2023 මාර්තු 19 වන ඉරිදා

දිගටම අඩුවෙන ලංකාවේ තෙල් ගැහිල්ල

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 38

ඉන්ධන මිල අඩු කිරීම සහ ඉන්ධන ඉල්ලුම පහළ යාම පිළිබඳ විවිධාකාර කතා පසුගිය සතියේ අසන්නට ලැබුණි. රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබාදීමේ අරමුණින් ඉන්ධන මිල අඩුකිරීම සිදුවනු ඇතැයි කියැවුණි. එසේම පසුගිය වසරට සාපේක්ෂව මෙරට ඉන්ධන ඉල්ලුම මේ වසරේදී කැපීපෙනෙන ලෙස පහළ බැස ඇතැයි ද වාර්තා විය. ඒ අනුව මෙම සුබදායී ආරංචි පෙළ පිළිබඳ පුළුල්ව විමසා බැලීමට අපි තීරණය කළෙමු.

ඉන්ධන මිල අඩුකිරීම පිළිබඳ කතාව ඉකුත් සතියේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ද ස්ථිර කළේය. අප්‍රේල් මස ඉන්ධන මිල සංශෝධනයේදී ජනතාවට සහනයක් දීමට අපේක්ෂා කරන බව ඔහු පැවසුවේ ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

“ඩොලරය අවප්‍රමාණය වීම රුපියල් ශක්තිමත් වීම කියන කාරණයේ වාසිය අප්‍රේල් මාසේ මිල සංශෝධනය හරහා අනිවාර් යෙන් ජනතාවට ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම මේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමත් සිදු කළ යුතුමයි. ඒ හරහා තමා අඩුම මිලට ජනතාවට විදුලිය ලබා දීම සිදු කළ හැකි වෙන්නෙ."

ඩොලරය අවප්‍රමාණය වීමට අමතරව සිංගප්පූරු ඉන්ධන වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහළ යාමද තෙල් මිල අඩු කිරීමට හේතු වී ඇති බව කියැවුණි. කෙසේ වෙතත් ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනයේදී කොපමණ මුදලකින් ඉන්ධන ගාස්තු අඩු වේදැයි තවදුරටත් පැහැදිලි නොමැත.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල යම් අඩුවීමක්ද පසුගිය සතියේ නිරීක්ෂණය විය. ඒ අනුව බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72 සීමාවට පැමිණියේය. පසුගිය බ්‍රහස්පතින්දා වනවිට ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71.46 ක් ලෙස සටහන් වූ අතර  ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 67.48ක් ලෙස සටහන් විය.

ඉහත සියලු කරුණු අනුව අප්‍රේල් මාසයේදී ඉන්ධන සඳහා යම් සහනයක් ලැබෙන බව ස්ථිර වශයෙන්ම පෙනී යයි. කෙසේ වෙතත් පවතින දේශපාලන ආර්ථික වටපිටාව තුළ එම සහනය දැවැන්ත සහනයක් නොවෙතැයි ඇතැම් පාර්ශ්ව කියති. තවදුරටත් ඉන්ධන සහ විදුලි ගාස්තු සම්බන්ධ විරෝධතා ද තැන තැන දක්නට ලැබේ.

එසේ නමුත් මිල අඩුකිරීම සිදු කරන්නේ නම්, ඩොලරය පහළ යාමේ වාසිය ඉන්ධන සඳහාත්, ඉන්ධන මිල පහළ යාමේ වාසිය බඩු මිල කෙරෙහිත් ගලා යන ලෙස මෙම මිල අඩුකිරීම සිදු කළ යුතුය. මහජනතාවට සැනසුම් සුසුම් හෙළීමට ඇසිල්ලක හෝ අවකාශයක් උදා වන්නේ එවිටය.

මේ අතර පසුගිය සතියේ ඉන්ධන ඉල්ලුම පහළ යාම පිළිබඳ පුවත ද සුවිශේෂී වූ බව කිව යුතුය. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි මාසයේ ඉන්ධන අලෙවිය ශීඝ්‍ර වශයෙන් පහළ බැස ඇතැයි කීවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයයි. ඉකුත් වසරට සාපේක්ෂව මේ ජනවාරියේ දී ඩීසල් අලෙවිය 50%කින්ද පෙට්‍රල් අලෙවිය 30%කින් සහ භූමිතෙල් අලෙවිය 70%කින් අඩු වී ඇතැයි ඔවුහු තොරතුරු වාර්තා කළහ.

තොරතුරු වාර්තා හෙළි කළ පරිදි,  2022 වසරේ ජනවාරි ඩීසල් මෙට්‍රික් ටොන් 199,032ක් අලෙවි වී ඇතිමුත් 2023 ජනවාරි මාසයේ අලෙවි වී ඇත්තේ මෙට්‍රික් ටොන් 93,106ක් පමණි. සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 6,544ක් 2023 ජනවාරියේදී අලෙවි වී ඇතත්, මේ වසරේ ජනවාරි මාසේදී අලෙවි වී ඇත්තේ මෙට්‍රික් ටොන් 1,882කි. භූමිතෙල් අලෙවිය සැලකීමේදී පසුගිය වසරට සාපේක්ෂව ඒවාද අඩු වී තිබුණි. 2022 ජනවාරි මාසයේ භූමිතෙල් මෙට්‍රික් ටොන් 19,212ක් අලෙවි වී තිබූ අතර මේ වසරේ ජනවාරියේදී අලෙවි වූයේ මෙට්‍රික් ටොන් 4,757කි.

මේ අතර පෙට්‍රල් අලෙවියේ ද පැහැදිලි වෙනසක් දක්නට ලැබුණි. ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10134ක් 2022 ජනවාරියේදී අලෙවි වී තිබූ අතර මේ වසරේ අලෙවිය මෙට්‍රික් ටොන් 2087කි. ඔක්ටේන් 92 පෙට්‍රල් පෙර වසරේ ජනවාරියේදී අලෙවි වී ඇත්තේ මෙට්‍රික් ටොන් 110491ක් වන අතර එය මේ වසරේ ජනවාරි මාසයේ දැක්වුණේ මෙට්‍රික් ටොන් 79510ක් ලෙසය.

ඉල්ලුම පහළ වැටීමට හේතුව QR කේත ක්‍රමය සහ අධික මිල ගණන් බව පැහැදිලිය. මේ වන විටත් ඉන්ධන මිල හේතුවෙන් බොහෝ දෙනා පෞද්ගලික ගමන් බිමන් සීමා කර සිටිති. එසේම අරපිරිමැස්මෙන් ඉන්ධන භාවිතයට ද බොහෝ දෙනා නැඹුරු වෙමින් සිටිති. මෙම තත්ත්වය ඉතා සාධනීය තත්ත්වයකි. අධික ඉල්ලුම සැපයීමට විශාල ඩොලර් ප්‍රමාණයක් වැය වේ. එම නිසාම මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වටී.

මේ අතර පසුගියදා QR කේතයට අනුව ක්‍රියාත්මක ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදාට වෙනස් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබුණි. ඉරිදා ඛනිජ තෙල් සේවකයන්ට ගෙවීමට සිදුවන රුපියල් මිලියන 20කට ආසන්න අතිකාල වියදම් ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

කෙසේ වෙතත් ඛනිජ තෙල් සේවකයන් සහ වෘත්තීය සමිති පාර්ශ්වයෙන් වෙනස්ම කතාවක් පසුගිය සතියේදී අසන්නට ලැබුණි. ඔවුන් කීවේ ඉන්ධන පිරිපහදුව සහ බෙදාහැරීම තවත් විදේශීය සමාගමකට පැවරීමට රජය සූදානම් වන බවයි. ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න මේ සම්බන්ධව ප්‍රකාශයක් ද කළේය.

“ගිය මාසයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත ලාභය කෝටි 1200කට වැඩි ප්‍රමාණයක්. අපි හිතන විදියට දැන් තමයි තෙල් සංස්ථාවේ ස්වර්ණමය යුගය උදා වෙලා තියෙන්නෙ. අපට තියෙන ගැටලුව, ලාභ ලබන තෙල් සංස්ථාව මොකටද වෙනත් සමාගම්වලට පවරා දෙන්නෙ කියන එක. මේ රටට ඛනිජ තෙල් බෙදාහරින්න සහ ගෙන්වන්න වෙනත් සමාගම් අවශ්‍ය නෑ එතකොට මේ කරන්න යන්නේ මහා ජාතික අපරාධයක්."

මේ අතර පසුගිය සතියේ මෙරට ඛනිජ තෙල් සහ රසායනික ද්‍රව්‍ය, වෙළෙඳාම ඇතුළු පාර්ශ්ව රුසක ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා චීනයේ ඉහළ පෙළේ ව්‍යාපාරික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තා විය. ඒ අනුව චීන සමාගමක් ඉන්ධන සම්බන්ධ ආයෝජනයකට සූදානම් වන බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් එවැන්නක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවීය.

මේ අනුව ගෙවී ගිය සතිය ඉන්ධන සම්බන්ධව තීරණාත්මක සතියක් වූ බව කිව යුතුය. පාර්ලිමේන්තුවේ පවා බලශක්තිය පිළිබඳ සංවාදයක් විය. අවසානයේ පැහැදිලිව පෙනෙන්නට තිබුණේ ඉන්ධන මිල සම්බන්ධ සුබවාදී බලාපොරොත්තුවක් මහජනතාව තුළ දලුලා වැඩෙන්නට පටන්ගෙන ඇති බවකි. ආණ්ඩුව ද ඊට පොහොර පස් දැමීම කැපී පෙනුණි. ඒ අනුව අප්‍රේල් මාසයේදී කුමක් හෝ වෙනසක් සිදුවනු ඇත.

I චමිඳු නිසල් ද සිල්වා