසීමාන්තික ලෙස ඉහළ යනවා ඇත. 

තවද රුපියල ශක්තිමත් වීම නිසා මෙතෙක් කල් නිසි පරිදි රටට නොලැබුණු විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වාණිජ බැංකු හරහා අපට ලැබීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත. මෙතෙක් කලක් විදේශවල රුකියා කරන ශ්‍රී ලාංකිකයන් තමන් උපයන මුදල්වලින් සුළු කොටසක් පමණක් මේ රටේ සිටින ඥාතීන්ට එවා ඉතිරි මුදල් එම රටවල බැංකුවල තැන්පත් කර ඇත්තේ මෙරටට එවන මුදල් පිළිබඳ විශ්වාසය අඩුවීම නිසාය. ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩු වුවද ඔවුන් මෙරටට එවන විදේශ මුදල් අද්දවා ගැනීම සඳහා ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන ඇති බවක් නොපෙනේ. පසුගිය දිනවල විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් වාහන ආනයනය කිරීම සඳහා බදු සහනයක් දෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළද විදුලි වාහන පිළිබඳ ජනතාව කැමැත්තක් දක්වන්නේ නැත්තේ නිසි විදුලි ආරෝපණ ක්‍රමයක් සකස් කර නොමැති නිසාය. ඒ නිසා විදේශ ප්‍රේෂණ අප රටට අද්දා ගැනීමට යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇත.

අපනයන සංවර්ධනය සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගෙන ඇතිදැයි අපනයන සංවර්ධන අධිකාරියෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවසුවේ එවැනි ප්‍රතිකර්මයක් යෙදීම සඳහා ඩොලරයේ රුපියල් අගයේ පැවැත්ම පිළිබඳ අධ්‍යයනයක නිරත වෙමින් සිටින බවය. පවතින තත්ත්වය වසර අග පමණ වනවිට වෙනස් වනු ඇති බවට ඉඟි පළවී ඇති බැවින් දැන් පවතින අපනයන ආදායම පහළ බැසීම තාවකාලික වනු ඇතැයි ඔහු පැවසීය. මේ දිනවල අලුත් අපනයන හඳුන්වා දීමේ උත්සාහයක නිරත වන බව ඔහු කීවේය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආරම්භක සභාපති සහ Woodbrix Toys අපනයන ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ශිරාන් කරුණාරත්න

''අපේ කර්මාන්තශාලාව මගින් ලීවලින් තනන සෙල්ලම් බඩු ලෝකයේ රටවල් 20කට අපනයනය කරනවා. මෙයින් රටට ලැබෙන විදේශ විනිමය විශාලයි. වසර 40ක් තිස්සේ අප මේ කර්මාන්තයේ නිරත වන අතර අද මුහුණපාන්නට වී ඇති තත්ත්වය අතිශයින් කනගාටුදායකයි. මෙවැනි කර්මාන්ත දිරිමත් කළ යුතුව තිබියදී අද ආණ්ඩුව කරන්නේ ඒවා බිඳ දැමීමට කටයුතු කිරීමක්. අද සිදුවෙන්නේ ඒකයි.

රුපියල් ඩොලර් ගැටලුව නිසා පසුගිය සතිවල අපට මිලියන ගණනක් පාඩු සිදුවුණා. අමෙරිකාවෙන් ඇණවුම් ආවේ ඩොලරය රුපියල් 360ට තිබෙන විටයි. පෙරේදා (9) පැටවූ තොගයට ලැබුණේ ඩොලරයට රුපියල් 311 ගණනේ. ඩොලරයට රුපියල් 49 ගණනේ පාඩුයි. මුළු පාඩුව මිලියන 1.3යි. ලබන බ්‍රහස්පතින්දා වන විට යැවීමට ඩොලර් 13,000ක් වටිනා බඩු නැවක් තිබෙනවා. අද තත්ත්වය අනුව එයින් සිදුවන පාඩුව රුපියල් එක්ලක්ෂ තිස්හත් දහසක්. ලැබෙන ඇණවුම්වලට බඩු නොසපයා බැහැ. එහෙම වුණොත් වෙළෙඳපොළ අහිමි වෙනවා. ඒ නිසා පාඩුවට හෝ සැපයිය යුතු වෙනවා.

ආණ්ඩුව රුපියල ශක්තිමත් කරන එක හොඳයි. එහෙත් එය කළ යුත්තේ ක්‍රමයෙන් ටිකෙන් ටිකයි. එකවරම ඩොලරය රුපියල් 60ක් වැනි විශාල ප්‍රමාණයකින් අඩු වූ විට අපනයන කර්මාන්තය කරන්නේ කොහොමද? ක්‍රමානුකූලව නොකර එකවර විශාල ප්‍රමාණයකින් බාල්දු කිරීම සුදුසු වන්නේ නැහැ. අනිත් අතට මෙහෙම වන්නේ රටේ ගෙවුම් ශේෂය පාලනය කිරීම නිසා නොවෙයි. නිෂ්පාදනය වැඩි වී ආර්ථිකය ඉහළ යාම නිසා නොවෙයි. මේ සියල්ල මවාපාලා තියෙන්නේ විදේශවලින් ගත් ණය මුදල් යොදවාගෙනයි. මෙය තාවකාලික තත්ත්වයක්. රටට සිදුවෙන යහපතක් නැහැ. මවාපෑමක් විතරයි.

රටට ආදායම උපයන අපනයනකරුවන් බිත්තියට හේත්තු කරලයි තියෙන්නේ. අපට පසුගිය කොවිඩ් සමයේ හොඳ වෙළෙඳපොළක් තිබුණා. දරුවන් ගෙවල්වලට කොටුවී සිටි නිසා සෙල්ලම් බඩු පරිහරණය කිරීම ඉහළ ගියා. ඒත් අද තත්ත්වය එයට ඉඳුරාම වෙනස්. වෙළෙඳපොළ ගොඩනැගිය යුතුව තිබියදී ලබාගත් ඇණවුම්වලටත් සැපයීම අපහසු වී තිබෙනවා. මේ විදිහට අපනයන ආර්ථිකය ගොඩනගන්න බැහැ. තියෙන එකත් නැතිවෙනවා. මෙහෙම දෙයක් කරනවා නම් කල් ඇතිව අප දැනුවත් කරන්න තිබුණා. මෙය එකවරම හදිසියේ ඇතිවූ තත්ත්වයක් නොවෙයි. දැන දැනයි කරලා තියෙන්නේ.

අපනයන සංවර්ධන මණ්ඩලය හරහා ආණ්ඩුව යම් වැඩපිළිවෙළක් ඇතිකළ යුතුයි. ඔය ආයතන පවත්වාගෙන යන්නේ මහජන මුදලින්. එම නිසා රටේ අපනයන වර්ධනය කිරීමට පියවර ගැනීම විශාල වගකීමක්. අයවැය ලේඛනයෙන් අපේක්ෂිත ඉලක්කවලට යාමට කටයුතු කිරීම අවශ්‍යයි.

ජනාධිපති රටේ ආර්ථිකය ගැන කතා කරනවා. බදු 50%යි. වැට් එක 15%යි. විදුලිය බිල උපරිමයෙන් ඉහළ ගිහින්. ලෝකයේ ඉන්ධන මිල අනුව අපේ ඉන්ධන මිල තීරණය කරන්නේ නැහැ. හිතුමතයට මිල ඉහළ දමනවා. නැව් ගාස්තු, රට තුළ ප්‍රවාහන ගාස්තු ඉහළයි. එහෙම තත්ත්වයක රුපියල ශක්තිමත් වෙලා ආර්ථිකය නගිනවයි කියන එක පිළිගන්න බැරි බොරුවක්. බොහෝ වෙලාවට ආනයන වටිනාකම අඩුවීමට වඩා අපනයන ආදායම පහළ බැසීමෙන් ආර්ථිකයට හානියක් සිදුවෙන්න පුළුවන්.''

නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් ඇඟලුම් ක්ෂේත්‍රයේ හාම්පුතුන් රුපියල ශක්තිමත් වීමෙන් පාඩු ලබන බව කියමින් එම පාඩුව සේවකයන් මතින් යැවීමට කටයුතු කරන බවට චෝදනා කරයි.
''ඇඟලුම් කර්මාන්ත හිමියන් ප්‍රසිද්ධියේ කියන්නේ අමෙරිකානු ඩොලරයට අඩු රුපියල් ප්‍රමාණයක් ගෙවීමට සිදුවීම නිසා මේ වනවිට ඇඟලුම් අපනයනවලින් ලැබෙන ආදායම 40%කින් පමණ අඩුව තිබෙන බවයි. ඇඟලුම් ඇණවුම්ද පහළ බැස තිබෙන බව කිව යුතුයි. පවතින තත්ත්වය මත සේවකයන් අපහසුතාවට පත්වෙලා තියෙනවා. මේ වනවිට අතිකාල දීමනා, දිරි දීමනා ගෙවීම හා පැමිණීමේ දීමනා ගෙවීම, නිවාඩු වැටුප් ගෙවීම ආදිය නවතා දමා මූලික වැටුප පමණයි ගෙවන්නේ. දැනට මෙම තත්ත්වය මත යැයි සමහර ආයතන වසමින් පවතිනවා.

ලොව පුරා අධික උද්ධමනය ඇතිවීම නිසා ඇඟලුම් මිලට ගැනීම අඩුවෙලා තිබෙන බව පෙනෙනවා. ඒ නිසා ඉල්ලුම පහළ වැටිලා. ඉන්ධන මිල, විදුලි බිල, අමුද්‍රව්‍ය මිල ආදිය ද නිෂ්පාදන පිරිවැය වැඩිවීමට හේතු වී තිබෙනවා. එවැනි හේතු නිසා ආදායම අඩුවීම හුවා දක්වමින් සේවක වරප්‍රසාද කප්පාදු කිරීමට පෙළඹී තිබෙනවා. එහෙත් මුල් දිනවල රුපියල අවප්‍රමාණ වෙලා ඩොලරයට රුපියල් 370 – 378 ලැබෙන විට ලැබුණු විශාල ලාභයෙන් කොටසක් හෝ සේවකයන්ට දුන්නේ නැහැ. අපි රුපියල 10,000ක අතුරු දීමනාවක් ඉල්ලුවා. එය දුන්නේ නැහැ. ඒත් රුපියල අධිප්‍රමාණ වූ විට පාඩුය කියලා සේවකයන්ගේ අයිතින් කප්පාදු කරමින් පවතිනවා.

ඇඟලුම් හිමියන් බිලියන 34ක ආදායම ලංකාවට එවන්නේ නැතිව පිටරටවල තබාගෙන ඉන්නවා. නීතියට අනුව අපනයන ආදායම් දින 120ක් තුළ මව් රටට එවිය යුතුයි. විදේශ විනිමය අර්බුදයක් කියලා පාරම්බාන ආණ්ඩුව මෙම මුදල් රටට ගෙන්වීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. බොහෝ දේශපාලනඥයන්ගේ මැතිවරණ වියදම් දරන්නේ ඇඟලුම් කර්මාන්තකරුවන් වීම එයට හේතුවයි.''

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරය හමුවේ ශක්තිමත් වීම ආනයන භාණ්ඩවල මිල පහළ යාමට හේතු වන නමුත් එම තත්ත්වය අපනයන ක්ෂේත්‍රය පිළිබඳ ඍණාත්මක බලපෑමක් ඇතිකරවන බවයි. එය පාලනය කිරීම සඳහා රජය කටයුතු නොකළහොත් එයින් රටේ ආර්ථිකයට හානි වන බව ඔහුගේ අදහසයි.

''ඉස්සර අපි අමෙරිකානු ඩොලර් එකක් වටිනා භාණ්ඩ පිටරට යැවූ විට අපට ශ්‍රී ලංකා රුපියල් 370ක් හෝ එයට ආසන්න මුදලක් ලැබුණා. එහෙත් දැන් රුපියල ශක්තිමත් වී ඇති නිසා ලැබෙන්නේ රුපියල් 310ක් පමණ විය හැකියි. මෙයින් අපනයනය අධෛර්යමත් වෙනවා. නිෂ්පාදන වියදම් වැඩිවෙලා, බදු ඉහළ නංවලා තිබෙන පරිසරයක අපනයනකරුවන්ගේ අතට ලැබෙන මුදල අඩු වුවහොත් සිදුවන්නේ ඔවුන් අපනයනයට උනන්දු නොවීමයි. එයට වඩා ඔවුන්ට ඒවා දේශීයව අලෙවි කිරීම යහපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපනයනය නැවතීමට ඇති ඉඩ වැඩියි.

උදාහරණ වශයෙන් සහල් නිෂ්පාදනය ගතහොත් පොහොර හොණ්ඩරය රුපියල් 16,000 – 17,000 වෙනවා. කෘෂි රසායන ගිනි ගණන්, ඉන්ධන මිල ඉහළයි. ජීවන වියදම ඉහළ ගොස් ඇති නිසා ශ්‍රමයට ගෙවිය යුතු මුදල වැඩි වෙනවා. මෙම තත්ත්වය මත නිෂ්පාදනය පහළ යාම වළක්වන්න බැහැ. සෙසු අපනයන නිෂ්පාදන පිළිබඳවද ගැටලු පැන නැගී තියෙනවා. නිෂ්පාදන පිරිවැය වැඩියි. ලැබෙන ආදායම අඩුයි. ඒ නිසා දිගටම මෙහි නිරත වන්න බැහැ.

මෙහිදී කිවයුතු වන්නේ නිෂ්පාදන සාධකවල මිල පහළ යාම අවශ්‍ය බවයි. රටට අවශ්‍ය  වන්නේ විනිමය අනුපාතිකය ශක්තිමත් කිරීම නොවෙයි. රුපියල දුර්වල වීම නිසා තමයි බාහිර හේතුවලින් බලපෑම් ඇතිවෙන්නේ. ගසක් ශක්තිමත් නම් සුළඟට සෙලවෙන්නේ, කඩා වැටෙන්නේ නැහැ. දුර්වලකම් සුළං හමන පැත්තට සෙලවෙනවා. කඩා වැටෙනවා. අපේ රුපියල ශක්තිමත් නම් බාහිර බලවේගවලට නතුවෙන්නේ නැහැ. එම ශක්තිමත්භාවය දිගටම තබාගැනීම අත්‍යවශ්‍යයි. අද සිදුව ඇත්තේ තාවකාලික තත්ත්වයක්. මෙය සදාකාලික කරගන්න නම් ඒ පිළිබඳ සැලසුමක් රජයට තිබිය යුතුයි. අද එහෙම බවක් පෙනෙන්න නැහැ.''

මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ රුපියල ශක්තිමත් වීම අපේ සංචාරක ව්‍යාපාරයට අහිතකර ලෙස බලපානු ඇති බවය.

''සංචාරක පැමිණීම අඩුවිය හැකියි. රුපියලේ අගය අවප්‍රමාණ වී පැවතීම නිසා සංචාරකයන් ශ්‍රී ලංකාව දුටුවේ ජීවන වියදම අඩු රටක් ලෙසටයි. එයට හේතුව ඔවුන්ගේ ඩොලර්වලට වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබීමයි. එහෙත් දැන් ඔවුන්ට ලැබෙන්නේ අඩු රුපියල් ප්‍රමාණයක්. එසේම ඔවුන්ට හෝටල් ගාස්තු, ආහාරපාන සහ භාණ්ඩවලට, ප්‍රවාහනයට වැඩි මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. මේ වනවිට සංචාරකයන්ට ජීවත් වීමට විශාල මුදලක් වැය කළ යුතු රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. මේ වසර අවසන් වනවිට සංකෝචන ආර්ථිකය ප්‍රසාරණය නොවුණොත් රුපියලේ අගය දැඩි අවදානමකට ලක්විය හැකියි. තිබුණු තත්ත්වයට වැඩිය රුපියල පිරිහෙන්න පුළුවන්.

රුපියල තාවකාලිකව හෝ ශක්තිමත් වීම නිසාම ආර්ථිකය යහපත්ය කියලා කියන්න බැහැ. මේ සියල්ල සිදුවෙලා තියෙන්නේ ආර්ථිකය සංකෝචනය වීම මතයි. ඇත්තටම ප්‍රසාරණ ආර්ථිකයක් තුළ මේ සියල්ල සිදුවූවා නම් ආර්ථිකය යහපත් කියලා කියන්න පුළුවන්. රුපියල ශක්තිමත් වීම දිගටම සිදුවුවහොත් රටේ ආර්ථිකයට යහපත් බලපෑමක් ඇතිවෙයි. එහෙත් රුපියල දිගටම මේ තත්ත්වයේ තබාගැනීමට අපට සැලසුමක් නැහැ. ඒ නිසා අනාගතයේදී තත්ත්වය තවත් බියකරු විය හැකියි.''

I යසවර්ධන රුද්රිගූ